Print this Article


සීහළවත්ථු කතා : ශ්‍රද්ධා සිතින් දෙන දානයෙහි අනුසස් අපමණ ය

සීහළවත්ථු කතා :

ශ්‍රද්ධා සිතින් දෙන දානයෙහි අනුසස් අපමණ ය

”මෑණියනි, මගේ රූප ශෝභාව වැඩි වූ බවක් හැඟෙයි. ඒකාන්තයෙන් ම ඒ තෙරුන් වහන්සේලා රහත්ඵලය සාක්ෂාත් කර ගන්නට ඇති” යැයි කී ය. මේ කතාව මුළු ගමපුරා පැතිරී ගියේ ය. සුමනා බැලීමට පැමිණි ගම්වැසියෝ දානයේ අනුසස් දැක තවත් පැහැදුණි. දෙවියෝ ද සුමනාට සාදුකාර දුන්හ.

ඈත අතීතයේ හෙළ දිවයිනේ සෑගිරිය සමීපයෙහි “විල්ගම” නමින් ගමක් විය. එහි පර්වත ගුහාවක භික්ෂූන් වහන්සේ කිහිප නමක් වැඩසිටි සේක. භාවනායෝගි වූ උන්වහන්සේලා සම සිත් ඇතිව, සසර බිය දකිමින් වැඩ සිටි සේක. දිනක් උන්වහන්සේලා විල්ගමට පිණ්ඩපාතයට වැඩි සේක.

ගෙ පිළිවෙළින් උන්වහන්සේ පිණ්ඩපාතය වැඩිය ද, කිසිවෙකුගෙන් දානය නො ලැබුණි. හිස් පාත්‍ර අතැතිව ම උන්වහන්සේලා ගමෙන් පිටත් වූහ.

ඒ ගමෙහි දුගී මවක් ද ඇයගේ දියණිය වූ සුමනා ද ජීවත් වුණි. කුඩා ගෙපැලක ජීවත්වූ ඔවුහු අනුන්ගෙන් යමක් ඉල්ලා අනුභව කරති. එදින සුමනා හිස් පාත්‍ර ඇතිව ගමෙන් පිටවන භික්ෂූන් වහන්සේ දැක මහත් සංවේගයට පත්ව,

”දන් දීමට මා සතු කිසිවක් නො මැත. පෙර ජීවිතයේ දී දන් නො දුන් නිසා මා දිළිඳුව ඉපදුණි. මගේ හිස කෙස් කපා කඩයට විකුණා ඒ මුදල් ගෙන කුසලයක් කරමි” සිතා මව වෙත ගොස්

”මෑණියනි, අද පිඬු පිණිස වැඩි භික්ෂූන් වහන්සේට කිසිදු අහරක් නො ලැබුණි. එනිසා මට පිනක් කර ගැනීමට අවසර දෙනු මැනව”

”දියණියනි, නුඹ පින කරව. මා නිසා හෝ පිනක් කිරීමට තිබෙන අවස්ථාව මඟහැර නො ගෙනු මැන. පිනට යමෙක් අන්තරාවක් කළේ ද, ඔහු අපායේ ඉපදේ. එනිසා සිත් සේ පින කරගනු මැනව”

මවගේ කීමෙන් සතුටට පත් සුමනා වහා කඩ වීදියට ගොස් තමාගේ හිසකෙස් කපා විකුණා කහවනු අටක් ලැබී ය. තමා ලත් මුදලින් සහල් ද, එළවළු ද ගෙන බතක් පිස ස්වාමින් වහන්සේ වඩමවා පිළියෙල කළ දානය පිළිගැන්වී ය. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේ දානය පිළිගෙන නැවත සෑගිරියට වඩින්නට සූදානම් වූ විට සුමනා මෙසේ කී ය.

”ස්වාමිනි, මාගේ හිසකෙස් කපා විකුණා මම මේ දානය පූජා කර ගත්තෙමි. මාහට මේ පින මතු මතුත් ධන සම්පත් ලැබීමට හේතුවේවා යි” ප්‍රාර්ථනාවක් ද කළේ ය. එසේ ම වේවා කියා උන්වහන්සේලා පිටත් වූහ.

ඒ පිරිසෙහි සිටි වැඩිමහලු තෙරණුවෝ සුමනා දුන් දාන පාත්‍රය අතැතිව “ආයුෂ්මතුනි, තමාගේ හිසකෙස් කපා දන් සපයා දුන් මේ සුමනා අප කෙලෙස් සිඳින පිරිසක් බව දැන එසේ කරන්නට ඇත. එනිසා මම ආශ්‍රව ක්ෂය නො කර මේ දානය නො වළදමි.” කී ය. අනෙක් තෙරණුවෝ ද එයට එකඟ වූහ. සප්ත සද්ධර්මයෙන් යුක්ත වූ මෛත්‍රී සහගත සන්සුන් සිතැති ඒ භික්ෂූන් වහන්සේ කෙලෙසුන් සිඳීම පිණිස බලවත් උත්සාහයක කළහ. සියල්ලෝම දුක් කෙළවර කොට දානය වැළඳු සේක.

උන්වහන්සේලා දානය වැළඳූ මොහොතේ ම ඒ සුමනා මනා රූ ඇත්තියක් විය. ඕ දේව වර්ණයට නො පැමිණි නමුත් මනුෂ්‍ය වර්ණය ඉක්මවා ගියා ය. සිරුරෙහි වර්ණය ද, හිසෙහි දික් වූ කෙස් ද මනා අඟ පසඟ ද දැක සුමනාව තම මෑණියන් වෙත ගොස්

”මෑණියනි, මගේ රූප ශෝභාව වැඩි වූ බවක් හැඟෙයි. ඒකාන්තයෙන් ම ඒ තෙරුන් වහන්සේලා රහත්ඵලය සාක්ෂාත් කර ගන්නට ඇති” යැයි කීය. මේ කතාව මුළු ගමපුරා පැතිරී ගියේ ය. සුමනා බැලීමට පැමිණි ගම්වැසියෝ දානයේ අනුසස් දැක තවත් පැහැදුණි. දෙවියෝ ද සුමනාට සාදුකාර දුන්හ.

සද්ධාතිස්ස රජතුමාගේ ඇමැතිවරයෙක් නුවර වීථි සංචාරය කරද්දී රන්වන් සිරුරැති සුමනා දැක ඇය රජු වෙත කැඳවාගෙන ගියේය. සුමනා දුටු රජු,”දියණියනි, මෙතරම් රූ සපුවක් ලැබීමට ඔබ මෙලොව දී කිනම් පිනක් කළා ද?

රජතුමනි, ඒ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා මාගේ හිසකෙස් කපා විකුණා දානයක් පූජා කර ගත්තෙමි. එදින සිට මාගේ රූපශෝභාව වැඩි විය.”

සතුටට පත් රජු ඇය දූ තනතුරේ තබා ඇය සොයාගෙන ආ ඇමැතිට ඇය සරණපාවා දුන්නේ ය. තමාගේ දියණියට මෙන් ම ඇයට ද රජු විසින් දාසියන් සියයක් ද, දෙනුන් සියයක් ද, මීමුන් සියයක් ද, වාහන සියයක් ද, ගම් සියයක් ඇති ජනපද ද පියෙකු දියණියකට දෙන ආභරණාදිය ද ලබාදුණි. ඇය මහා දානපතිනියක් ව තවත් පින්කම් කළා ය.

කාලයාගේ ඇවෑමෙන් ඇය මරණාසන්න විය. එවිට සදෙව්ලොවින් රථ පැමිණ ඒ ඒ ලෝකවලට එන ලෙස ඇයට ආරාධනා කළේ ය. “රහතන් වහන්සේ වසන නුවරක් මෙන් අප්‍රමාදීන් වසන්නා වූ, ඉතා යහපත් වූ, තුසිත දෙව්ලොව ධර්ම කතාව හැම කල්හි ම බහුල ය. මෙතේ බෝසතාණන් ද එහි වෙති” සිතූ සුමනා තුසිතයෙන් ආ රථයට නැගී අහසින් ගියා ය. මේ ශ්‍රද්ධාවෙන් දන් දී, මෙලොව සහ පරලොව ලැබූ දානයේ අනුසස් ය.