Print this Article


නිරතුරුව තමන් දෙස බලන්න

නිරතුරුව තමන් දෙස බලන්න

ජීවිතයට සැප, සතුට, සොම්නස ලබා දෙන්නේ, තෘප්තිමත් බවක් ගෙන එන්නේ අප රැස් කරන පින් දහම්වලින්. දීර්ඝ ආයුෂ, නිරෝගි බව, ලස්සන හැඩරුව, ධනය, භෝග සම්පත්, දෙව්ලොව ඉපදීම ආදී ලෞකික සැප පමණක් නොවේ, කලණ මිතුරන්ගේ ආශ්‍රය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය සුදුසු පෙදෙසක වාසය කිරීම, සිත දියුණු කිරීමේ හැකියාව ප්‍රඥාව ආදී නිර්වාණාවබෝධයට උපකාර වන දේ ලැබෙන්නේත් පින් දහම් කිරීම තුළින්.

එවැනි උදාර වූ පින් රැස්කර ගැනීමේ අරමුණ පෙරදැරිව යොවුන් දූ දරුවන්ගේ සිත් සතන් අමා දම් දියෙන් නිවා සනසනු පිණිස පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් අද්‍යතන තාරුණ්‍යයට අරුතක් සඳහා වූ “යොවුන් දහම් සක්මන” නමින් වැඩසටහනක් පසුගිය 13 වැනිදා සංවිධානය කොට තිබුුණි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැති එම වැඩසටහන යොවුන් දූ දරුවන් වෙනුවෙන් ම වෙන් විය. ගෞතම බුදු සසුනේ සනාතන රැකවරණය ලැබීම පිණිසත්, ඔවුන්ගේ මතු අනාගතය නිවැරැදි මාර්ගයට යොමු කිරීමත්, සිල් පදයන්හි හික්මීම පිණිසත්, තුණුරුවන්ගේ ගුණ වටහා දී එහි සමාදන් කරවීමත්, එම වැඩසටහනේ මූලික අරමුණ විය.

මේ ලෝකයේ ජීවත්වන අපට තමන් හඳුන්වා ගැනීම ඉතාමත් ම අමාරුයි. කෙසේ හෝ තමන් හඳුනා ගත්තේ නම් තමන් සත්පුරුෂයෙක් ද, අසත්පුරුෂයෙක් ද කියන නිගමනයට තමන්ට ම එන්න පුළුවනි. ජීවිතයේ දියුණුවට උදව්වන ප්‍රධාන දේ තමන් මැන ගැනීම යි. අප වැඩිපුරම මහන්සි ගන්නේ තමන් මැන ගන්නට නොවේ. අනුන් මනින්නට යි. අනුන් මනින්න යන පුද්ගලයා නිතරම කරන්නේ තමන්ගේ වාසියට කරුණු ගලපා ගැනීම යි. එය කිසිසේත් සුදුසු නොවේ. මැන ගත යුත්තේ තමන්ව යි. ඒ මැන ගැනීමේ දී තමන් කෙළෙහි ගුණ දන්නවානම්, අනුන්ගේ දියුණුවට කැමැතිනම්, තමන්ට ලැබුණ දේ තමාට දරා ගන්න පුළුවන්නම්, සිල්පද රකිනවානම්, තමන් සත්පුරුෂයෙක් කියා තමන් ම හඳුනාගන්න. තමන් අකැමැති කෙනෙක් ගැන වෛර බැඳගෙන සිටීනම්, අනුන්ගේ දියුණුව අකැමැතිනම්, ඊර්ෂ්‍යා කරනවානම්, අනුන්ට කුමක් වුණත් තමාගේ වැඩ කටයුතු පමණක් කරගත යුතුයි කියා කල්පනා කරනවානම්, ඒක ඔබට සිදුවන බරපතල හානියක්. කෙතරම් අකැමැති වුවත් නිරතුරුව තමන් දෙස බලන්න. එවිට ඔබට සත්පුරුෂයෙක් වීමට අවස්ථාව උදාවෙනවා” යි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පැමිණ සිටි දරුවන් උදෙසා දහම් කරුණු මෙන්ම අවවාද උපදෙස් ද ලබා දුණි. ඊට අමතරව ජීවිතය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් මුහුණු පොතට මෙන්ම මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින දරුවන්ට වගේ ම අසභ්‍ය දේ නැරඹීමට පුරුදුව සිටින දරුවන්ට ද එහි විපාක පිළිබඳවත් පැහැදිලි කිරීමක් සිදු කෙරිණි.

එදින යොවුන් දරුවන්ගේ එදිනෙදා ජීවිතයට දැනුමක් ලබාදීම අරමුණෙන් සොහොයුරෝ .තඬ නමින් වෙබ් අඩවියක් ද විවෘත කෙරිණි. ඒ වගේම පාසල් දරුවන් මත්ද්‍රව්‍යයෙන් ගලවා ගැනීම අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රද්ධා රූපවාහිනිය එකතුව ”දැයට පිපෙන මල්” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද එහිදී වැඩිදුරටත් දැනුවත් කිරීමක් සිදුවුණි.

මහමෙව්නා භාවනා අසපුවාසී ස්වාමින් වහන්සේලා දෙසීයයකට ආසන්න පිරිසක් ද, යොවුන් දරුවන් හයදහස ඉක්ම වූ පිරිසක් ද, එම වැඩසටහනට එක් වී සිටිය හ.

අධ්‍යාපනයේ දී, රැකියාවේ දී, පවුල් ජීවිතයේ දී වගේ ම දහම් මග ප්‍රගුණ කරන අතරේදීත් අපට නොයෙක් ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. බොහෝ දෙනෙකුට මේ ගැටලු විසඳාගන්න නිසි උපදෙසක්, මාර්ගෝපදේශයක් හෝ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබෙන්නේ කලාතුරකිනි. මේ නිසාම බොහෝ දෙනෙක් ප්‍රශ්නයක දී මානසිකව ඇද වැටෙති. ධර්මයේ හැසිරෙන්නට, ධර්මය අවබෝධ කරන්නට කල්‍යාණ මිතුරු ඇසුර අනිවාර්ය සාධකයක් බවනම් නො අනුමාන ය.