Print this Article


ජීවිතය සුවඳවත් කරන සතර පැවතුම්

ජීවිතය සුවඳවත් කරන සතර පැවතුම්

" එක් දරුවෙකු ඇති මවක් එම දරුවා ආදරයෙන්, තම ජීවිතය මෙන් රැක බලා ගන්නා සේ අන් අය කෙරෙහි ද එම ආදරය, සෙනෙහස, සුරක්ෂිත බව ප්‍රදානය කිරීම සැබෑ මෛත්‍රියයි. "

අපි නිතර බණ අසමු. දහම් පොතපත ද කියවමු. බණ ඇසූවත්, පොතපත කියවූවත් ඒ ධර්මය ජීවිතයතුළ නොවේ නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද? ප්‍රායෝගික ජීවිතයෙන් ධර්ම චර්යාව ම ඉස්මතු වේ නම්, එය අප ලද වටිනා සම්පතකි. එබඳු ජීවිතය වැදගත් ය. ලස්සනය. සුවඳවත් ය.

බ්‍රහ්ම විහාර නමින් උතුම් පැවතුම් සතරක් පිළිබඳව ධර්මයෙහි සඳහන් ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනු ඒ උතුම් පැවතුම් ය. මේ උතුම් ගුණ ජීවිතයට සමීප කරගත් පුද්ගලයා පුණ්‍යවන්ත ය. කායික මානසික වශයෙන් විසල් සුවයක් විඳින්නේ ය. සමාජයේ ප්‍රසාදය, ගෞරවය ලබන්නේ ය. සුහදශීලි වන්නේ ය.

මෛත්‍රිය නම් කුමක් ද? අපි අපට ආදරය කරමු. වෙනත් කෙනෙක් හිංසාවක්, පීඩාවක් කරදරයක් කරනවාට අප කැමැති නැත. අනෙක් අයද එවැනි ය. බණිනවාට , ගහනවාට, පීඩා කරනවාට අකැමැති ය. තමන්ගේ සුවය සේ ම අනුන්ගේ සුවය ගැන ද සිතනවා නම්, මොනතරම් යහපත් ද? මම වේදනාවට කැමැති නො වන්නා සේ ම ඒ අය ද වේදනාවට අකැමැති ය. මේ ගැන සිතා අන් අයට හිංසාවක්, පීඩාවක්, රිදුමක් නොදී ජීවත්විය හැකි නම්, ඒ තැනැත්තා මෛත්‍රී හැඟීමෙන් යුතු ය.

සමහර අය උදේ සවස මෛත්‍රී භාවනාව වඩති. ‘මම සුවපත් වෙම්වා’ අනෙක් අය ද සුවපත් වෙත්වා’ යි ප්‍රාර්ථනා කරති. එසේ සිතුව ද , දවස පුරා ම අන් අය කායික හා මානසිකව නොයෙකුත් පීඩාවන්ට පත් කරති. එක් දරුවෙකු ඇති මවක් එම දරුවා ආදරයෙන්, තම ජීවිතය මෙන් රැක බලා ගන්නා සේ අන් අය කෙරෙහි ද එම ආදරය, සෙනෙහස, සුරක්ෂිත බව ප්‍රදානය කිරීම සැබෑ මෛත්‍රියයි.

මෛත්‍රිය යනු එක කොටසකට පමණක් සීමා වූ හැඟීමක් නොවේ. එයට සතුරු – මිතුරු, හිත – අහිත, දන්නා – නො දන්නා, පෙනෙන – නොපෙනෙන, ලොකු – කුඩා වැනි භේද නැත. ලෝකයේ සෑම දෙනාට ම සම සිතින් ආදරය කිරීමක් මෙයින් අදහස් වේ.

අනුන් දෙස මෛත්‍රියෙන් බලන්නට පුරුදු වුවහොත් ඔවුන් ද ඔබ වෙත හෙළන්නේ මිත්‍රශීලි බැල්මකි. වෛරී සිතිවිලිවලින් බලන්නේ නම්, ඒ විෂ සහිත සිතිවිලිවලින් වඩාත් ම පීඩාවට පත්වන්නේ ඔබ ම ය. වෛරී සිතිවිලි නැමැති දුමින් වැසී ඇති නිසා දකින, අසන දෙයෙහි නියම ස්වරූපය දැක ගත නො හැකි ය. අන් අයට කරදරයක් නො කරන්නේ නම්, තමන්ටත් කරදරයක් නොමැතිව ජීවත්වීමේ අවස්ථාව උදාවේ. මෛත්‍රිය කරන්නා අන් අය රවටන්නට, වංචා සහගත ක්‍රියාකාරකම් තුළින් අන් අය මුළා කරන්නට සූදානම් නැත. අන් අයට දොස් කියන්නට, නින්දා අපහාස කරන්නට සූදානම් වන්නේ නැත. මොන ක්‍රමයකින්වත් අන් අයට දුකක්, වේදනාවක් නොදෙති. ප්‍රතිඵලය සුවදායක මනසකින් ජීවත්වීමේ අවස්ථාව උදාවීම ය.

මෛත්‍රිය කරන්නාට අති මානය බාධාවකි. මම අන් අයට වඩා හැම පැත්තකින් ම උසස් යැයි සිතන අය සමාජයේ සිටිති. ධනයෙන්, බලයෙන්, කුලයෙන්, උගත්කමින්, පිළිගැනීමෙන් , හැඩයෙන් අන් අය පහත් ලෙස සලකා කටයුතු කරන්නෝ සිටිති. ජාති, වර්ග, ආගම්, භාෂා, භේදයන්ගෙන් වර්ගීකරණය කොට විවිධ වෙනස්කම් කරමින් කටයුතු කරන අය ද සිටිති. මේ ආකාරයෙන් සිතන්නා තුළ මෛත්‍රි හැඟීම් නැත. මේ වැනි ආඩම්බර සිතිවිලි දුරු කර ගන්නට අධිෂ්ඨාන කරගන්න.

අන් අයට වඩා පහත් යැයි හීන මානයක් ද ඇති කර නො ගන්න. උස් පහත් භේදයකින් තොරව ලෝකයා සමඟ කටයුතු කිරීමේ දී ඔබ හැමදෙනා අතර ම සුහදශිලි, පි‍්‍රයශීලි අයෙකු වනු නො අනුමාන ය. පුහු මාන්නයෙන් හිස උදුම්මා ගන්නවාට වඩා වැදගත් වන්නේ සිතේ සතුටෙන් ජීවත්වීමයි. උස් පහත් බව යනු සැමදාම පවතින්නක් නොවේ. වත් පොහොසත්කම් , දැන උගත්කම් තාන්න මාන්න, කීර්ති ප්‍රශංසා ,රෝගී නිරෝගී බව වැනි වර්ග කිරීම්, කලින් කලට වෙනස්වනු ඇත.

සමාජයට යහපතක් කරනවිට නොයෙක් විධියේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකි ය. විවේචන එල්ලවීමට පුළුවන. ඒවා ඉවසන්න. සාධාරණ විවේචනවලට ඇහුම්කන් දෙන්න. කැලෑපත්තරවලින්, අසත්‍ය ප්‍රචාරවලින් සාප කිරීම්වලින් කලබල වන්නට එපා. ඒවාට ප්‍රතිචාර දැක්වීම ද අවශ්‍ය නැහැ. තමන් වරදක් කර ඇත්නම් ඒ දුර්වලතාවය හඳුනා ගන්න. එය තේරුම් ගෙන තම ක්‍රියාකාරකම් නිවැරැදි කර ගන්න. චෝදනා කරන අය දෙස මෛත්‍රියෙන් බලන්න. කරන දේ ඍජුව , අවංකව කරන්න. ඔබ නිවැරැදි යැයි කවදා හෝ අන් අය තේරුම් ගනු ඇත.

ඔබගෙන් උදව්ගත් අය කොතෙකුත් ඉන්නට පුළුවන. ඒ අතරින් කෙනෙක් එය අමතක කර නොහඳුනනවා සේ ඉන්නට ද පුළුවන. ඒ අය කෙළෙහිගුණ නැති අය විය හැකි ය. ඒ ගැන සිතන්නටවත්, අනුන්ට කියන්නටවත් සූදානම් නො වන්න. ඔබ කළ උපකාර ගැන සිතා සතුටුවන්න. ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් නො කරන්න. කෙනෙක් උදවු කළත්, නැතත් අවශ්‍ය අවස්ථාවන් හි දී කළ හැකි දේ කරන්න.

අනුන්ට හිරිහැරයක්, කරදරයක් නොවන අයුරින් ජීවත්විය හැකි නම් එතැන මෛත්‍රිය ඇත. සමහර නිවෙස්වල ඉවතලන වතුර පාර අල්ලපු නිවස දෙසට, එසේත් නැතිනම් යන එන පාරට හරවා ප්‍රශ්න ඇති කර ගන්නා අවස්ථා බලන්න. තමන්ගේ ඉඩමේ කුණු ආසන්න ඉඩමට දමා ගැටලු ඇතිකර ගන්නා අවස්ථා ඇත. තමන්ගේ නිවෙසේ ගුවන්විදුලිය, රූපවාහිනිය, අසල්වැසියන්ට හිරිහැරයක් නොවන ලෙස භාවිත කිරීමට පුරුදු වන්න. වාහනයක් පදවනවිට වුවද අන්‍ය වාහනවලට, මගීන්ට හිරිහැරයක්, බාධකයක් නොවන අයුරින් තමන්ගේ වාහනය හසුරුවන්න.

සමහර නිවෙස් වටා උස් තාප්ප බැඳ ඇත. එහෙත් යාබද නිවෙස්වල වෙන දේ දැකගත හැකි උපක්‍රම සකසාගෙන ඇත. ඕපාදූප සෙවීම පුරුද්දක් කරගෙන ඇත. මෙබඳු දැකීමක්, බැලීමක් තොරතුරු රැස් කිරීමක් අවශ්‍ය වන්නේ කුමට ද? තමන්ට අදාළ නොවන,අනවශ්‍ය තොරතුරු, වගතුග සෙවීම තුළ මෛත්‍රිය ඇති ද?

මිත්‍රශීලිව කටයුතු කරන්නට උත්සාහ කරන්නේ නම්, විරුද්ධවාදීන් වුව ද මෙල්ල කරගත හැකිය. වැදගත් ම දේ ඔවුන් කළ වැරැදි, ඉවසීමේ හැකියාව තමන් වෙත වර්ධනය කර ගැනීමයි. ඔවුන්ට කරුණු අවබෝධ කර දී නිවැරැදි මගට ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් ඔබට විරුද්ධව ක්‍රියාකර ඇත්තේ වැරැදි අවබෝධය නොවේ නම්, නොදැනුවත්කම නිසා වන්නට පුළුවන. ඔබේ ඉවසීමත්, දයාවත් නිවැරැදි දැක්මට මග පෑදීමක් වනු ඇත. ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට හෝ පලිගැනීමට සූදානම් නොවන්න. එසේ වුවහොත් එහි ප්‍රතිඵලය කායික හා මානසික පීඩාවන් ය.

යහපත් සැනසිලිදායක ජීවිතයක් සඳහා ප්‍රඥාවෙන් හා මෙත් සිතින් කටයුතු කළ යුතු ය. කිසියම් කෙනකු ඔබට විරුද්ධව නැවත නැවතත් ක්‍රියා කරන්නේ නම් ඒ හැම අවස්ථාවක දී ම ඉවසීමෙන්, බුද්ධිමත්ව සිතා බලා, කර ඇති වරද පෙන්වා දෙන්නට උත්සාහ කරන්න. ඉවසීම තුළින් සැනසීම ලැබෙනු ඇත.