Print this Article


සාර්ථකත්වය සඳහා බෝසත් උපදේශ

සාර්ථකත්වය සඳහා බෝසත් උපදේශ

ජීවත්වීම යනු සංකීර්ණ ක්‍රියාවලියකි. එහි ධනාත්මක මෙන් ම ඍණාත්මක පසුබිම් ඇත. සුපිපි මලක් දැක එහි වර්ණය දෙස බලා කෙනෙකුට එය ලස්සන යැයි කිව හැකි ය. එහෙත් තව කෙනෙකුට එහි දසත හමන සුවඳ සලකා එය හොඳ මලක් යැයි කිව හැකි ය. එතෙකුදු වුවත් ලස්සනත් සුවඳත් දෙකම තිබෙන මැළවී ගිය මලක් නම් කිසිවෙක් එය හොඳ මලක් ලෙස රුචි නො කරති. එසේ නම් කිසියම් දෙයක උසස් බව තීරණය වන්නේ කරුණු සමුදායක එකතුවක් නිසා ය. ජීවිතය ද එමෙනි. එය ධනවත්කම බලවත්කම හෝ උගත්කම නිසාම සාර්ථක වේ යැයි නො සිතිය යුතු ය. කුමක් නිසා ද? එහි සාර්ථකත්වයේ සැබෑ අරුත විද්‍යමාන නොවන නිසා ය.

දියුණුවෙන් සහ සාර්ථකත්වයෙන් අපි කවුරුත් ප්‍රාර්ථනා කරන උසස්ම දෙය සතුට සහ සැනසිල්ලයි. වරක් බෝසතාණන් වහන්සේගෙන් සිය පුතු දියුණු වන කෙනෙක් වන්නේ කෙසේ දැයි විමසී ය. එහි දී බෝසතාණන් වහන්සේ වර්ෂ සිය දහස් ගණනකට පෙර දුන් පිළිතුර අද ජීවත්වන අපට ද ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය. මේ බෝසතාණන් වහන්සේ විසින් සපයන ලද එකී උපදේශයන්ගේ හැකුළුමකි.

බෝසතාණන් වහන්සේ පෙන්වා දෙන පරිදි ජීවිතයක වඩාත් සැලකිලමත් විය යුතු කාරණා අතර පළමුවැන්න සෞඛ්‍යයයි. ලෞකික ජීවිතයක් ගෙවන සෑම මිනිසෙකුගේ ම මූලික අරමුණ ලාභයයි. වෙනත් විධියකින් කිවහොත් යම් යම් දේ ලබා ගැනීම මගින් තෘප්තියට පත්වීමයි. ලෝකයේ අනේකවිධ වූ ලාභ ඇතත් බුදුදහම අනුව උත්කෘෂ්ට වූ ලාභය නම් නිසැක වශයෙන් ම නිරෝගී බව වේ. කුමක් නිසා ද? නිරෝගී තැනැත්තා ම, ලබා නොගත් ලාභ ලබන්නටත්, ඉපද වූ ලාභ රැකගැනීමට හා භුක්ති විඳීමටත් සමත් වන නිසා ය. ලෙඩ දුක්වලින් පීඩා විඳීන කෙනෙකුට ඒ කිසිවක් ලැබිය නො හැකි ය. එපමණක් ද නොව මහන්සියෙන් හා ආශාවෙන් උපදවන ලද ලාභ බෙහෙත් හේත් ආදියට වියදම් කිරීමට සිදුවීමත් භුක්ති විඳීමට නො හැකිවීමත් නිසා කිසිදු පලක් නැති තත්වයට පත්වේ. එබැවින් දියුණුව හා සාර්ථකත්වය අපේක්ෂා කරන බුද්ධිමත් පුද්ගලයෙකු විසින් කළයුතු පළමු කරුණ වන්නේ තම නිරෝගී බව රැක ගැනීම සඳහා අවශ්‍ය වන ඉන්ද්‍රිය සංයමය, ආහාර විහරණ හා ශාරීරික අභ්‍යාස ආදිය කෙරෙහි සැලකිලිමත් වීම ය.

බෝසතුන් පෙන්වා දෙන පරිදි දියුණුවේ දෙවන රහස නම් ආචාරශීලී බවෙන් යුක්තවීම හා ලෝක චාරිත්‍ර පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමයි. ආචාරශීලී බව යන්නට සිංහල ගැමි වහරේ භාවිත වන්නේ හැදිච්චකම යන්නයි. එහි ගැඹූරු අරුතක් ඇත. හැදිච්චකම හා ලෝක චාරිත්‍ර දැන කටයුතු කිරීම යන දෙක ම එකිනෙකට බැඳුණු කරුණු දෙකකි. නරක දේ නො කිරීම හා හොඳ දේ කිරීම හැදිච්චකමයි. ලෝකයේ යහපත් දේ යැයි සම්මත ආගම ධර්මයට මෙන් ම ගුරුවර, මව්පිය, වැඩිහිටි ආදීන්ට යටහත් පහත්ව ගරු සත්කාර කිරීම, සමාජ සම්මත සිරිත් විරිත් ඉටු කිරීම යනාදී ගුණාංග හැදිච්චකමට අයත් දේ ය. සමාජයක සියලු දෙනා ලෝක චාරිත්‍ර දැන කටයුතු කිරීම යහපත් සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය ය. ඒවා නොදන්නා පුද්ගලයන් සිටීම සමාජයකට හානිකර බැවින් එබඳු පුද්ගලයන් සමාජයෙන් අවමන් ලබන්නෝ හා අප්‍රසාදයට භාජනය වන්නෝ වෙති.

දියුණුවේ මග සලසන අනෙක් කරුණ වන්නේ ගුරූපදේශ ලබා ගැනීමයි. ගුරුවරයා යනු ඒ ඒ විෂයය ක්ෂේත්‍රයන් පිළිබඳ විශේෂ දැනුමක් හා මුහුකුරා ගිය ජීවිත අත්දැකීම් සහිත කරුණාව හා මෛත්‍රිය කුළුගැන්වුණු හදවතක් ඇති මාර්ගෝපදේශකයෙකි. සෑම ක්ෂේත්‍රයකම මෙම ගුණ සපිරි උතුමෝ වෙති. උපායෙහි දක්ෂ ඔවුන් විසින් කුසලය කුමක් ද? අකුසලය කුමක් ද? කළයුත්ත කුමක් ද? නො කළයුත්ත කුමක් ද?, අත්හළයුත්ත කුමක් ද? ගතයුත්ත කුමක් ද යනාදී කරුණු විනිවිද දැක පෙන්වා දෙනු ලබයි. මෙය බෝසතාණන් වහන්සේ තම පුතුට දියුණුවේ එක් උපායක් ලෙස දැක්වූ කරුණකි.

ගුරූපදේශ ඇතත් අල්ප බුද්ධි ඇත්තෙකුට සාර්ථකත්වය සඳහා පිය මැනීම දුෂ්කර ය. එබැවින් බහුශ්‍රැත බව අත්‍යවශ්‍ය ය. බුහුශ්‍රැතබව යනු විභාග සමත්වීමෙන් ලබන දැනුම නොවේ. ඉගෙනීම, බොහෝ පොතපත කියවීම, බණ ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම්, ඒ ඒ විෂයයන් පිළිබඳ ප්‍රවීණයන් සමඟ කතා බහෙන් ලද දැනුම, ජීවිත අත්දැකීමෙන් තහවුරු කරගත් අවබෝධය යනාදී සියල්ල ඊට ඇතුළත් ය. ගුරුවරයාගෙන් එක් කොටසකුත්, තම නුවණ මෙහෙයවා තවත් කොටසකුත්, යහළු මිත්‍රාදීන්ගේ ඇසුරින් තවත් කොටසකුත්, වයස මුහුකුරා යාමෙන් තවත් කොටසකුත් වශයෙන් පියවර සතරකින් දැනුම ඒකරාශී වන බවට සංස්කෘත සාහිත්‍යයෙහි වැදගත් කියමනක් ඇත. මේ නිසා කුඩා කාලයේ සිට විවිධාකාර ලෙස ලබා ගන්නා විධිමත් හා අර්ථවත් ඉගෙනීමක් ජීවිතයකට අවශ්‍ය වේ. එම ඉගෙනීම බුද්ධිමය සංවරයක් උපදවන හා අනාගතය විනිවිද දකින දැනුමක් වන්නේ නම් වඩා ඵලදායක ය.

බෝසතාණන් වහන්සේ අනෙක් උපදේශය වන්නේ ත්‍රිවිධ දුශ්චරිත අත්හළ යුතු බව සහ ත්‍රිවිධ සුචරිතය වැඩිය යුතු බවයි. ත්‍රිවිධ දුශ්චරිතය යනු සිත කය වචනය යන තිදොරින් වැරදි දේ කිරීමයි. තිදොරින් නිවැරදි දේ නොකිරීම ත්‍රිවිධ සුචරිතයයි. දියුණුව අපේක්ෂා කරන්නේ නම් අප අපගේ මනසට එන නරක සිතුවිලි පාලනය කළ යුතු ය. එසේම කරුණාව මෛත්‍රිය මුදිතාව හෝ උපේක්ෂාව ප්‍රගුණ කළ යුතු ය. සිතිවිලි විසින් අප පාලනය කරනු ලබන බවත් ඒවාට ගැතිව ක්‍රියා කළහොත් කායික වාචසික දුශ්චරිත බහුලව සිදුවන බවත් අප තේරුම් ගත යුතු ය. වැරැදි සිතිවිලි සහිත සිත අණක් ගුණක් නැති නපුරු හොරෙක් ගේ ඇතුළෙහි තබාගෙන සිටීමක් වැනි මුග්ධ ක්‍රියාවකි. ඇත්තෙන් ම ඊටත් වඩා හානිකර ය. එබැවින් යහපත් සිතක් ඇති කර ගැනීමත්, යහපත් ප්‍රිය උපදවන වචන කථා කිරීමත්, පන්සිල් ආරක්ෂා වන සේ ක්‍රියා කිරීමත් දියුණුවට නො වරදින මගකි.

බෝසතාණන් වහන්සේගේ අවසන් උපදේශය වන්නේ නොපසුබට විය යුතුය යන්නයි. ලෝකය සමඟ ගැටීමේ දී නොපසුබට බව අත්‍යවශ්‍ය ය. කුඩා දරුවෙකු වැටි වැටී නැගිටින්නාක් මෙන් යළි යළිත් වීර්යය කොට ක්‍රියා සංසිද්ධිය ඉටු කරගත යුතු ය. නො ලැබූ ලාභ ලබන්නටත්, ලැබූ ලාභයන් දියුණු කරන්නටත් අප්‍රතිහත වීර්යයෙන් කටයුතු කළ යුතු ය. බෝසතාණන් වහන්සේ නිරුදක වැලි කතරෙහි අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කොට ජලය උපදවා පන්සියයක් පිරිසගේ ජීවිත රැකදුන් අයුරු වණ්ණුපථ ජාතකයේ විස්තර කොට ඇත. ඉහත දැක්වෙන බෝසත් උපදේශ දක්නට ලැබෙනුයේ ජාතක පාලියෙහි අත්ථස්සද්වාර ජාතකයෙහි ය. අත්ථස්ස ද්වාර යන පාලි වචන දෙකෙන් අත්ථ යන පදයෙහි අර්ථය හෙවත් තේරුම, ධනය, යහපත, දියුණුව, සාර්ථකත්වය යනාදී තේරුම් කිහිපයක් ඇත. ද්වාර යන පදයෙහි තේරුම වන්නේ දොර යන්නයි. මේ නිසා අත්ථස්ස ද්වාර යන්නෙන් යහපතේ දොරටුව, දියුණුවේ දොරටුව, ධනයේ දොරටුව, සාර්ථකත්වයේ දොරටුව, ජීවිත අරුතේ දොරටුව යනාදී අරුත් කිහිපයක් ගත හැකි ය. ඒ කවර අරුතක් වුව ද, මෙම ජාතක කථාවෙන් කියැවෙන කරුණු සමුදායෙන් ඉස්මතු වේ. කතා වස්තු පන්සිය හතළිස් හතක් ඇතුළත් සිංහල ජාතක පොත් වහන්සේ වූ කලී මිනිසෙකුට භෞතික හා අධ්‍යාත්මික වශයෙන් දියුණුවීමට උපකාර වන මෙබඳු වටිනා උපදෙස් ඇතුළත් කතා වස්තු සහිත ග්‍රන්ථයක් වේ. එය කියැවීමෙන් ඔබගේ ජීවිතයට මහඟු වටිනාකමක් ලැබේ.