Print this Article


සමන් දෙවිඳු ප්‍රතිමාව වැඩමවීම

සමන් දෙවිඳු ප්‍රතිමාව වැඩමවීම

උඳුවප් පුර පසළොස්වක පොහොය ලබන්නට පෙර ශ්‍රී පාද කාර්යය මණ්ඩලයට අයත් ගිහි පැවිදි දෙපාර්ශවය ම ගල්පොත්තාවල විහාරස්ථානයට රැස්වෙති. එසේ රැස්ව තෙරුවන් වැඳපුදා සුබ මොහොතකට අනුව සමන් දේව ප්‍රතිමාව තැන්පත් ව ඇති දේව මන්දිරය සංඛභේරි නාද පවත්වමින් විවෘත කරති.

දේව ප්‍රතිමා වහන්සේ ඇතුළු පූජා වස්තු සියල්ල විශේෂයෙන් පිළියෙල කළ ආසනයක් මතට වැඩම කරවති. ඉන් අනතුරුව රැස්ව සිටින පිරිස පන්සිල්හි පිහිටුවා සෙත් පිරිත් දේශනා කරති. සමන් දෙවිඳුන්හට පින් අනුමෝදන් කරවා කපු මහතා විසින් විශේෂ පූජාවක් හා යාතිකාවක් ද කරනු ලැබේ.

ඉන් අනතුරුව දේව ප්‍රතිමාව වැඩම කරවන්නේ ද සුබ මොහොතකට ය. සධාතුක කරඬුව හා කොත් වහන්සේ ද, සමන් දෙවිඳුන්ගේ වාහනය වන රිදියෙන් නිම කළ ඇත් රුවක් ද ඇතුළු දේවාභරණ සහිත පූජා වස්තු රැසක් දෙවියන් වැඩම කරවන පෙරහරට එකතු කර ගනිති.

මේ පෙරහර පළමුව සබරගමු මහ සමන් දේවාලයට පැමිණේ. එහිදී ද විශේෂ දේව පූජාවකින් පසු හැටන් මාර්ගය ඔස්සේ නල්ලතන්නියට පැමිණේ. එතැන් සිට පංච තූර්ය නාදයෙන් යුත් පෙරහර, සම්ප්‍රදායානුකූලව පා ගමනින් ගමන ආරම්භ කරයි. තුන් සරණින් හා සාධු නාදයෙන් මුළු පළාත ම රැව් පිළිරැව් දෙයි.

සීත ගඟුලේ දී පෙරහර නතර වී දේව ප්‍රතිමාව සුවඳ පැනින් නහවයි. ඒ වගේ ම පෙරහරේ ගමන් කරන සියලු දෙනාමත් ජල ස්නානය කොට පිරිසුදු වී සුදු පිරුවට ඇඳ සීත ගඟුලේ සමන් දේවාලය අභියස දී පන්සිල් සමාදම් වේ. එලෙස ම මහා සංඝයා වහන්සේ පිරිත් දේශනා කොට දෙවියන්ට පින් අනුමෝදන් කරවති.

මෙම පෙරහර සිරිපා මළුවට පිවිසි පසු ශ්‍රී පාද පද්මය නා නා සුවඳ වර්ග මුසු කළ පැනින් දෝවනය කරනු ලැබේ. සඳුන් කිරි පැන් ඉසිනු ලැබේ. සමන් දෙව් මන්දිරය ද සුවඳ පැනින් පවිත්‍ර කරනු ලැබේ. පෙරහරින් වැඩමවා ගෙන පැමිණි සියලු දේවාභරණ හා පූජා වස්තු සියල්ල නැවතත් විසිතුරු පෙරහරකින් සිරිපා මළුව වටා තෙරවක් පැදකුණු කොට සමන් දේවාලය තුළ දේව ප්‍රතිමාව තැන්පත් කෙරේ.

ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව සකස් කරන ලද මංගල බුද්ධ පූජාව නැවතත් පෙරහරකින් මළුව වටා වැඩමවමින් පූජා පවත්වනු ලැබේ. මහා සංඝයා වහන්සේ සමන් දේවාලය අභියස දී පිරිත් දේශනා කරති.

ඉන් අනතුරුව සුමන සමන් දෙවිඳුන්ට පින් අනුමෝදන් කර දොළොස් මහේ පහන දැල්වීමෙන් පසු සිරිපා සමය ආරම්භ වේ. ඉන් පසු දිනපතා උදේ, දවල්, රාත්‍රී පුද පූජාවන් සිදුකරන අතර බදාදා, සෙනසුරාදා කෙම්මුර දිනයන් හි ශ්‍රී පාද පද්මය දෝවනය කර එම කුටිය යම් වේලාවක් සියල්ලන්ගෙන් ම හිස්කර වසා තබා නැවත සුපුරුදු පරිදි වන්දනාමානයට ඉඩ ලබා දේ. මින් අදහස් වන්නේ එකී කාලය දෙවියන්ට ශ්‍රී පාද පද්මය නමස්කාර කිරීමට අවස්ථාව සැලසීම යැයි ද, සම්ප්‍රදායික විශ්වාසයකි.