UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංසාර දුක දිය සුළියක් සේ ය

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19

සංසාර දුක දිය සුළියක් සේ ය

තථාගතයන් වහන්සේ පටිච්ච සමූප්පාදය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් භව තුනක් සම්බන්ධ කරගෙනයි. එනම් අතීත භව වර්තමාන භවය හා අනාගත භවයයි අතීත භවයට අයත්වෙනවා. ක්ලේශ වට්ටය සහ කම්ම වට්ටය, අවිජ්ජා කියන්නේ ක්ලේශ වට්ටයටයි. සංඛාර කියලා කියන්නේ කම්ම වට්ටයටයි. දිය සුළියක් වගේ දේකට කෙනෙක් අසුවුණොත් මොකද කරන්නේ? බේර ගන්නට බෑ. දිය සුළියෙන් ඇදගෙන ඇතුළට යනවා.

මේ සංසාරයත් දිය සුළියක් හා සමානයි. වට්ට කියා කියන්නේ ඒ නිසයි. එහෙනම් මේ සංසාර දුක, සංසාර ගමන දිය සුළියක් හා සමානයි. දැන් අපේ හිතේ ඇතිවෙනවා ක්ලේශ වට්ටය. අතීත වශයෙන් ගිය ආත්මේ ඇතිවුණා ක්ලේශ වට්ටය. ඊට පස්සේ ඇතිවෙනවා කම්ම වට්ටය.

ක්ලේශ වට්ටය පැහැදිලි කිරීමේ දී අවිජ්ජා, තණ්හා, උපාදාන යන හේතු තුනක් නිසා තමයි අපි සංඛාර එකතු කරගන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, තණ්හාව කියන්නෙ ආශාව, උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිද්‍යා, තණ්හා, උපාදාන යන මේ ක්ලේශ වට්ටය නිසා තමයි කර්මය රැස්කරන්නේ. ඒවා සංඛාර කම්මයි. සංඛාර කියන්නෙ කුසල අකුසල චේතනා. ඒ නිසා ඇතිවෙන කර්ම ශක්තියට කම්ම කියා කියනවා. අන්න ඒකට අපි කම්ම වට්ට කියා කියනවා. දැන් බලන්න අපේ බුද්ධ ශාසනයේ සිටියා සුමනා රාජ නමින් කුමාරිකාවක්. කවුද සුමනා රාජකුමාරිකාව කියන්නේ? කොසොල් මහ රජ්ජුරුවන්ගේ දියණිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මෙතුමියගේ තාත්තා සිටුවරයෙක්. නමුත් තාත්තා මිය ගිහින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළුකොට ඇති හැට දහසක් මහා රහතන් වහන්සේලා එදා නුවරට පිණ්ඩපාතයේ වඩිනවා.

ඒ අවස්ථාවේ මේ දියණිය අමතමින් ‘දුවේ උඹගේ තාත්තා හිටියා නම් අද පිරිසේ ප්‍රධානියා වෙලා අද දානයේ මුල් ම දාන හැන්ද පූජා කරන්නේ බුදුපියාණන් වහන්සේට. නුඹගේ තාත්තානේ කියලා අම්මා දුක් වෙනවා. ‘ඒ වෙලාවෙ මේ දුව කියනවා ‘හරි අම්මේ මම ඒ කාර්යය කරන්නම්’ මොකද කරන්නෙ දිය නුමුසු කිරිබතක් හදනවා. වතුර මිශ්‍ර කරන්නේ නැති මිටිකිරිවලින් ම කිරිබතක් හදලා මේ කිරිබතට උඩින් සම්පූර්ණයෙන් ම දෑ සමන් මල් අතුරනවා. පහුවෙනිදානේ බුදුපියාණන් වහන්සේ වඩින්නේ, මේකත් අතේ තියාගෙන දැන් මෙතුමිය යන්ට යන්නේ දිය නුමුසු කිරිබතක් අරගෙන දෑ සමන් මල් දාලා. ඒ වෙනකොට සම්පූර්ණයෙන් ම කිසිම කෙනෙකුට ආහාරයක් පිණ්ඩපාතයක් අරගෙන ඇතුල් වෙන්න බැරි විදිහට ආරක්ෂක භටයෝ දාලා ඉන්නේ. දැන් කිසිම කෙනෙකුට යන්න බැහැ ඇතුළට. බුදුපියාණන් වහන්සේ වඩින මාර්ගයේ මෙතුමිය දැන් යනවා. ආරක්ෂක භටයෝ බලනවා ‘ආ මල් ටිකක් නේ’ දැන් කිරිබත තියෙන්නේ ඇතුළේ. මල් ටිකක්නෙ යන්ට අවසර දුන්නා. මෙතුමිය බොහෝ ම ශ්‍රද්ධාවෙන් අර දෑ සමන් මල් අතුරපු කිරිබත් දානය රැගෙන යන විට බුදුපියාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනවා. දාන ශාලාවට වඩින්නට පෙර පාරෙදි ම මුණ ගැහෙනවා. මෙතුමිය ගිහින් අර දෑ සමන් මල් ඇතිරූ කිරිබත් දානය බුදුපියාණන් වහන්සේට පූජා කරනවා. ඒ මොහොතේ මෙතුමිය ප්‍රාර්ථනා කරන්නේ මොකක් ද? ‘ස්වාමීනි බුදුපියාණන් වහන්ස, මේ දිය නුමුසු කිරිබත් දානය සමඟ දෑ සමන් මල් පූජා කිරීමේ කුසලානිසංස බලයෙන් මට මේ ජීවිතයේ දී රහත් වෙන්නට බැරි වුණොත්, උපදින භවයක් භවයක් පාසාම මට රාජ කුමාරිකාවක් ව උපදින්නට ලැබේවා. මාගේ නම සුමනාම වේවා.’ කියා ප්‍රාර්ථනා කළා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ එසේම වේවායි කියා. මේ කිරිබත් ටික ළඟ සිටිය සේවකයෙකුට දුන්නා. දීලා ආසන ශාලාවේ වාඩි වුණා. වාඩිවෙලා දන් බෙදන්ට යනකොට අත වහනවා. අත වහලා බුදුරජාණන් වහන්සේ සේවකයාට කියනවා පාරෙදි පූජා කළ කිරිබත් දානය ගේන්න කියා. කිරිබත් දානය අරගෙන බැලූ විට බොහොම පොඩ්ඩයි.

බුදුපියාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා හැට දහසක් භික්ෂූන්ට ම මේ දානය බෙදන්ට ලැබේවා කියා’. උන්වහන්සේ බෙදාගෙන දානෙ අතින් අත යනවා දානය ඉවර වුණේ නැහැ. ඒක අධිෂ්ඨාන බලය. මෙතන දී මම පැහැදිලි කර දීමට අදහස් කළේ, සුමනා රාජ කුමාරිකාවට ඒ වෙලාවෙ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී තිබුණා නම් ප්‍රාර්ථනාවක් කරනවා ද? නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයන් නැතිකම තමයි අවිද්‍යාව. ආශා කළා. මොකක් ද ආශා කළේ, රාජ කුමාරිකාවක් වීමට. සුමනා කියා නම ලැබේවා කියා ආශා කළා. මෙතන තණ්හාව. එය දැන් ලැබුණාක් මෙන් සිතින් සතුටු වුණා. එහි දී උපාදානය ග්‍රහණය කරගත්තා. එසේ නම් අවිජ්ජා, තණ්හා, උපාදාන කියා මේ තුන්දෙනා තමයි ක්ලේශ වට්ටය. කෙලෙස් සකස් කළා. මේ ක්ලේශ වට්ටය නිසා හටගත්තා කම්ම වට්ටය. ක්‍රියාව මොකක් ද?

දිය නුමුසු කිරිබතක් දෑ සමන් මල් සමඟ පූජා කිරීමේ කුසල චේතනාව කුසල සංස්කාර බවට පත් වුණා. එහි විවිධ කුසල කර්ම ශක්තියකුත් ඇති වුණා. ක්ලේශ වට්ටයක් ඇති වුණා. කම්ම වට්ටයක් ඇති වුණා. මෙතුමියට මරණාසන්න මොහොතේ දී මරණාසන්න ජවන චිත්ත විථීයක් පහළ වෙනවා. අපි හැමෝට ම එසේමයි. මැරෙන මොහොතේ දී බල සම්පන්න කුසලය මතක් වුණා. ඒ කර්ම ශක්තිය හේතු කොට උප්පත්තිය ලැබුවා සුගතියේ. ඉතින් මේ අනුව අපේ බුද්ධ ශාසන කාලය දක්වා ම ආත්ම වාර 500ක් මනුස්ස ලෝකයේ ඉපදුණා නම් හැම අවස්ථාවකදී ම රාජ කුමාරිකාවක්, නම සුමනා කියා ලැබී තිබෙනවා. ක්ලේශ වට්ටය නිසා, කම්ම වට්ටය, කම්ම වට්ටය නිසා විපාක වට්ටය, විපාක යනු විඤ්ඤාණය, ප්‍රතිසන්ධි අවස්ථාව. ප්‍රතිසන්ධි අවස්ථාව නිසා නාම රූප පහළවෙලා ඒවා ඇතිවෙන්නට ගන්නවා. එලෙස ම හොඳ දෙයක් කරලා හොඳ ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. ඒ වාගේ ම නරක ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දවසක් සැවැත් නුවර භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කරනවා. එවිට එක භික්ෂුණියක් හිතනවා අනේ මේ උත්තමයන් වහන්සේ සමඟ මම එකට සසර පාරමී පුරලා තියෙනව ද දන්නෙ නැහැ කියා. මෙතුමිය මෙනෙහි කරනවා. අතීත ජීවිත මෙනෙහි කරන විට දැක්කා එක් ආත්මයක ඒ උත්තමයන් වහන්සේට තමන් ලොකු අවැඩක් කළ බව. මේ භික්ෂුණිය අඬන්න පටන් ගත්තා. බුදුපියාණන් වහන්සේ මෙය දැක්කා. බුදුපියාණන් වහන්සේ අතීත කතාව මතක් කරනවා. මේ භික්ෂුණිය අඬන්නට හේතුව. අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරන සමයේ ඡත්දන්ත විල ළඟ ඡත්දන්ත හස්ති රාජයා වෙලා උපන්නා. ඒ කාලයේ උන්වහන්සේට හිටියා බිසෝවරු දෙන්නෙක්. ඡත්දන්ත ඇතින්නියෝ දෙන්නෙක් මහාසුභද්‍ර, චූල සුභද්‍ර කියා. නමුත් බෝසතාණන් වහන්සේගේ හිතේ කිසිම වෙනසක් නෑ. එක හා සමානව තම යි කටයුතු කරන්නෙ. නමුත් අවස්ථා කිහිපයකදී ම දෙවන බිසවට හිතුණා ‘මට වඩා සලකනවා අනික් බිසවට’ කියා හිතේ තරහක් ඇති කර ගත්තා. ක්‍රෝධයක් ඇති කරගත්තා. වෛරයක් ඇති කර ගත්තා. එසේ කාලය ගතවන විට පසේ බුදුවරු ඇතිවන කාලයක්. පසේ බුදුවරු පන්සීය නමක් ම වැඩියා. ඡත්දන්ත විල ළඟට. වැඩියාට පස්සෙ ඡත්දන්ත හස්තියන් මොකද කරන්නේ.

කැලේ ගිහින් පලතුරු නෙලාගෙන ඇවිදින් මේ තිරිසන් සත්ත්වයන් වූවත් මහ පින් ඇති ඇත්තෝ. මේ ඇත්තු සියලු දෙනාමත් පෝසථ අෂ්ඨාංගික සීලය සමාදන් වෙලා මේ පලතුරු දානය පසේ බුදුරජාණන් වහන්සේලා පන්සීය නමකට පූජා කළා. පූජා කර හැමෝම හොඳ ප්‍රාර්ථනා කළත් මේ දෙවන අග බිසව ප්‍රාර්ථනා කළා බොහොම නරක ප්‍රාර්ථනාවක්. මොකක් ද ප්‍රාර්ථනාව? ‘මට මේ ආත්මයෙන් චුත වෙලා බරණැස් නුවර රජ කුලයක රාජ කුමාරිකාවක් වී උපදින්නට ලැබේවා. එසේ ඉපදී ඒකාලේ රජතුමාගේ හිත දිනාගෙන රජුගේ අගබිසව බවට මට පත්වෙන්න ලැබේවා. ඉන් පසු රජතුමාගේ අන පරිදි සේවකයෙක් යවා වැද්දෙක් එවලා මේ කැලේ ට ඡත්දන්ත හස්තියාව මරා ඇත්දළ දෙක මට ගෙන්වා ගන්ට ලැබේවා’ කියා ප්‍රාර්ථනා කළා. කළ උතුම් කුසලය බලසම්පන්නයි. මොකද උපෝසථ අෂ්ඨාංගික සීලය සමාදන් වී පසේ බුදුරජාණන් වහන්සේලාට පලතුරු පූජාවක් කළේ. හදිසියේ ම ලෙඩ වී මේ ඇතින්නිය මරණයට පත්වෙලා ඒ ආකාරයෙන් ම රාජ කුලයේ රාජ කුමාරිකාවක් වී ඉපදිලා අග බිසව බවට පත්වුණා. අග බිසව බවට පත්ව අකැමැත්තෙන් නමුත් ප්‍රාර්ථනා මතුවෙනවා. මෙතුමිය දන්නවා මම නරකක් කරන්න යන්නෙ. ඒ ක්‍රියාව නවත්තගන්නට අවශ්‍ය වුණා. නමුත් නවත්වගන්න විදිහක් නැහැ. අකැමැත්තෙන් නමුත් කරපු ප්‍රාර්ථනාව මතුවෙලා අකැමැත්තෙන් හරි රජතුමාට කියා සේවකයෙක්, වැද්දෙක් කැලයට යවලා ඡත්දන්ත හස්තියා මරා දළ දෙක ගෙන්න ගන්නවා. එසේ නරක දෙයක් ප්‍රාර්ථනා කළා නම් අවිජ්ජා, තණ්හා, උපාදාන, සංඛාර, කම්ම ඇති වෙනවා.

සමහර අවස්ථාවලදී අපට වුණත් අකැමැත්තෙන් නමුත් එක එක දේවල් කරන්න වෙනවා. අපේ ජීවිතේ ඒවා ඇවිදින් සංසාර ගත පුරුදු, සසර ප්‍රාර්ථනා ඒවා මතුවෙන්නෙ ඒකයි. අකැමැත්තෙන් නමුත් නරක දෙයක් කරන්නට සිද්ධ වෙනවා. සසර ප්‍රාර්ථනා මතුවෙනවා මේ ජීවිතේදි. මේ ආකාරයෙන් තමයි ක්ලේශ වට්ටයයි, කම්ම වට්ටයයි සකස් වෙන්නෙ.

 

 මැදින් පුර අටවක පෝය


 මැදින්පුර අටවක පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා පූර්ව භාග 02.29 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.43 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 23 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]