Print this Article


පින් වැඩෙන බෝධි වන්දනාව 04: 

පින් වැඩෙන බෝධි වන්දනාව 04

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපිට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය පිළිබඳව ඉකුත් පසළොස්වක දා සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

බෝධි පූජාව

පළමු ව බුදුරජාණන් වහන්සේ ට මල් පහන් ආදී පුද පූජා පවත්වා වන්දනා කර බෝධි පූජාව ආරම්භ කරන්න.පළමු ව බෝධින් වහන්සේ ගුණ මෙනෙහි කරමින් නමස්කාර කරමු

සිදුහත් කුමාරයාණන් වහන්සේ මවුකුසින් බිහිවීමත් සමඟ ම සහජාතව මෙලොවට බිහිවුනා වූ ද,

මහ බෝසතාණන් වහන්සේ පස් මරුන් පරදවා

ලොව්තුරා බුද්ධත්වයට පැමිණීමේ දී සෙවන සැලසුවා වූ ද,

පුරා සතියක් තුළ විමුක්ති සුවයෙන් සිට බුදුරජාණන් වහන්සේ

විසින් සේවනය කළා වූ ද,

පුරා සතියක් අනිමිස ලෝචන පූජා නම් වූ බුදුරජාණන් වහන්සේගේ

නේත්‍ර යුග්මයෙන් පුද ලද්දා වූද,

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, තමන් වහන්සේ හා සම කොට

පූජාවන් පැවැත්වීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ විසින් ම වදාළා වූ ද,

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පාරිභෝගික ධාතුන් වහන්සේලා අතර

අග්‍රස්ථානයේ වැඩ සිටින්නා වූද,

පුද පූජා පවත්වන්නවුන්ගේ ආයුෂ, නිරෝගී බව, ශරිර වර්ණය, යසස, කිර්තිය, ධනය, බලය යන මේවා වර්ධනය කරන්නා වූද

පුද පූජා පවත්වන්නවුන්ගේ දුක, රෝග, භය, වෛරය, ශෝකය, පිරිහීම, උපද්‍රව යන මේවා දුරු කරන්නා වූ ද,

පින් කිරීමට කැමැති මනුෂ්‍ය දේව, බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි

සැම දෙනා විසින් නන් අයුරින් පුදන ලද්දා වූ ද, පුදන්නා වූ ද,

දඹදිව වැඩවසන ඒ ජය ශ්‍රී මහ බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් වූ මේ මහමෙව්නා උයනෙහි මා ඉදිරියේ වැඩ සිටින උතුම් වූ ජය ශ්‍රී මහ බෝධි රාජයාණන් වහන්සේ ට අත්‍යාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

දෙවනුව ද, අත්‍යාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා,

තෙවනුව ද, අත්‍යාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

ඉහත සඳහන් කරුණු තෙ වරක්වත් කියා නමස්කාර කර සිතේ ධාරණය කරගෙන එහි තේරුම ම කියවෙන පහත සඳහන් ගාථා ද සජ්ඣායනා කරන්න.

යස්ස මූලේ මහා සත්තෝ
පිත්වාමාරමහබ්බලං
පත්තෝ සබ්බඤ්ඤුතං සෙට්ඨං
වන්දේතං බෝධි මුත්තමං

යස්ස මූලේ නිසීදිත්වා - සත්තාහං ලෝකනායකො
විමුක්ති සුඛ සංවේදී – වන්දේ තං බෝධිමුත්තමං

යස්ස පූජේසි සම්බුද්ධො -සත්තාහං සකලෝ චනේ
පූජිතං නරදේවේහි – වන්දේ තං බෝධි මුත්තමං

ආයුං ආරෝගතං වණ්ණං - යසං කිත්තිං ධනං බලං
වඩ්ඩෙන්තං පූජයන්තානං - වන්දේ තං බෝධිමුත්තමං

දුක්ඛං රෝගං භයං වෙරං - සෝකං ජානිං උපද්දවං
හරන්තං පූජයන්තානං - වන්දේ තං බෝධිමුත්තමං

පුඤ්ඤකාමීහි විඤ්ඤුහි – නරදේවේහි සාදරං
වන්දිතං පූජිතං සෙට්ඨං - වන්දේ තං බෝධිමුත්තමං

සබ්බ කාමදදෝ බෝධි- සබ්බ දුක්ඛ විනාසකෝ
වන්දතෝ දේතු මේ සත්ති - බෝධිරාජා නමත්ථු තේ