Print this Article


අපි භාවනා කරමු - 38 :සිත දියුණු කිරීමෙන්

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.

මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.

ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

එක්තරා දිනක ස්වාමීන් වහන්සේ දෙනමක් ගමනක් වඩින අතරේ කුඩා ස්වාමීන් වහන්සේ, තමන් කැළයට වැඩම කර එන බව ලොකු ස්වාමීන් වහන්සේට පවසා අඩි පාර දිගේ කැළය තුළට පිවිසුණා. එහි මෘත ශරීරයක් තිබුණා. ඕජස් ගලන , පණුවන්ගෙන් පිරුණු මේ මෘත සිරුර තමන්ගේ සිරුරටත් ආදේශ කර ගෙන මරණසති භාවනාව විදර්ශනාව දක්වා වැඩුවා. ඒ ස්වාමීන් වහන්සේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ආදී මාර්ග ඵල තුනක් ලැබුවා. ඒ මොහොතේ තම ගුරු ස්වාමීන් වහන්සේ කථා කළවිට නැවත පැමිණියා. ‘ඔබ වහන්සේ පරක්කු මොකදැ’යි විමසුවා’. ස්වාමීනි, ඔබ වහන්සේ ද මේ අඩි පාර දිගේ වඩින්න. එවිට මා පරක්කු වූ කාරණාව කියන්නම් යැ’යි වදාළා. ගුරු ස්වාමීන් වහන්සේට ද මේ මෘත ශරීරය හමු වුණා. උන්වහන්සේ ද මරණානුස්සති භාවනාව වැඩුවා. උන් වහන්සේ ද සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, මාර්ග ඵල තුනක් ලැබුවා. පෘතග්ජන දෙනමක් ලෙස වැඩ සිටි උන්වහන්සේ දෙන ම වනාන්තරයේදී ම භාවනා කිරීමෙන් මාර්ග ඵල තුනක් ලබාගෙන නිවන් මඟ ගමන් ගත්තා.

එවිට මරණානුස්සති භාවනාව කාටත් වැදගත්. තමා ද මරණයට පත්වෙන කෙනෙක් ලෙස දැනකියාගෙන මෘත ශරීර තමන්ට ද ආදේශ කර ගනිමින් මරණානුස්සතිය වඩන්න. එවිට සිතේ ඇති බලවත් තෘෂ්ණාව, ඇලීම, දුරු කරගන්නට මහෝපකාරී වෙයි.

තම චිත්ත සන්ථානය පිරිසුදු කර ගන්නට අසුභ භාවනාවත් , මරණ සති භාවනාවත් , පිළිකුල් භාවනාවත් බොහෝ ප්‍රයෝජනවත්. කෙනෙක් මරණයට පත්වන අවස්ථාව බැලීම තවත් කෙනෙකුට පෙනෙන්නේ අසුභ අරමුණක් ලෙසයි. නමුත් එය ජීවිතයට බලපාන සුභ අරමුණක් ලෙස මෙනෙහි කරන්න. මෘත ශරීරයත් මගේ ශරීරයක් . එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරද්දී ත්‍රි ලක්ෂණය හොඳට මෙනෙහි කරන්නට පුළුවනි. තව ද ධාතු මනසිකාරය ද හොඳ ක්‍රමයක්. එය ද මෙනෙහි කිරීමෙන් තම සිත ශක්තිමත් කළ හැකි යි.

එසේ කවුරුත් මේ ගැන හොඳ දැනීමක් ඇති කරගෙන භාවනා පාඩම් හොඳ අභ්‍යාස ගත කරගෙන සජ්ඣායනා කර නිබඳව ම සිතෙන් මෙනෙහි කරන්න පුරුදු පුහුණු වන්න. එවිට තම සිත ශක්තිමත් කරගෙන ඉදිරිය කරා ම යන්න. එතරම් ම මේ භාවනා ක්‍රම ප්‍රභල වෙයි.

භාවනාව යනු වැඩීම යි. සිතේ වැඩීම භාවනාව නම් වෙයි. ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන , චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන, මඟින් සිත දියුණු කළ හැකි යි. ඇත්ත ඇති සැටියෙන් දැනගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය හොඳින් මෙනෙහි කර විදසුන් ඥාන උපදවා ගත හැකි යි. ඒ ඥාන දියුණු කරගෙන තවත් ඉදිරියට යද්දී තමන්ට මාර්ග ඵල අවස්ථාවට සමීප විය හැකි යි. එවිට නිවන් සම්පත් ලැබෙන තුරු ම යහපත් ඵල විපාකත් ලබාගෙන මේ භාවනාවට කවුරුත් ගෞරව සම්පන්නව කටයුතු කළ යුතු යි.

එවිට තම නිවැරැදි මඟ ඉතා පිරිසුදුව ඉදිරියට ගෙන යන්නට පුළුවන්කම ලැබෙයි. තුණුරුවන්ට නමස්කාර කර, ශීලයක පිහිටාගෙන පහසු ඉරියව්වකින් වාඩිවී මුල සිටම කියූ වගන්ති සිතට ගෙන ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ යනුවෙන් නිබඳව ම මෙනෙහි කිරීමෙන් තමන්ට මරණසතිය හොඳින් දියුණු කළ හැකි යි.

මේ ගැන බුදු දහමින් ඉගෙන ගන්නවා මිස වෙන කිසිම කෙනෙකුගෙන් අසා දැනගන්නට බැහැ.

බුදුසරණ පත්‍රයේ පළවන භාවනා පාඩම් පෙළ හොඳින් පරිශීලනය කර , ලේඛන ගත කරගෙන, සජ්ඣායනා කර විවේක සුවයෙන් සිටියදී ජීවිතය අනියත යි. මරණය නියත යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. කවුරුත් මේ බුද්ධ ශාසනයේ ම නිවන් සැප ලැබේවා යන පරම පිවිතුරු පැතුම සිතේ තබාගෙන මරණසති භාවනාව දියුණු කර ගනිත්වා!