Print this Article


පින රැකෙන්නේ මෙත් සිතිනුයි

පින රැකෙන්නේ මෙත් සිතිනුයි

බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වූයේ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්ත්වයාට කියා දී සසරින් එතෙර කරවන්න යි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම ඉතා අමාරු දෙයක්. එයට විශාල පිනක් තිබෙන්න ඕන.

බලගතු පින් තිබුණ උත්තමයෝ බුද්ධ කාලේ ඒ ධර්මය අවබෝධ කර මේ සසරින් නිදහස් වුණා. තවත් බොහෝ පිරිසක් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා යන සේඛ බල ධර්ම වඩා මරණින් මතු දෙවියන් අතර ඉපදුණා. එසේ නො හැකි වූ පිරිසක් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන, රහතන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී සිත පහදවාගෙන ඉතා සුළු දෙයක් උන්වහන්සේට පූජා කරගෙන මරණින් මතු දෙවියන් අතර ඉපදුණා. අපේ පින්වල අඩුවක් නිසා අපට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ජීවමානව වැඩ සිටිමින් අවුරුදු හතළිස් පහක කාලය තුළවත්, උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු මාර්ගඵල ලාභී ශ්‍රාවකයන්ගෙන් බුදු සුසුන බැබළෙමින් තිබුණ අවුරුදු දහසක කාලය තුළවත් බුදු සසුනේ නිසි ඵල නෙළා ගන්නට බැරිවුණා. ඒ නිසා අපේ ඉලක්කය විය යුත්තේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට යි. නමුත් මේ ධර්මාවබෝධය කියන දේ ප්‍රාර්ථනා කර හෝ අධිෂ්ඨාන කර හෝ වෙනත් බාහිර පුද්ගලයෙකුගෙන් හෝ ලබා ගන්න පුළුවන් දෙයක් නොවේ. අප ධර්මයම පිහිට පිළිසරණ කරගෙන, අවංකව, කලබල නොවී, සෙමින්, ප්‍රායෝගිකව තම තමන්ගේ ජීවිත ධර්මාවබෝධයට සුදුසු පරිදි සකස් කර ගන්න ඕන. අප කරන හැම පිනක් ම “මේ පින මට මේ ගෞතම බුද්ධ ශාසනයේ දී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වේවා!” කියන අදහසින් කළයුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක් ස්වාමින් වහන්සේ නමකට සිවුරකට අවශ්‍ය වස්ත්‍රයක් සැදැහැවතුන් පූජා කළා. ඒ ස්වාමීන් වහන්සේ එය තමන්ගේ අක්කට දුන්න “මේ වස්ත්‍රය අරන් තියන්න. පස්සේ සිවුරක් මහන්න මම ඉල්ලා ගන්නම්” කියා. අක්කා ඒ වස්ත්‍රය ගොරෝසු වැඩි නිසා කැබලිවලට කපා වංගෙඩියේ දා කොටා පුළුන් කළා. ඒ පුළුන් වලින් නූල් වියා නැවතත් බර අඩු සිනිඳු වස්ත්‍රයක් සකස් කළා. දවසක් අර ස්වාමින් වහන්සේ තවත් කීප නමක් සමඟ සිවුරක් මහන්න අර වස්ත්‍රය ඉල්ල ගන්න ආවා. එවිට අක්කා සියලු විස්තර කියා තමන් හදපු ඒ වස්ත්‍රය පූජා කළා.

ස්වාමින් වහන්සේ ඉතාමත් සතුට ට පත්ව ඒ රෙද්දෙන් සිවුරක් මසා පඬු ගසා නමා “මම මේක හෙට ම පොරවනවා” කියා ඒ සිවුර අරන් තැබුවා. නමුත් රාත්‍රියේ හදිසියේ හටගත් රෝගයක් නිසා ස්වාමින් වහන්සේ අපවත් වුණා.

දැන් මේ සිවුරට අයිතිකාරයෙක් නැති නිසා අනෙක් ස්වාමින් වහන්සේ මේ සිවුර අරගෙන සංඝයා වහන්සේට දෙන්න සූදානම් වුණා. එවිට බුදුරජාණන් වහන්සේ පණිවුඩයක් එව්වා “ඔය සිවුර දවස් හතක් යනතුරු එ තැනම තියන්න කාටවත් දෙන්න එපා” කියා.

දවස් හතකට පස්සේ භික්ෂූන් වහන්සේ පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව ගැන විමසා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, ඔය සිවුරේ අයිතිකාර භික්ෂුව සිවුරට තිබුණ ආශාව නිසා අපවත් වූ සැණින් ඒ සිවුර අස්සෙම කාවෙක් වී ඉපදුණා. ඔබලා ඒ සිවුර අරගෙන සංඝයාට දෙන්න යද්දී මේ කාවා “මා සතු දේ පැහැර ගන්නවා, මා සතු දේ පැහැර ගන්නවා” කියා කෑ ගසමින් එහාට මෙහාට දුවන්න පටන් ගත්තා. මේ සිවුර සංඝයාට දුන්නානම්, ලැබෙන්න තිබුණේ රහතන් වහ්නසේ ට යි. එවිට අර කාවා ඒ රහතන් වහන්සේ ගැන හිත දූෂීත කරගෙන මියගොස් නිරයට යන්න තිබුණා. නමුත් දවස් හතක් යනතුරු සිවුරට මුකුත් කළේ නැති නිසා ඒ කාවා තිරිසන් ලෝකයේ ආයුෂ අවසන් කර දිව්‍ය ලෝකයේ ඉපදී සිටිනවා කියා වදාළා.

මෙයින් තේරුම් ගත යුතුයි මේ සසරේ ස්වභාවය. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි නිසා ඒ භික්ෂුන් වහන්සේ බේරුණා. උන්වහන්සේ හොඳින් සිල් ගුණදම් රැක්කත් පොඩි දෙයකට තිබූ ආශාව නිසා දුගතියේ ඉපදුණා.

මේ නිසා අප නිති පතා මෙත් සිත පතුරවමින් අපේ ජීවිතයට පින් රැස්කර ගත යුතුයි. පුරුදු නැතිකමින් මිය යන මොහොතේ අපට මෙත් සිත රැක ගන්න බැරිවුණොත් අර රැස්කරගත් පින්වල විපාක යටපත් වී අකුසල් සිත ඉස්මතු වී දුගතියක ඉපදෙන්නට තිබෙන ඉඩකඩ බොහෝ වැඩියි. එනිසා රැස්කර ගත් පින රැක දෙන්නේ මෙත් සිතින් බව නිතරම සිහි කළ යුතු වෙනවා. නිතරම පින් රැස්කර ගනිමින් මෙත් සිත රැක ගෙන කටයුතු කරන්න අප සියලු දෙනාටම ශක්තිය ලැබේවා!