Print this Article


තිසරණ සමාදානයෙහි වටිනාකම

තිසරණ සමාදානයෙහි වටිනාකම

බුද්ධිමත් ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇති බෞද්ධයන්ට මේ ලෝකයෙහි වටිනාම රත්න තුන ලැබී ඇත්තේ ය.එනම් උතුම් වූ බුද්ධ රත්නයත්,නව ලොව්තුරා ධර්ම රත්නයත්,ආර්ය මහා සංඝ රත්නයත් යන රත්නත්‍රයන් ය. ශ්‍රද්ධාවන්ත වූ සැබෑ බෞද්ධයා මෙකී රත්නත්‍රයේ සරණ හැර වෙන සරණක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකරයි.

“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.) මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.

යමෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිහිට කොට, සරණ කොට වාසය කරයි නම්, ඒ අය සුගති පරායනය වෙති. “මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති.” අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ‘සරණගමනීය’ නම් හිමි නමක් ‘නිසඟ’ නමැති හිමි නමකගෙන් තිසරණය සමාදන් විය.එලෙස හිත පහදා ගනිමින්, තැන්පත් සිතින් තිසරණ සමාදන් වූ පිනෙන් අසූවාරයක් සක් දෙවිඳුව ඉපදීමටත්, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වීමටත් ,අවසන අප ගෞතම බුදු සසුනෙහි හත් අවුරුදු වියෙහිදීම රහත් වීමටත් ඒ උතුම් වූ පින හේතු වූ බව දහමේ දකින්නට ලැබේ.

අවබෝධයෙන් තිසරණ සමාදන් වීම ඒ තරම් බල පවත්නා කාරණයකි.එලෙස තිසරණ සමාදන් වූ යම් උපාසක තැනැත්තෙකු හට යම් අයෙක් දානයක් පූජා කරයි ද, එම දානයේ විපාක මෙ පමණක යැයි කියා ද කිව නොහැකි ය. “අසංඛෙය්‍ය, අප්පමෙය්‍ය “ වශයෙන් දහමේ එම ආනිසංස පෙන්වා දී ඇත. මෙසේ හෙයින් යම් සැදැහැති පුද්ගලයෙක් ප්‍රසන්න සිතින් යුක්තව,පැහැදුණු සිතින් යුක්තව තෙරුවන් සරණ යන්නේ ද එය මහත්ඵල ,මහානිසංස ගෙන දෙන උතුම් වූ පුණ්‍ය කටයුත්තකි.