Print this Article


උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර

ගාල්ල, උඩුගම ,ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයේ විරාජමානව වැඩ සිටින ඉන්දියාවේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛා බෝධින් වහන්සේට උපහාර පූජා පිණිස 32 වන වරටත් පැවැත්වෙන උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර පෙබරවාරි 24 වන දින රාත්‍රි 07.00 ට උඩුගම නගරයේ වීථි සංචාරය කෙරේ.

දක්ෂිණ ලංකාවේ උඩුගම නම් පුරවරයෙහි පිහිටා ඇති ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානය විසි වැනි සියවසේ ලංකාවාසී බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනාගේ ගෞරවාදරයට පත් වූ අතර ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගත් පරම පූජනීය බෞද්ධ සිද්ධස්ථානයකි.

නෙළුවේ ගුණානන්ද නා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ මෙම විහාරස්ථානයෙන් සිදුකෙරුණු ජාතික, ආගමික, සාමාජික, ආර්ථික සහ සංස්කෘතික සේවාවන් අසීමිත ය. එදා පැවිදි සමාජයේ වැඩ සිටි උත්තරීතර වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක,වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි වැනි උගත් බුද්ධිමත් කීර්තිධර නාහිමිවරුන් සමඟ එකට එක්වී කටයුතු කිරීමේ මහාර්ඝ අවස්ථාවක් අපේ නාහිමියන් උදාකර ගත්හ. ඒ නිසා ම නා හිමියෝ තරුණ වයසේදී ම ජනතා ගෞරවයටත් රාජ්‍ය ගෞරවයටත් පාත්‍ර වූහ.උන්වහන්සේගෙන් සිදුවන උදාර සේවාව දුටු ස්‍යාමෝපාලි වංශික සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කළහ. උන්වහන්සේ ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සභාපති වශයෙන් ද කටයුතු කළහ. මෙසේ උසස් තනතුරු සහ වගකීම්වලින් කාර්ය බහුල ජීවිතයක් ගතකළ නමුදු ස්වකීය ප්‍රදේශයේ සියලු ආගමික සාමාජික කටයුතුවලදී කැපවීමෙන් කටයුතු කළහ.

ගුණානන්ද නා හිමියෝ බුද්ධගයාවේ ඇති ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් සිය විහාරස්ථානයට වැඩමවා ගැනීමට කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස 1976 වර්ෂයේදීි ගුවන් මගින් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙරටට වැඩමවන ලදී. එසේ වැඩම කරවු බෝධින් වහන්සේ 1976 ජූලි මස මස 11 දිනට යෙදී තිබුණු ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාධු නාද පූජෝපහාරයන් මැද උඩ මළුවෙහි සකස් කරන ලද බිමෙහි රෝපණය කරන ලදී.

මෙම ඓතිහාසික සිදුවීම සිහිකරලීම් වස් ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථානයෙහි ම රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජෝපහාර වශයෙන් අලි ඇතුන් ඇතුළුව විවිධ නර්තනාංග රැසකින් සමන්විත අලංකාර පෙරහරක් ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලැබේ.

මෙසේ ඈත අතීතයේ සිටම පැවතෙන සාම්ප්‍රදායික චාරිත්‍ර විදියක් වු බෝධි පූජාවන් සහ පෙරහර පැවැත්වීම, වත්මන් විහාරාධිපති, උඩුගම සමිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි, පාලක විහාරාධිපති හා ශ්‍රී මහා බෝධිරාජ පෙරහරේ ප්‍රධාන සම්බන්ධීකාරක උඩුගම සාරානන්ද හිමියන් පෙරහරේ නිළමේවරුන් ඇතුළු උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී මහා බෝධිරාජ පෙරහර කමිටුව ප්‍රදේශවාසීන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවගේ, වතුකම්කරු ජනතාවගේ සහ විවිධ පරිත්‍යාගශීලින්ගේ සහයෝගය ඇතිව සිය විහාරස්ථානයේ රෝපණය කර ඇති ශ්‍රී මහා බෝධියට ගෞරව උපහාර දැක්වීම ට පවත්වනු ලබන ඓතිහාසික පෙරහරකි.

වත්මන් රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් උඩුගම ශ්‍රී මහා බෝධිරාජ පෙරහර ජාතික උත්සවයක් ලෙස 2016 මාර්තු 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

32 වන වරටත් රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම පෙරහර 2018 පෙබරවාරි 24 වන දින රාත්‍රි 07.00 ට බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන සුවිශේෂ පූජාවෙන් හා කෙටි දහම් හමුවෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මිගාර හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පෙරහර මංගල්‍යයේ කටයුතු ආරම්භ වේ. විහාරස්ථානයෙන් පිටත්ව උඩුගම නගරයේ වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. පෙබරවාරි 26 දින විහාරස්ථාන මහ මළුවේ දී පැවැත්වෙන මහා සංස්කෘතික සංදර්ශනයෙන් හා පසු දින අලුයම දේවදානයෙන් පෙරහර කටයුතු නිමාවට පත්වෙයි.