Print this Article


අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නා හිමි

අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති

අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නා හිමි

අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය ජාතික, ආගමික, ශාසනික, සාමාජික සේවාවෙහි පුරෝගාමී මෙහෙවරක මෙහෙය වූ ගිරාඹේ ආනන්ද අනු නායක හාමුදුරුවෝ සසුනඹරට උදාර මෙහෙවරක් කළ මහ තෙර නමකි. ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ 20 වන දා කොළඹ දී අපවත් වී වදාළ හ. අපවත් වන විට උන්වහන්සේ අසූවන වියෙහි පසු වූ හ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්දර ව වැඩ විසූ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී සාරානන්ද ගුණරතන වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ධම්මසේනාපති ගිරාඹේ ආනන්ද අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා මහත් මෙහෙවරක් කළ සංඝ පීතෘන් වහන්සේ නමකි.

කුරුණෑගල දිසාවේ ගිරාඹේ ගම් පියසේ දී 1938 මැයි 19 වන දා වෛද්‍යාචාර්ය මුතුනායක මහතා සහ බේබිනෝනා මහත්මියගේ පින්බර පුත්රුවනක් ලෙස උපත ලැබී ය. පොල්ගහවෙල විජයානන්ද පිරිවෙන්වාසී මුත්ගමුවේ පඤ්ඤාසේකර හිමියන් වෙතින් වයස අවුරුදු තුනේ දී පමණ අකුරු කළ එම කුමරුවා රත්මල්ගොඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබී ය.

එම කුමරුවා 1949 ජනවාරි 01 වන දා සියඹලන්ගමුවේ කස්සප හිමියන් විසින් පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට කැඳවාගෙන යන ලදී. අනතුරුව විහාරාධිපති සියඹලන්ගමුවේ ගුණරතන නා හිමියන් වෙත එම දරුවා බාර කරන ලදී.

එහිදී මූලික බණ දහම් හදාරා 1949 අගෝස්තු 26 වන දා ගිරාඹේ ආනන්ද නමින් සියඹලන්ගමුවේ ගුණරතන නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සසුන් ගත විය. කඩුගන්නාව සිරිනිවාස මහ පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා 1953 දී ඇරඹි පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනින් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට ද උන්වහන්සේ පෙනී සිටියහ.

1958 ජූලි 10 වන දා කුරුණෑගල මැද්දේගම, වැල්ලව, දැදුරුඔය උදකුක්ඛේප සීමා මාලකයේ දී සියඹලන්ගමුවේ ගුණරතන නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස අධිසිල් ලැබූහ. ගිරාඹේ ආනන්ද හාමුදුරුවෝ සිය ගුරු දේවයන් වහන්සේගේ ශාසනික කටයුතුවලට සම්බන්ධ වූහ. ඒ වන විට කළුගල්ලේ ධම්මරංසි හිමියන් විසින් ආරම්භ කරන ලද පමුණුවේ ජයසුමන පිරිවෙන්හි පරිපාලන කටයුතු සිදුකරන ලද්දේ ගිරාඹේ ආනන්ද හිමියන් විසිනි. අනතුරුව සාරානන්ද පිරිවෙන්හි පාලන කටයුතු සඳහා සිය ගුරුදේවයන් වහන්සේගේ සහායට ආනන්ද හාමුදුරුවෝ පත් කර ගත්හ.

අධිසිල් ලැබීමෙන් පසු යෝධගම අශෝකාරාමයට වැඩම කළ ආනන්ද හාමුදුරුවෝ දෙවසරක කාලයක දී එහි අභිවෘද්ධියට මහ මෙහෙවරක් කිරීමට සමත් වූහ.

1979 ඔක්තෝබර් 1 වන දා අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරයට වැඩම කළ ගිරාඹේ ආනන්ද හාමුදුරුවෝ ශ්‍රී සාරානන්ද පිරිවෙන්හි විහාරාරාංග ඉදිකරවූහ.පිරිවෙන් විහාරස්ථානයේ කාමර 110කින් සමන්විත විශ්‍රාම ශාලාව දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් මුල්ගල තබා සියඹලන්ගමුවේ ගුණරතන නා හිමියන් විසින් ආරම්භ කරන ලදී.

සාරානන්ද පිරිවෙන් භූමියෙහි අසූ අටරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නෙළීම 1981 දී ආරම්භ කළ අතර ඊට විසි වසරක පමණ කාලයක් ගත විය. ලෙන් විහාරයක් ද කරවූ අතර 2002 එම නිර්මාණය විවෘත කරන ලදී.

මාතලේ මාරක, කොත්මලේ, තිස්පනේ යන ප්‍රදේශවල පිරිවෙන් දෙකක් අරඹා ඇති උන්වහන්සේ නෙලුවාකන්ද, ගම්පොළ අඹකුඹුර, යෝධගම, අරණායක, අලවතුගොඩ අලව්ව, රන්කෙත්ගම ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසක් ඉදිකරවා ඇත. උන්වහන්සේ විසින් ශාසන චිරස්ථිතිය පතා කුල දරුවන් දෙසියයකට අධික පිරිසක් සසුන් ගත කර වූහ.

සිය ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ට පත්ව නිකායේ අභිවෘද්ධිය පතා කටයුතු කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සභාව මගින් ගිරාඹේ ආනන්ද හිමියන් වෙත අනු නායක පදවිය ද පිරිනමන ලදී.

1981 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා උළෙල එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී සිදු කිරීමට මහත් කැපවීමෙන් ක්‍රියා කළ උන්වහන්සේ 67 වන උපසම්පදා මහෝත්සවය අනුරාධපුරයේ දී 2010 වසරේ දී පැවැත්වීමට ද පුරෝගාමී මෙහෙවරක් සිදු කළහ.

අනුරාධපුර සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය ජාතික, ආගමික, ශාසනික, සාමාජික සේවාවෙහි පුරෝගාමී මෙහෙවරක මෙහෙය වූ ගිරාඹේ ආනන්ද අනු නායක හාමුදුරුවෝ සසුනඹරට උදාර මෙහෙවරක් කළ මහ තෙර නමකි.

ස්වකීය ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේත් දායක කාරකාදීන්ගේත් ඇප උපස්ථාන ලබමින් වැඩ සිටි ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ 20 වන දා කොළඹ දී අපවත් වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ අසූ වන වියෙහි පසු වූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පේරාදෙණිය සාරානන්ද මහ පිරිවෙනට වැඩම කරවා 21 වන දා දවල් 12ට පමණ එහි සිට අනුරාධපුර සාරානන්ද පිරිවෙන වෙත වැඩමවීම සඳහා පිටත්වීමට නියමිතව තිබිණි. අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මෙම මස 24 වන දා අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත වූ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී අත්තංගනේ රතනපාල හිමියෝ අප පුවත්පත මුද්‍රණයට පෙර පැවසූහ.

ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමන් ප්‍රධාන බුදුසරණ පුවත්පතෙහි සාතිශය සංවේගය පළ කරමු.

අපවත්වී වදාළ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට නිවන්සුව පතමු.