Print this Article


පහන් සිතක කවි

නතේ භවං අට්ඨමං ආදියන්ති

කළ පිනකටයි මනුලොව දොර ඇර ගත්තේ
පව් කළ අයයි තවමත් නිරයේ ඇත්තේ
බුදු හිමි දෙසුව සදහම් මග යා යුත්තේ
මග ඵල ලබා දෙව් ලොව වෙත යා යුත්තේ

සෝවාන් මග ඵලය ලැබුවකු යම්ි දිනෙක
සත්වැනි භවයෙදී මේ භව ගිනි නිවිය හැක
අපෙ බුදු පියා දෙසුවෙ ඒ බව පෙර දිනක
‘නතේ භවං අට්ඨමං ආදියන්ති’ නොමැත සැක


තිසරණ සරණයි

කිරි සුදු දත් යුගල පෙන්වන සිනාකට
සුපුරුදු කිරි සුවඳ පැතිරෙයි සැම අවට
සිත මුදු දැහැමි දැරියක් වන්නට දැයට
වසරක් පිරුණි බුදු සරණයි දුව නුඹට

නැත අප ජන්ම දිනයට මවනා කෝළං
වෙත සඟ රුවන දන් පිළිගන්වමු දෝතින්
ගත සිත අනිත බව සඵතය කර ගනිමින්
පතනෙමු , සඟ සරණ මිණිබිරියට සෙනෙහෙන්


අවසර හිමියනේ ඔබෙ ගුණ ගයන්නට

රාගම, ඉහළගම ශ්‍රී සුගතාරාමාධිපති
තුරුවිල විමලධම්ම නා හිමිපාණන් වහන්සේට උපහාරයක් වේවා!

ගුණදම් වලින් සපුරා ලොව හදන්නට
මාපිය සෙනෙහසින් තනවා මනාකොට
පොත් දහසකින්වත් බැරිවෙයි වනන්නට
අවසර හිමියනේ ඔබෙ ගුණ ගයන්නට

දහසක් කම්කටොළු ආවත් හදවතට
සුළු මොහොතකින් ඒ හැම සුණුවිසුණු කොට
සැනසුම ලබාගෙන සැනෙකින් මනාකොට
පුදුමයි ගෙවන හැටි මට සිහිවන විට

රත්තරං කොතන තිබුණත් දිලිසෙනවා
ඉස්තරං වැඩට කවුරුත් සලකනවා
කොයිතරම් දුකක් ආවත් සැනසෙනවා
සැකනෑ හිමියනේ ඔබ නිවනට යනවා


සඳකඩ පහණ

සිය වස් ගණන් සේදීලා මහ වැස්සෙන්
ඒ හා සමව වියළී සැඩ හිරු රස්නෙන්
නොතකා සියලු බාධාවන් ජය ගනිමින්
ඇත සදකඩ පහණ පිය ගැට පෙළ පහතින්

මහ රහතුන් දහස් සඟ ගණ පා සිම්බා
නරපති මැති ඇමැති සිටුවරු දැක ගත්තා
මහ ජනතාව ගේ නෙත් සිත් අර ගත්තා
ගල් පතුරකට විස්කම් ජීවය පිම්බා

දකිනා විටදි පහණෙහි, මතුපිට කැටයම්
සිහි වෙයි සිරි විභූතිය සිහළෙහි දස්කම්
ඔබ තුළ දියුණු මනසක් රැකගෙන ඇත්නම්
කමටහනකිය එය වැඩුමට තවුස් දහම්


නිමාව

ගිම්හාන කාලයේ
ගිලිහිලා තුර වෙතින්
වියළිලා ගිය පතක් වැටෙනවා
මහලු මව දකිනවා
සෝකයෙන්
සැලෙනා සිතින්,


උතුම් සරණ

මෙත්, කරුණා, මුදිතා ගුණ ඇති බුදුසරණයි
සිත්, ගුණ යහපත් කරනට ඇති බුදුසරණයි
අප මුණි දෙසූ දහම් ගුණය ඇති බුදුසරණයි
‘තෙරුවන් සරණේ’ පිහිටම ඇති බුදුසරණයි