Print this Article


ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කළවෛශාලිය

බුදුපිළිමයේ උපත - 93:

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කළවෛශාලිය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

"ලෝකයේ පුරාණතම සමූහාණ්ඩුව පිහිටියේ ලිච්ඡවී රාජ්‍යයේ ය. එය වෛශාලිය යි. වෛශාලියේ ලිච්ඡවී රජවරුන්ට ද ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කොටස් දී ඇත. එම ධාතුන් වහන්සේලා නිධන් කළේ ද මේ පුදබිමේ දී ය. වෛශාලියේ ඇති කොල්හුවා නමැති ස්ථානයේ ඇති අසෝක රජතුමා විසින් ඉදිකරවන ලද ශිලා ස්තම්භය දැකිය හැකි ය."

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව කුසිනාරාවේ, මකුටබන්ධන, නම් පුදබිමෙහි ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජාව සිදු කළ බව ඉතා ප්‍රකට ය. ඉන් පසුව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා රජදරුවන් අතර බෙදා දීම පිළිබඳ ව ද ඉතා ප්‍රකට ය. එකල ජම්බුද්වීපයට මෙකල ඉන්දියාව, පකිස්ථානය ,ඇෆ්ගනිස්ථානය සහ නේපාලය යන රටවල් අයත් වූයේය. ඒ ඒ රටවල සර්වඥධාතුන් වහන්සේලා ඒ ඒ රජවරුන් හා ඒ ඒ පුද්ගලයින් විසින් ද වන්දනාමාන කිරීම පිණිස ස්තූප නිර්මාණය කරන ලද බව පාලි බෞද්ධ සාහිත්‍යයෙහි (ථෙරවාදි බුදු සමයට අයත්) සහ සංස්කෘත සාහිත්‍යයෙහි (මහායාන බුදුසමයට අයත්) ග්‍රන්ථවල ද විස්තර දක්නට ලැබේ.

වෛශාලියේ අසෝක ස්තම්භය හා ඒ ආශි‍්‍රත පුදබිම

මීට අමතරව ක්‍රි.ව. 19 වන සියවසේ දී පුරාණ ජම්බුද්වීපයට ක්‍රි.ව. 5 වන සියවසේ දී පැමිණි පාහියන් හිමියන්ගේ ද ක්‍රි.ව. 7 වැනි සියවසේ දී පැමිණි හියුං ෂාං හිමියන්ගේ වාර්තා ද අනෙකුත් පාලි සහ සංස්කෘත ග්‍රන්ථවල තොරතුරු ද අනුව පුරා විද්‍යාත්මක ව මෙම සර්වඥධාතුන් වහන්සේලා නිධන් කර නිර්මාණය කරන ලද ස්තූප (විනාශ වී තිබූ ස්තූප) කැණීම්වලට භාජනය කර එහි දී හමු වු සර්වඥ ධාතුන් වහන්සේලා, විශේෂයෙන් ම ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් රජුන් අතර බෙදා දෙන ලද සර්වඥධාතුන් වහන්සේලා නිධන් කළ ස්තූපවලින් හමුවු සර්වඥධාතුන් වහන්සේලා හඳුනා ගැනීමට එකල පුරාවිද්‍යාඥයෝ සමත්වූහ. මේ අතරේ ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ මේජර් ජෙනරාල් ශ්‍රීමත් (සර්) ඇලෙක්සැන්ඩර් කනිං හැම් මහතා ප්‍රමුඛ වූයේ ය. ඔහු විසින් චීන ජාතික භික්ෂූන් දෙදෙනාගේ ගමන් විස්තර අනුව ඒවා පෞද්ගලික ව ම ගවේෂණය හා ඇතැම් ස්ථාන කැණීම් කරමින් (The Geography of Ancient India)  ද ජෝග්‍රැෆි ඔෆ් ඒන්ෂන්ට් ඉන්ඩියා ඉතා අගනා ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කළේ ය. ඔහුට අමතර ව භාරතීය පුරාවිද්‍යාඥයින් වන ඩී. ආර්. භන්ඩාර්කාර්. ඩී.සී. අහීර්, පී.සී. මුකර්ජි ,ශ්‍රී වත්ස, සී, මිශ්‍රා, ආර්.සී. මජුමදාර්, බී.බී. ලාල්, ආදි භාරතීය විද්වතුන් ද ඊ, භ්‍රෂ්ට්ලි වී.ඒ. ස්මිත් ,පී.කේ. තෝමස් ආදි බටහිර විද්වතුන් ද මේ පිළිබඳ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් ග්‍රන්ථ රැසක් ම පළ කර ඇත. මෑතක දී ලුම්බිණියේ මහාදේවි විහාරය ආශි‍්‍රත ව පුරාවිද්‍යාත්මක කැණීමක් 1913 දී සිදු කළේ එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනින්හැම් මහතා ප්‍රමුඛ පුරාවිද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනි.

විසාලා මහනුවර හෙවත් වෛශාලි

ලෝකයේ පුරාණතම සමූහාණ්ඩුව පිහිටියේ ලිච්ඡවී රාජ්‍යයේ ය. එය වෛශාලිය යි. වෛශාලියේ ලිච්ඡවී රජවරුන්ට ද ද්‍රෝණ බ්‍රාහ්මණයා විසින් සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කොටස් දී ඇත. එම ධාතුන් වහන්සේලා නිධන් කළේ ද මේ පුදබිමේ දී ය.

වෛශාලියේ ඇති කොල්හුවා නමැති ස්ථානයේ ඇති අසෝක රජතුමා විසින් ඉදිකරවන ලද ශිලා ස්ථම්භය දැකිය හැකි ය. එම ස්ථම්භය මුදුණේ සිංහ රූපයක් ද නිර්මාණය කර ඇත. වැලිගලෙන් නිර්මිත මෙම ස්ථම්භය රවුම් ආකාරයට සාදා ඇත. බුදුරජාණන් වහන්සේ තව මාස තුනකින් පිරිනිවන්පානා බව දේශනා කළේ ද වෛශාලියේ සිට ය. බුදුරජාණන් වහන්සේගේ අවසාන වස්කාලය (45 වැනි වස් විසීම) ගත කළේ මෙහි දී ය. ෆාහියන් හිමියන් ට පසුව පුරාණ ජම්බුද්වීපයට පැමිණි හියුංෂාං හිමියන් ද වෛශාලි හෙවත් විසාලා මහනුවර පිළිබඳව ඒ අසල ඇති පුරාණ ස්තූප ගැන සඳහන් කර තිබේ. ඉහතින් සඳහන් කළ අසෝක ස්ථම්භයට වයඹ දෙසින් ස්තූපයක නටබුන් තිබෙන බව හියුං ෂාං හිමියෝ සිය වාර්තාවල සඳහන් කරති. ඒ කාලයේ දී එම ස්තූපය බුද්ධ ස්තූපය නමින් හඳුන්වා තිබෙන්නේ බුද්ධ ස්තූප (එක) ධ් නම් වූ එම ස්තූපයයි. එම ස්තූපය අඩි 15 ක් උස ට තිබුණි. එම ස්තූපය කැණීම් කිරීමේ දී එහි යට තිබී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද ධාතු කරඬුවක් ද හමුවී ඇත. ඒ අසල දෙවැනි දා ගැබක නටබුන් හමුවී තිබේ. එය 1958 දී පුරාවිද්‍යාඥයින් විසින් කැණීම් කරන ලදී. සර්වඥධාතුන් වහන්සේලා නිධන් කරන ලද තවත් කරඬුවක් එහි දී හමු වී ඇත.

මෙම දාගැබ් දෙකේ ම ලිච්ඡවීන් සඳහා ලබා දෙන ලද සර්වඥධාතුන් වහන්සේලා නිධන් කර තිබුණු බව මෙයින් හෙළිවේ.

ඉහතින් සඳහන් කරන ලද අසෝක ස්තම්භය අසල ඇති පොකුණක් ද හමුවී ඇත. මෙය ද කනිංහැම් මහතා විසින් හඳුනා ගෙන තිබේ. මේ භූමියෙහි ලිච්ඡවී රජදරුවන්ගේ සන්ථාගාරය රැස්වීම් ශාලාවක නටබුන් ද හමුවී තිබේ. අපගේ විශේෂ අවධානය යොමු වන්නේ එදා කුසිනාරාවේ දී ලිච්ඡවීන්ට ලැබුණූ සර්වඥ ධාතුන් වහන්සේලා මෙහි නිධන් කර ඇති බව බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් ම පුරාණ කාලයේ මෙහි සංචාරය කළ චීන භික්ෂූන් වහන්සේලාගේ වාර්තා ද සත්‍ය බව ප්‍රකාශ කිරීම ට ය. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබු වෙශාලිය පිළිබඳ බොහෝ තොරතුරු හමුවී ඇත. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක හිමියන් වු ආනන්ද රහතන් වහන්සේගේ ස්තූපය ද මෙහි වූයේ ය.

(Buddhist Srines in India by D.C. Ahir-p58 (1986_


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 92 ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා තැන්පත් කළ දස ස්තූප