Print this Article


වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිට යි!

වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිට යි!

උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ ආරම්භවන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොයත් සමඟ ය.

අප රටේ දීර්ඝතම වන්දනා සමය ද, නිශ්චිත කාල සීමාවකට පමණක් සීමා වූ වන්දනා සමය ද සිරිපා වන්දනා සමයයි. මෙ සමයේ දී බෞද්ධ සැදැහැවතුන් පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් බැතිමත්හු ද ලක්ෂ ගණනින් සමනොල කඳු තරණය කරති. ගමනේ දුෂ්කර බව ද, අව්වැසි හා අධික සීතල ද නොසලකා යන මේ සිරිපා වන්දනාව මහා පුණ්‍ය කර්මයක් ලෙස සලකති. සිරිපා වන්දනා කරන්නෝ බොහෝවිට එක් වරක් පමණක් වන්දනා නො කරති.

වන්දනා ගමන යන විටත්, ආපසු එන විටත් බැතිමතුන් හැසිරෙන්නේ එකම පවුලක සාමාජිකයන් මෙන් ඉතා සමගියෙනි. ඔවුනොවුන් ජීවිතයට ම හමු වූ මුල්ම අවස්ථාව මෙය වූවත් එකිනෙකා කෙරෙහි ඇතිවන මේ ළෙන්ගතුකම කාරුණික බව පුදුම දනවන සුළු ය.

ජාතියක්, ආගමක්, උස්පහත් භේදයක් එහි නැත. ‘වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි’ යනුවෙන් සිරිපා වැඳ ආපසු එන පිරිස් සිරිපා වඳින්නට යන කාටත් ආශිර්වා ද කරති. ඒ ආශිර්වාදයට කළගුණ සලකන සිරිපා වඳින්නට කරුණා කරන්නෝ ද ‘වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි’ යනුවෙන් ආර්ශිවාද කරති.

වර්ෂයේ ඉතිරි කාලය අවාරය හෙවත් බැතිමතුන් සිරිපා වන්දනාවේ නොයන කාලයයි. ශ්‍රී පාද පද්මය දෙවියන් විසින් වන්දනාමාන කරනු ලබන්නේ මේ කාලයට බව බැතිමතුන්ගේ විශ්වාසයයි. අලි, ඇතුන් හා අනෙකුත් සතුන් ද සිරිපා වන්දනාවට පැමිණෙන බව ජනවහරේ පවතී.

බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක් වශයෙන් ගෞරවයට පාත්‍ර වී ඇති ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම පිණිස, සෑම වසරක් පාසා ම සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ පෙරහර පූජෝත්සවයකින් පසුව යැයි කීම නිවැරදි ය. මෙම පෙරහර හඳුන්වන්නේ ‘සමන් දෙවිහාමුදුරුවන් වැඩමවීම’ යනුවෙනි.