Print this Article


සෑම ගෘහයක් ම නිවසක් ද ?

සෑම ගෘහයක් ම නිවසක් ද ?

" මුදල් තිබෙන ඕනෑ ම කෙනකුට ගෘහයක් හදාගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් නිවහනක් හදාගන්න එහෙම බැහැ. ආදරය, සෙනෙහස, දයාව, අන්‍ය අදහස්වලට ගරුකිරීම, ඉවසීම වැනි උතුම් යහපත් සිරිත් නිවසක් තුළ තිබිය යුතු යි. ගෘහ මන්දිරයක හා නිවස අතරේ තිබෙන වෙනස එයයි."

මනා ගෘහ පාලනය පිළිබඳ බුදු දහම කරුණු දක්වන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා පිරිමියා වුව ද, නිවසෙහි නායකත්වය හිමි වන්නේ ස්ත්‍රියට යි. නායකත්වය බලෙන් ලබාගන්න යනවාට වඩා ඉබේ ම ලැබෙන ලෙසට කටයුතු කළ යුතු යි. අම්මාගෙන් ගෙදරට ලැබෙන සේවය අනුව ඇයට එහි නායකත්වය හිමි වෙයි.

තමන් කරන වැඩ කොටස සේවය ලෙස හැඳින්විය හැකියි. මෙම සේවය විෂයයෙහි මඟ පෙන්වීමක් කළ හැකිවීම සුවිශේෂී ලක්ෂණයක්. ගෙදර අන්තිමට ම නින්දට යන තැනැත්තී අම්මා විය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ එම නිසාම යි. විවාහක කාන්තාවක් විශේෂයෙන්ම තමන්ගේ ඇවතුම් පැවතුම් හා කතාබහ පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. තමා කරන කියන දෙය පිළිබඳ ව පුර්වයෙන් සිතිය යුතු යි. නිවසෙහි ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා ද, නිවසෙහි ආරක්ෂාව තහවුරුවීම සඳහා ද එය බෙහෙවින් ඉවහල් වෙයි . බොහෝ නිවෙස්වල උදේ අවදි වූ වෙලාවේ ඉඳලා වැඩ. කාලය මදිවීම නිසා ආරවුල් ඉවරයක් නැහැ. ගෙදරක ස්ත්‍රිය රාත්‍රියේ දී නින්දට යෑම අන්තිමට කළ යුතු යැ යි දහමේ දේශනා කර තිබෙන කාරණාවක්. එසේ කීමට හේතුව අනෙක් සියලු දෙනා නින්දට යනකම් ඉඳලා නිඳාගන්න කියන එක එහි අදහස නොවෙ යි. අවසානයේ ගෙදර වැඩ ටික සියල්ල සොයා බලා දොර ජනෙල් වසා දමා අනවශ්‍ය විදුලි පහන් නිවා දමා උදා වෙන ඊළඟ දවසට පූර්ව සූදානමක් සහිත ව නින්දට යෑම අවශ්‍ය බව එයින් ගම්‍ය වෙයි. මේවා විශාල වගකීම්. ඒ වගකීම් භාරගන්නට සිදුවන්නේ ගෙදර සිටින කාන්තාවටයි. ගෙදරට වාසනාව කැන්දා ගෙන එන අම්මා කෙනකු විය හැකි වන්නේ ඒ වගකීම් දරන්නට හැකි තැනැත්තියක් පමණයි.

ගෘහයක් ලස්සනටත්, ප්‍රියශ්‍රීලීවත් තබාගැනීම ඇයගේ වගකීමක් අප්‍රියශීලී කාන්තාවන් ඉන්න ගෙදර මොන සැප ලැබුණත් ශ්‍රියාවක් නැහැ. මුදල් තිබෙන ඕනෑ ම කෙනකුට ගෘහයක් හදාගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් නිවහනක් හදාගන්න එහෙම බැහැ. ආදරය, සෙනෙහස, දයාව, අන්‍ය අදහස්වලට ගරුකිරීම, ඉවසීම වැනි උතුම් යහපත් සිරිත් නිවසක් තුළ තිබිය යුතු යි. ගෘහ මන්දිරයක හා නිවස අතරේ තිබෙන වෙනස එයයි. මිල මුදල්වලට ලන්සු නොතියන බොහෝ දේවල් නිවෙස්වල තිබෙන බව අමතක නොකළ යුතු යි. ඔබ ගෘහ මන්දිරයක පතිනියක් නම්, ජීවිතයෙන් එතරම්ම ඵලක් නැහැ.

ඔබ උත්සාහ ගත යුත්තේ කවදා හෝ දිනයක නිවසක පතිනියක වීමටයි. නොඑසේ නම් ගෙදරක අම්මා වීමටයි.