Print this Article


පිසුණු බසක් නොකියමු

පිසුණු බසක් නොකියමු

පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි එක්තරා කුලපුත්‍රයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි ව සමගියෙන් විසූහ.

මෙසේ පැවිදිව වාසය කරන කල එක්තරා පවිටු දුර්ගුණ අදහස් ඇති භික්ෂුවක් මේ දෙදෙනා වහන්සේ වෙත පැමිණ පිළිසඳරෙහි යෙදී, පසුදා මේ දෙදෙනා වහන්සේලා සමඟ පිඬු සිඟා වැඩි සේක. මෙසේ පිඬු සිඟා වැඩි ආගන්තුක භික්ෂුව මේ ගොදුරු ගම්මානය ඉතා හොඳ යැයි ද, එලෙස ම උවැසි උවැසියන් ද ඉතා සද්ධාසම්පන්න යැයි ද මෙම ගමෙහි වාසය කිරීම හොඳ යැයි ද සිතී ය.

දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ තම උවැසි උවැසියනට ධර්ම අවවාද අනුශාසනා කොට නිම වූ කල්හි ටික වේලාවකට පසු මෙම ආගන්තුක භික්ෂුව පැමිණ “ ඔබ වහන්සේගේ අතවැසි ගෝලයෝ ඔබ වහන්සේගේ අගුණ කියති’යි යැයි පවසා භේද කළේ ය.

පසු දා මෙම ආගන්තුක භික්ෂුව පිඬු සිඟා වැඩි සේක. ඒ අවස්ථාවේ දී උවැසි උවැසියන් විසින් අනික් තෙරුන් දෙනම කොහි ගියෝ දැයි විමසූහ. එවිට පෙර දින මුළු රැයෙහි ම ඔවුනොවුන් කලහ කරගත් බව කී ය. තමා ඔවුන්ගේ අවවාද නො අසා බැහැර ගිය බවත් පැවසී ය. ඒ ඇසූ ගම්වැසියෝ ඒ භික්ෂූන් වහන්සේ ගෙන්වා තමනට අනුකම්පා කොට එම ගමෙහි වාසය කරන ලෙස අයැද සිටියහ.

ගම්වැසියන්ගේ ඇරයුම පිළිගත් මේ ආගන්තුක භික්ෂුව තමා විසින් බලවත් වූ පාප කර්මයක් සිදුකර ගත්තැයි ද විපිළිසරව, බියව ශෝකයට පත්ව, එයින් ම රෝගීව කළුරිය කොට අවීචි මහ නිරයෙහි උප්පත්තිය ලැබී ය.

පසු කලෙක අප ගෞතම බුදුරදුන් සමයෙහි පූති – මුඛ නම් ප්‍රේතයෙක් ව උපන්නේ ය. ඔහුගේ කය රන්වන් පාට ය. එනමුත් මුඛයෙහි පණුවන් නික්ම ඔහුගේ මුඛය කයි. ඒ ලෙස ම දුර්ගන්ධය බොහෝදුරට විහිදෙයි.

දිනක් නාරද තෙරුන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසින්නා වූ මේ ප්‍රේතයා දැක හේතු විචාළ සේක.

ඒ අවස්ථාවේ දී ප්‍රේතයා පවසන්නේ තමා පෙර බොරු කේළාම් කියන, පරුෂ වචන පවසන භික්ෂුවක් ව සිටි බවත්, තපස් රැකීමෙන් ශරීර වර්ණය ඇති වූ නමුත් කේළාම් කීමෙන් පූති මුඛයක් ඇති වූ බවත් පැවසී ය.

ලෝවැඩ සඟරාවෙහි එය සඳහන් වන්නේ මෙලෙස ය.

පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කො ට

පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට

මුහුණු කුණු ව තව පේත ව විඳි ගැහැට

පිසුණු බසක් නො කියව් අද පටන් සිට

අපගේ මෙලොව ජීවිතය මෙන් ම මරණයෙන් පසු ජීවිතය ද සුවපත් කරගැනීමට මෙම උතුම් ධර්ම කරුණු ආදර්ශයට ගෙන ජීවිතය ගැන අවබෝධයක් ඇති කර ගනිමු.