UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018:

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය - 3 අභ්‍යාසය

01. 1. බුදු පිළිම වර්ග හඳුන්වා ලක්දිව දක්නට ලැබෙන ඓතිහාසික බුදු පිළිම ගැන විමසීමක් කරන්න.

ඉරියවු වශයෙන් බුදු පිළිම වර්ග තුනක් වේ. එනම් හිටි පිළිම, හිඳි පිළිම, හා සැතපෙන පිළිම වශයෙනි.

හිටි පිළිම

වඩාත් පැරැණි හිටි පිළිම දක්නට ලැබෙන්නේ අනුරාධපුර මහ ඉලුප්පල්ලම ප්‍රදේශයේ ය. උස අඩි 6 කි. අමරාවති සම්ප්‍රදායට අයත් ය. දකුණු ඉන්දියානු කිරිගරුඬ විශේෂයකින් තනා ඇත. දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද්දක් ලෙස සැලකේ. බුත්තල, මාලිගාවිල ප්‍රතිසංස්කරණය කළ හිටි පිළිමය අඩි 31 ක් පමණ උස ය. අවුකන හිටි පිළිමය තවත් පෞරාණික නිර්මාණයකි. එහි උස අඩි 42 ක් පමණ වේ. මෙය පර්වතයට බද්ධ කොට තැනූවකි. ධාතුසේන රජතුමාගේ සමයෙහි නිර්මිත වූවක් ලෙස සැලකේ. අමරාවතී සම්ප්‍රදායේ ලක්ෂණ ඇත. බුදුරුවගල බෝසත්වරුන් පිරිවරා ඇති හිටි පිළිමය අඩි 50 ක් පමණ උස ය. එය අනුරපුර යුගයේ අවසාන භාගයට අයත් වූවක් ලෙස සැලකේ. පොළොන්නරුවේ ගල් විහාරයේ ද හිටි පිළිමයක් ඇත. එය මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දකි. උස අඩි 22 ක් පමණ වේ.

හිඳිපිළිම

දැනට කොළඹ කෞතුකාගාරයේ තබා ඇති තොලුවිල හිඳි බුදු පිළිමය පෞරාණික වූවකි. උස අඩි 5 ක් හා අඟල් 9 ක් පමණ වේ. මෙය අනුරාධපුරයේ තිබී සොයාගෙන ඇත. ධ්‍යාන මුද්‍රාව පිළිබිඹු කරයි. ධ්‍යාන මුද්‍රාවෙන් තනා ඇති තවත් පැරැණි පිළිමයක් නම් අනුරපුරයේ සමාධි පිළිමයයි. මෙය ක්‍රි.ව. 4 වන සියවසට අයත් වේ. අනුරපුර යුගයට අයත් අභය මුද්‍රාව නිරූපණය කරන පිළිමය ද මැදිරිගිරියේ වටදාගෙහි ඇති පිළිමය ද අභය මුද්‍රාවෙන් නිරූපිත පන්කුලියේ පිළිමය ද අනෙක් හිඳි පිළිම යි. ගල්විහාරයේ ඇති හිඳි පිළිමය පොළොන්නරු යුගයට අයත් ය. එහි උස අඩි 15 ක් පමණ වේ. ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරයි. පොළොන්නරුවේ වටදාගෙයි ඇති පිළිම හතර ද මේ ගණයට අයත් වේ.

ඔත්පිළිම හා තන්තිරිමලේ සැතපෙන පිළිම අනුරපුර යුගයේ අග භාගයට අයත් සේ සැලකේ. පොළොන්නරුවේ ගල් විහාරයේ ද සැතපෙන පිළිමයක් දක්නට ලැබේ. එය දිගින් අඩි 46 කි. අනුරපුර යුගයේ මුල් කාලයේ දී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ හිටිපිළිම හා හිඳිපිළිම යි.

2. ලක්දිව දක්නට ලැබෙන බෝධිසත්ත්ව ප්‍රතිමා පිළිබඳ විස්තරයක් කරන්න.

අනුරාධපුරයේ ථූපාරාමය අසලින් සොයාගෙන දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති පිළිමය මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමා ද මෙහිදී වැදගත් වේ. මේවා අවලෝකිතේශ්වර හා මංජු ශ්‍රී බෝධිසත්වවරුන්ගේ ප්‍රතිමා ලෙස සැලකේ. වැලිගම කුෂ්ඨරජාගල ද බෝධිසත්ව ප්‍රතිමාවක් දක්නට ලැබේ. මෙය අවලෝකිතේශ්වර බෝධිසත්වයන් වහන්සේගේ ය. දකුණතින් විතර්ක මුද්‍රාවත් වමතින් වරද මුද්‍රාවත් නිරූපණය කරයි.

3. පොළොන්නරු යුගයේ බිතුසිතුවම් ගැන විමසීමක් කරන්න.

මහියංගණ ථූපයේ ධාතු ගර්භයෙන් සොයා ගත් චිත්‍ර මේ යුගයට අයත් සේ සැලකේ. මෙහි නිරූපණය වන්නේ බෝධිසත්වයන් මාර පරාජය කොට බුද්ධත්වය ලැබූ සිද්ධියට අදාළ චිත්‍ර යි. දිඹුලාගල විහාරයේ සිතුවම් ද මේ යුගයට අයත් ය. මෙහි දැක්වෙන්නේ දෙව්දත් තෙරුන් හා ඇතෙකු පිළිබඳ සිද්ධියකි. ගල්විහාරයේ හා ලංකාතිලකයේ වර්ණ චිත්‍ර කැබලි කීපයක් දක්නට ඇත. පොළොන්නරුවේ විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන්නේ තිවංක පිළිම ගෙහි ය. මෙහි ගන්ධකුටියේ චිත්‍රවලින් බුද්ධ චරිතය නිරූපණය කෙරෙන අතර අන්තරාලයේ සිතුවම්වලින් ජාතක කතා දැක්වෙයි.

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]