UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිසරණයේ සරණ

තිසරණයේ සරණ

මේ ජීවිතයේ අපට ලැබුණ උතුම් ම ලාබය තෙරුවන් සරණ යන්න ලැබීම යි. අපට බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මයේ මෙන්ම රහතන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක මහා සංඝරත්නය සරණ යන්න ලැබුණා. අපේ මුතුන් මිත්තන් තෙරුවන් සරණ ආරක්ෂා කර ගත්තේ දිවි හිමියෙන්. ජීවිතයේ මුහුණ දෙන දුෂ්කර ප්‍රශ්නවල දී ඔවුන් තිසරණයට හානි කරගත්තේ නැහැ. සද්ධර්මාලංකාරයේ අපූරු සිදුවීමක් මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා.

අතීතයේ ලංකාවේ මාවටු කියන වරාය ආශි‍්‍රත නගරයක් තිබුණා. ඒ නගරයේ නන්දිය නමින් ඉතා ධනවත් වෙළෙන්දෙක් සිටියා. ඔහුත්, බිරිඳත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිටියේ. ඒ වගේම සීලවන්ත යි. නිතර ධර්මය මෙනෙහි කරනවා. මේ සිදුවීම වෙන කාලයේ නන්දිය සිටුවරයාට ව්‍යාපාර කටයුත්තකට තුන් අවුරුද්දකට පිටරටකට යන්න සිදුවුණා.

ඔය අතරේ මේ නගරයේ ප්‍රධාන අමාත්‍ය ධූරයට සිව නමැති ඇමැතියෙක් අය බදු ලබා ගැනීමට පත් කළා. මොහු අලංකාරව වස්ත්‍රාභරණයෙන් සැරසී අලංකාර අශ්ව රථයක නැග සම්භාවනීය ආකාරයට වීදි සංචාරයේ යෙදුණා. එසේ ගමන් කරද්දී නන්දිය සිටුවරයාගේ ප්‍රාසාදය දෙස බලද්දී උඩුමහලේ සිටි මනමෝහනීය රූ සපුවක් ඇති නන්දිය සිටුවරයාගේ බිරිඳ දුටුවා. ඇය දුටු ගමන් ම ඇමැති වසඟ වුණා. ඒ රූපයට මත්වූවා.

ඔහු සේවකයකු කැඳවා “අර ප්‍රාසාදයේ උඩුමහලේ සිටි කාන්තාව කවුද? දෙවඟනක් මෙන් සුරූපි ඇය කාගේ දියණිය ද?

ඇමැතිතුමනි, ඇය විවාහක පතිනියක්. මේ නගරයේ සිටින නන්දිය සිටාණන්ගේ බිරිය යි.

ඒ නන්දිය ඉන්නේ කොහේද? ඇමැතිතුමනි, මේ දිනවල නන්දිය සිටුවරයා පිටරටක ගොස් සිටින්නේ.

රාගයෙන් මත් වූ සිව ඇමැති සිතනවා. මම ප්‍රදේශයට පත් වූ ප්‍රධානියා. ධනය ඉදිරියේ බොහෝ අය වෙනස් වෙති සිතා දාසියකට රන් කහවනු දහසක් දී ඒ බිරිඳට තෑගි කරන්නයි කිව්වා. තමන්ගේ අයුතු යෝජනාවත් ඉදිරිපත් කරන්නට කිව්වා. ඒ දාසියත් රන් කහවණු දහස පෙන්නා සිටු කුමාරිකාවට මෙසේ කියා සිටියා.

ආර්යාවෙනි, මුහුණ වුණත් ලස්සන වෙන්නේ නේත්‍රා දෙක ලස්සනට තිබුණොත් නොවැ. පුරුෂයෙක් නැතිව තනිවම ඉන්න ස්ත්‍රිය තනි ඇසක් තිබෙන කෙනෙක් වගේ. කිසිදු ලස්සනක් නැහැ. හස්ති රාජයෙක් කො තරම් උස මහතට සිටියත් තිබෙන්නේ තනි දළයක් නම් ලස්සනක් නැහැ. ඒ වගේම ආර්යාවෙනි, ස්ත්‍රිය වුණත් පුරුෂයෙක් නැතිනම් කොතරම් ලස්සන වුණත් ඵලක් නැහැ. ඒ නිසා අපේ ඇමැතිතුමාගේ යෝජනාව ගැන සලකා බලන්න යැයි කියා සිටියා.

නැගණියනි, ඔබේ ඇමැතිතුමා බුදු බණ අසා නැතුවා වගේ. මේ ශරීරය පිටතින් හැඩය පෙනුනාට අසුචි පුරවා පින්තාරු කළ බඳුනක් වගේ. අප හැමෝම පණුවන් වගේ මව්කුසේ උපන්නේ. මේ ජීවිතේ මුතු මැණික් වලින් සැදුණු එකක් නොවේ. මට සැමියෙක් සිටින බව ඇමැතිතුමාට කියන්න.

ඒ දාසිය ඇමැතියාට සියල්ල පැවසුවා. නමුත් ඇමැති කිහිප විටක් ම අයුතු යෝජනාව සහිතව දාසිය පිටත් කළා. දිනක් කුමරිය දාසියට “නැගණියනි, අපේ අලුත් ඇමැතිතුමා විශාල පාපයකයි මේ පැටලෙන්නේ? මම සැමියෙක් සිටින බිරිඳක්. මේක මට කො තරම් නින්දාවක් ද? මේ ලෝකයේ යම් බිරිඳක් සැමියා ඉක්මවා යනවා නම් ඒක පාපයක්. නිරයේ ඉපදී මහා දුක් විඳින්නට සිදු වෙනවා. ඇමැතිට මා සමඟ ගනුදෙනුවක් නැතිබව කියන්න යැයි දාසියට කියා සිටියා.

රාගයෙන් දැවෙමින් සිටි ඇමැතිගේ සිතේ බලවත් තරහක් හට ගත්තා. පළිගන්නට සිතක් ඇතිකර ගත්තා. වෛර සිතක් බැඳ ගත්තා. රහසේ ම කට්ටඩියෙක් ලවා නන්දිය මහාසිටාණන් මරවන්නට සැළසුම් කළා. ඒ යකැදුරු අමු සොහොනේ අලුත් මළමිනියක් ගොඩට ගෙන කාර්යය පටන් ගත්තා.

ඇමැතියි, යකැදුරයි සොහොනේ පුද පුජා තටු තබා අලුත් මිනිය අසල එක දිගට ජප කළා. මධ්‍යම රාත්‍රියේ මේ මිනියට යකෙක් ආවේෂ වුණා. මිනිය ඇස් ඇරියා. දිව එළියට දැම්මා. හූ කියාගෙන නැගිට්ටා. යකැදුරු කඩුව යක්ෂයාගේ අතට දී “එම්බල දැන් තෝ මේ කඩුව ගෙන කොහේ හරි නන්දිය සිටුවරයා හොයා ගොස් මරා දමනු”.

නන්දිය සිටුවරයා නැගුන නෞකාව ලංකාව බලා යාත්‍රා කරමින් තිබුණේ. සියල්ලෝ ම දුටුවා කඩුවක් අමෝරාගෙන යක්ෂයෙක් නැව දෙසට එනවා. නැවේ සියල්ලෝ භීතියට පත්වුණා. නන්දිය සිටුවරයා කලබල වුණේ නැහැ. පිරිසට හඬ නගා අප තෙරුවන් සරණ ගිය පිරිසක්. කවුරුත් එකතුව බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත්, සංඝ රත්නයේත් ගුණ කියන්නට පටන් ගත්තා. ඒ හේතුවෙන් යක්ෂයාට නෞකාවට ගොඩවෙන්න බැරිවුණා. ආපසු යකැදුරා සිටි කනත්තට ගියා. යකැදුරා නැවතත් යක්ෂයා පිටත් කළා. මරණය අබියස තෙරුවන් සරණ ම සිහි කරන පිරිසගේ ආනුභාවයට යක්ෂයාට ළං වෙන්න බැහැ. නැවත හැරී ගියා. මේ ආකාරයට කිහිප වතාවක් ම යක්ෂයා පිටත් කරද්දී යක්ෂයා කිපුණා. යක්ෂයා යකැදුරු, සිව ඇමැති සිතන්නටත් පෙර දෙ දෙනාම කඩුවෙන් දෙපලු කළා.

එනිසා අපට තෙරුවන් සරණ සැබෑම රැකවරණයක්. නන්දිය උපාසක බේරුණේ තිසරණයේ ආනුභාවයෙන් ම යි. ඔහු කිසිදු කරදරයකින් තොරව සුවසේ නිවස වෙත පැමිණියා.

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]