UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවියෙක් සහ දෙව් දුවක්

දෙවියෙක් සහ දෙව් දුවක්

යම් සැමියෙක් ප්‍රාණඝාතය කරන්නේ ය. සොරකම සහ කාමයෙහි වරදවා ද හැසිරෙන්නේ ය. බොරු කියන්නේ ය. මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය ද කරන්නේ ය. දුස්සීලව පවිටු අදහස් ඇතිව දැඩි ලෝභීව වෙසෙන්නේ ය. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා කරන්නේ ය. එවැනි පුද්ගලයාගේ භාර්යාව ද ඒ ආකාරම වූ පවිටු අදහස් ඇත්තීය. එනම්, ලාමක සැමියෙක් ලාමක බිරිඳක හා එක්ව වාසය කරන්නේ වෙයි.

මෙලොව යම් වූ සැමියෙක් ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානය යන පස්පව් කරන්නේ ය. දුස්සීල, පාපී අදහස් ඇත්තේ මසුරුමලින් යුතු වන්නේ ය. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා කරන්නේ ය.

එහෙත් ඔහුගේ බිරිඳ ප්‍රාණඝාතයෙන් සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරුකීමෙන්, මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වැළකි කාන්තාවක් වන්නීය. ඇය සිල්වත් හා කල්‍යාණ දහමින් යුතු ය. මසුරුමල බැහැර කළ සිතින් ගිහිගෙදර වාසය කරන්නී ය. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා නොකරන්නී ය. එම විවාහය ලාමක වූ සැමියෙක්, දෙව්දුවක් බඳු වූ බිරියක් සමඟ එක්ව විසීමකි.

යම් සැමියෙක් ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරුකීමෙන්, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර බීමෙන් වළකින්නේ ය. සිල්වත් ය. කලණ දහම් ඇත්තේ ය. බැහැර කළ මසුරුමල ඇත්තේ ය. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා නොකරන්නේ ය.

එහෙත් ඔහුගේ බිරිය පංචශීලය කඩකරන්නී ය. දුශ්ශීල වූ ලාමක අදහස් ඇත්තී ය. ලෝභී සිතින් යුතුය. මහණ බමුණන්ට ආක්‍රෝශ නින්දා කරන්නී ය. මේ දෙවියෙක් බඳු සැමියෙකු ගුණ නැත්තා වූ ලාමක වූ බිරිඳක සමඟ වාසය කිරීමයි.

යම් සැමියෙක් ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින්නේ ය. බොරුකීමෙන්, මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර බීමෙන් වළකින්නේ ය. සුසිල්වත් ය. කලණ දහම් අදහස් ඇත්තේ ය. මසුරුමලින් බැහැර වූ සිතින් වාසය කරන්නේ ය. මහණ බමුණන්ට ආක්‍රෝශ නින්දා නොකරන්නේ ය.

එමෙන් ම ඔහුගේ බිරිය ද මේ සියලු දුෂ්චරිතයන්ගෙන් වැළකි කාන්තාවක් වන්නී ය. සුසිල්වත් ය. කලණ දහම් ඇත්තී ය. බැහැර කළ මසුරුමල ඇත්තී ද වන්නීය. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්දා නොකරන්නී ය. මේ විවාහය දෙවියෙක්, දෙව් දුවක හා එක්ව වාසය කරන්නාක් බඳුය.

අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ‘පඨම සංවාස’ සූත්‍ර දේශනාව තුළින් කල්‍යාණවන්ත වූ දෙවියෙක්, දෙවඟනක් සමඟින් ජීවත්වන පවුල පිළිබඳව සඳහන් කළ සදහම් පෙළ නුවණින් විමසා බලමු.

දෙදෙනාම සැදැහැතිව පරිත්‍යාගශීලිව, ශීල සංයමයෙන් යුතුව දැහැමි ජීවිත පවත්වන්නේ ද ඔවුනොවුන්ට පියකරු වෙති.

සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිය සම්පූර්ණ වන්නේ ය. ඔවුනොවුන්ට පහසු විහරණ වන්නේ ය.

මෙලොව සමාන සිල් ඇතිව, ඒ දෙදෙන දහම් මඟ සපුරා සතුටු වූවා වෙති. දෙව්ලොව සැප කැමති වෙති.

සසරගත අකුසල කර්ම ඕනෑම ජීවිතයක පැවතිය හැකි ය. එනමුත්, ශ්‍රද්ධා, ශීල, චාග, ප්‍රඥා නම් වූ සතර ගුණ සම්පත් සැමියා, බිරිඳ දෙදෙනාට ම හැකි පමණින් සමාන කර ගනිමින් දියුණු කරගත හැකි නම් ඔවුනොවුන් වෙස්සන්තර මන්ද්‍රි දේවිය, සිදුහත් – යශෝධරා, විශාඛා - පූර්ණවර්ධන, නකුලපිතු – නකුල මාතා නම් චරිතයන්ට සමීප වන්නේ ය.

මේ පරමාර්ථ ධර්ම අවබෝධයට මාර්ගය සකසා ගැනීමකි. හැම එකතුවීමක් ම වෙන්වීමකින් කෙළවර වේ. මේ බව අවබෝධයෙන් ගෘහස්ථ ජීවිතය දෙවියෙක් හා දෙව්දුවක් සේ ගත කරන්න. එමෙන් ම සියල්ල අනිත්‍ය වූ භවයක කිසිවක් ස්ථිර සදාකාලික හා තමාට අවශ්‍ය පරිදි නොපවත්නා බව මැනවින් වටහා ගන්න.

 

 නවම් අමාවක පෝය


 නවම් අමාවක පෝය පෙබරවාරි 15 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.46 ට ලබයි. 16 වනදා සිකුරාදා පූර්ව භාග 02.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මී ළග පෝය පෙබරවාරි 23 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]