Print this Article


විමාන වත්ථු වර්ණනා කථා - 15: උත්තරා විමානය

විමාන වත්ථු වර්ණනා කථා - 15:

උත්තරා විමානය

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කලෙක, එනුවර සිටු නිවසේ සේවකයකු ලෙස පුණ්ණ නම් එක් දුගී පුරුෂයෙක් සිටියේ ය. ඔහුට උත්තරා නමින් ම බිරිඳක් හා දියණියක් ද සිටිය හ. පුණ්ණ එක් දිනකදී සාරිපුත්ත මහ රහතන් වහන්සේට දානයක් පුදා මහත් සැප සම්පත් ලැබී ය.

දුගීව සිටි පුණ්ණ හට ‘බහු ධන සිටු’ තනතුර ලැබුණි. පුණ්ණ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සතියක් පුරා දන් දී දානයෙහි ආදීනව සහිත අනුමෝදනා දේශනාව බුදුරජාණන් වහන්සේගෙන් අසා ඔහු, බිරිඳ හා උත්තරා දියණිය ද සෝවාන් ඵලයෙහි පිහිටුවා ලූ හ.

සෝවාන්ව සිටි මේ උත්තරා දියණිය මිථ්‍යා දෘෂ්ටික කුමරකු හා විවාහ විය. ඔහුගේ නිවසට ගිය දා පටන් භික්ෂූන් වහන්සේ නමක් දැකීමට දානයක් දීමට හෝ බණක් ඇසීමට හෝ නො ලැබුවා ය. කම්පාවට පත්ව තම මවුපියන්ට දුක කියා හසුනක් යැවීය. තමාට කිසිදු පිනක් හෝ කරගත නො හැකි වූ බවට සඳහන් කරුණු ලියා තිිබෙනු දැක පුණ්ණ බලවත් කනස්සල්ලට පත්ව කහවනු පහළොස් දහසක් සමගින් හසුනක් යවා මේ නගරයේ සිරිමා නම් නගර සෝභිණියක් සිටී. මේ කහවනුවලින් ඇය ගෙන්වාගෙන සැමියාට භාර දී තමා කැමැති පරිදි පින් කරගන්න යයි ලියා යැවීය. උත්තරාවෝ ඒ ගණිකාව ගෙන්වා ගෙන සැමියාට පෙන් වූ කල්හි මනා රූපවත් ඒ ස්ත්‍රිය දැක ආලය උපදවා ඇය පිළිගත්තේ ය.

බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිදීමට උත්තරා වඩාත් යුහුසුළුව දන් පිළියෙළ කරමින්, තම අතින් ද දාන කටයුතු සකස් කරමින් එහා මෙහා යුහුසුළුව හැසිරෙනු දුටු ස්වාමිපුරුෂයා ඇය දැක සිටු සැප විඳීමට තිබියදී ඩහදියෙන් තෙත්ව, මේ මුඩු මහණන්ට උවටැන් කිරීමට හැසිරෙන ආකාරය දැක ඔහුට සිනහ ගියේ ය. මේ අසල සිටි සිරිමා මොහුගේ සිනාව කුමක් හෙයින් දැයි බලන්නේ උත්තරාව දැක, හෙට සිට ඇයගේ ඇසුරට පි‍්‍රයව මේ සිනහව වූ බව සළකා තමා පිටින් ආ තැනැත්තියක් බව ද සිහි නො කොට වෛරී සිතින් මහලින් බැස මුළුතැන්ගෙට ගොස් කැවුම් පිසින උතුරන ගිතෙලින් හැන්දක් ගෙන උත්තරාවෝ දෙසට ගියා ය. එන්නා වූ සිරිමා දුටු උත්තරාවෝ මගේ මේ සහායිකාව කළේ මට මහත් ම උපකාරයකි. ‘මේ සක්වළ අතිශයින් බාධා සහිතය’ බඹලොව පවා ඉතා නීච වූවකි. මැයගේ ගුණය යහපත් ය. මම මැය නිසා දන්දීමට දහම් ඇසීමට ලාභී වීමි. මැය කෙරෙහි මගේ ක්‍රෝධයක් වේ නම් මේ ගිතෙලින් මා දැවේවා. එසේ නොවේ නම් මා නො දැවේවායි මෛත්‍රිය සිත් පහළ කරගත්තා ය.

එසේ ම හිස මතට හෙලූ පැසෙමින් තිබූ තෙල් හැන්ද සිසිල් ජලයක් මෙන් වී ය. “නුඹ අපගේ සිටු දියණියට මෙසේ කළේ මන්දැයි සියලුදෙනා එක්ව සිරිමාට තලන්නට විය. ඒ මැදට උත්තරා පැමිණ “මෙසේ දරුණු ක්‍රියාවක් කළේ දැයි” ඇසුවාය.

ආර්යාවෙනි, මගේ මෙම වරදට සමා කරනු මැනැවැ යි පසඟ වැටී කීවා ය.

යෙහෙළිය, මට පියෙක් ඇත. ඒ මගේ පියා සමා කරවා ගත්තේ ද මම ද සමා කරන්නෙමි. ආර්යාවෙනි, ඔබේ පියා පුණ්ණ මහධන සිටුතුමා මම සමා කරවා ගනිමි. යෙහෙළිය, පුණ්ණ යනු මට මේ භවයෙහි උපත දුන් පියා ය. සසරින් නිදහස් වනු පිණිස උපත දුන් පියෙක් මට සිටී. සමා කර ගත යුත්තේ ඒ පියා ය.

සසරින් නිදහස් වනු පිණිස උපත දුන් ඔබේ ඒ පියා කවරෙක් ද?

ඒ ‘සම්මා සම්බුදුරජාණන් වහන්සේ’ ය.

මම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නො හඳුනමි,

ඒ ශාස්තෘන් වහන්සේ හෙට දිනයෙහි භික්ෂු සංඝයා සමග දානයකට මෙහි වඩිති. ඔබට සපයා ගත හැකි සංග්‍රහයට සුදුසු යමක් ගෙන මෙතැනට ම පැමිණ උන්වහන්සේ සමාකරවා ගන්න.

ඇය, පසුදින පැමිණියා ය. බුදුපියාණන් වහන්සේගේ පාමුළ හිඳගත් සිරිමාගෙන් ඔබ කළ වරද කුමක්දැයි විචාළ සේක.

එහි දී පෙරදා සිදු වූ සියල්ල කියා මම කළ වරද පිළිගෙන සමාව අයැදි විට ඔබ වහන්සේ සමා කරවා ගන්නෙහි නම් ඇය ද මට සමාව දෙන බව ඕ කී බව කීවා ය. උත්තරාවන්ගෙන් බුදුරජාණන් වහන්සේ පැසෙන තෙල් හිසෙහි දමන විට ඔබ සිතන ලද්දේ කුමක්දැයි ඇසූ සේක.

“ස්වාමීනි, මේ සක්වල බොහෝ බාධා සහිත ය. බ්‍රහ්ම ලෝක පවා ඉතා ලාමක ය. මගේ සහායිකා සිරිමාවගේ ගුණය ම උසස් ය. මම මැය නිසා දන් දීමට, බණ ඇසීමට ඉඩ ලදිමි. මා තුළ මැය කෙරෙහි ක්‍රෝධයක් වේ නම් මේ උණු තෙල් මා දහනය කෙරේවා. ක්‍රෝධයක් නො වේ නම් මා දහනය නො කෙරේවා යි සිතා මැය කෙරෙහි මෛත්‍රිය පැතිර වූයෙමි’. කීවා ය.

“සාධු සාධු උත්තරාවෙනි, කියා බුදුරජාණන් වහන්සේ එය අනුමෝදන් කර වූ සේක.

ක්‍රෝධය ක්‍රෝධ නො කිරීමෙන් ජය ගන්නේ ය. අයහපත යහපතින් ජය ගන්නේ ය. මසුරු බව දානයෙන් ජය ගන්නේ ය. මුසාව සත්‍යයෙන් ජය ගන්නේ ය. කෙළවර චතුරාර්ය සත්‍යය දේශනාව කළ සේක් උත්තරාවන් සකෘදාගාමි ඵලයෙහි පිහිටියා ය. ඇගේ ස්වාමි පුරුෂයා ද ස්වාමියාගේ මව්පියෝ ද, සෝවාන් ඵලය අවබෝධ කර ගත්හ. සිරිමා ද සෝවාන් ඵලයට පත් විය. මරණින් මතු ඇය දෙව්ලොව උපන්නා ය.