Print this Article


නොබියව මුහුණ දිය යුතු ය

නොබියව මුහුණ දිය යුතු ය

බුදුසරණ පත්‍රයේ සතර පෝයදාටම පළවන මරණසති භාවනාව කවුරුත් හොඳින් කියවා, ඉගෙන ගත යුතුයි. ඇතැමුන් මරණසති භාවනාවට බොහොම බිය යි. එයට බිය විය යුතු නැහැ. පුළුවන්තරම් සිහි නුවණින් ම මරණ සති භාවනාව දියුණු කළ යුතු යි.

මරණානුස්සති භාවනාව තමන්ගේ මෙලොව යහපත සලසා ගැනීමට විශේෂයෙන් මහෝපකාරී වෙයි. තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මද මාන්න ආදිය මරණසති භාවනාවෙන් අඩු වෙයි. එලෙස ම තම ජීවිත වාසනාවන්ත බවට පත් කරගත හැකි යි. උසස් ධර්ම කරුණු වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, අවිහිංසාව ආදිය දියුණු කළ යුතු යි. උසස් ගුණයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කළ හැකි යි. සප්ත විශුද්ධි ධර්මයන් හොඳින් දියුණු කර සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. මරණයට නිර්භීතව මුහුණ දිය හැකි යි. හොඳින් පින් කළ අය මරණයට බිය නැහැ. මරණයට භය වන්නේ පිනක් දහමක් නොකර, සතුන් මරාගෙන, සොරකමේ යෙදෙමින්, අධර්මිෂ්ඨව ජීවත් වන්නන් ය. දරුණු පව් කරන්නන් දින ගණන්, මාස ගණන් , සති ගණන්, දුක් විඳ කෑගසා මැරී අපාගත වෙයි.

එක්තරා තැනැත්තෙක් මරණාසන්නව සත් දිනක් ම නොනවත්වා ම කෑ කෝ ගැසුවා. වේදනා නාශක එන්නත් කළත් කෑගැසීම අඩුවක් නැහැ. පවසන්නෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා යනුවෙනි. ඒ තැනැත්තා ජීවත්ව සිටිනතාක් කළේ පාප කාරී ක්‍රියාවන්. අධාර්මිකව ජීවත් වුණා. මරණය යන වචනය අසන්නවත් කැමැති නැහැ. දැන් ඒ තැනැත්තා නිරා දුකට පත්වන ලකුණු පෙන්වනවා. මරණයත් සමඟ ම නරකාදියට වැටී යයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන පවට බිය විය යුතු යි. පින වැඩි කළ යුතු යි. තම රැකියාව, අධ්‍යාපනය, දෛනික කටයුතු, ආර්ථික කටයුතු කරගන්නා ගමන් මරණය, අපාය, දෙව් ලොව, දුකෙන් නිදහස්ව නිවනට පත් වීමක් තිබෙනවා යැ’යි සිතිය යුතු යි. එවිට කාටවත් නොබියව , නිර්භීතව ජීවත් ව අවසන් හුස්ම හොඳින් හෙළිය හැකි යි.

බුදු සසුනක් ලැබුණු කාලයක අධාර්මිකව ජීවත් වුණොත් , නිරා දුක විඳීම සාධාරණ යි. බුද්ධ ශාසනයක් ලැබුණු කාලයේ අපට සිහි නුවණ හොඳින් ලැබී තිබෙනවා. හොඳ නරක තේරුම් කරන්නට ලැබී තිබෙනවා. සැවොම මව් පිය, ගුරුවරුන්ට, සැලකිය යුතු යි. උදේ සවස බුදුන් නැමඳිය යුතු යි. ධර්ම දේශනා ශ්‍රවණය කළ යුතු යි. භාවනා, යාචක සංග්‍රහ කළ යුතු යි. තම සැඩ පරුෂ ගති දුරු කළ යුතු යි. අවංකව නිහතමානී විය යුතුයි. සුවච කීකරු විය යුතු යි. ස්වාමියාට, ස්වාමි දියණියට සැලකිය යුතු යි. දුවා දරුවන් ගැන සොයා බැලිය යුතු යි. කාටවත් කරදරයක් නැතිව ජීවත් විය යුතු යි. මේ කරුණු මරණ සතිය වඩද්දී හොඳින් දියුණු කළ හැකි යි. එසේනම්, මේ වගන්ති හොඳට සිහියට ගෙන ලියා තබා හෝ හොඳ අවධානයක් සිතට ගත යුතු යි.

අනිච්ඡා වත සංඛාරා උප්පාද වය ධම්මිනො උප්පජ්ජිත්වා නිරුක්‍ධ්ජන්ති තේසං වූප සමො සුඛො – ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. මාගේ ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන්ගේ ජීවිත බිය වනාහි එක චිත්තක්ෂණයක්ව පවත්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. අතීත චිත්තක්ෂණයෝ ද පැවතුණා වූ ජීවිතයන් වනාහි , වර්තමාන චිත්තක්ෂණයට පැමිණ මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. වර්තමාන චිත්තක්ෂණයෝ ද පවත්නා වූ ජීවිත වනාහි අනාගත චිත්තක්ෂණයට පැමිණ මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. අනාගත චිත්තක්ෂණයන් පහළ වන හෙයින් ද , මතු අනාගත චිත්තක්ෂණයට පැමිණ මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. සිටගෙන සිටියදී ද මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ඇවිදිමින් සිටියදී ද සැවොම මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. වාඩිවී සිටියදී ද මරණයට පත් වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. නිදාගෙන සිටියදී ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. යම් හෙයකින් වනාහි මරණානුස්සති භාවනාව මෙසේ මහානුභාව සම්පන්න ද එසේ හෙයින් මහා නුවණැති වූ යෝගාවචර වූ හැම කල්හි ම ඒකාන්තයෙන් මරණානුස්සති භාවනාව වඩන්නේ ය. වැඩිය යුත්තේ ම ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි . මරණය නියත යි.

මෙලෙස මරණ සතිය දියුණු කළ යුතු යි. සෑම උපමාවකින් ම පවසන්නේ ජීවිතය අස්ථිර බවත් මරණය ස්ථීර බවත් ය. ඒ නිසා කවුරුත් තම ජීවිතය ගැන ම කල්පනා කර මරණය කරා මා යනවා යැ’යි සිතාගෙන ම කටයුතු කළ යුතු යි. එවිට ගුණ ධර්මයන්ට සිත නැඹුරු වෙයි. නපුරු ගති පැවතුම් ඉවත් කර ගනියි. මෛත්‍රිය කරුණාව හොඳින් වැඩෙයි. කුමන දෙයක් ගැනවත් ඇලීමක්, ගැටීමක් නැහැ.