Print this Article


පනාවල සිරි නන්දනාරාමය

පනාවල සිරි නන්දනාරාමය


සම්බුදු මැදුර

සෑ රදුන්වහන්සේ

ගම්පහ මීරිගම පනාවල ග්‍රාමයේ සිරි නන්දනාරාමය ආරම්භ වූයේ 1932 වසරේ දීය. පොල් අතු සෙවිලි කළ ආවාස කුටියක් සකස් කර නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මහා විහාරයෙන් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා ආගමික කටයුතු සිදු කිරීමෙන් ආරම්භය සනිටුහන් විය.


පනාවල විජිතසිරි හිමි

නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මාතලේ ධම්මසිද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එච්. පි. සාංචිනෝනා උපාසිකා මාතාව හා දෙටුපුත් ගම්පති කේ. අතුරුගිරිය මහතා විසින් පූජා කරන ලද අක්කරයක පමණ භූමි භාගයකට ගෙන ගොස් 1938 වීදිය වත්තේ සුමේධාලංකාර ස්වාමීන්වහන්සේ වැඩම කරවා ප්‍රථම වස් විසීම සිදුකර ඇත.

අනතුරුව කලවානේ පඤ්ඤාධීර, ලේල්වල මේධානන්ද, පණ්ඩිත සංඝානන්ද, ආචාර්ය වරකාපොල රතනසාර, පුස්සැල්ලාවේ පඤ්ඤාසේකර, තිබ්බටුගොඩ මුනින්දඝෝෂ යන නායක ස්වාමීන්වහන්සේලා පිළිවෙලින් වස් වසා ඇත.

1951 දී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත උනන්විටියේ විජයසිරි හිමියන් මෙම විහාරස්ථානයට වැඩම කළ පසු විහාරස්ථානය ද, ගම ද දියුණුවට පත්විය. ආවාස මන්දිර, ධර්ම ශාලා, විහාරමන්දිර, බෝධි රෝපණ, වෙහෙර වහන්සේ, පෝය සීමා, ආදියෙන් පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කළහ. ගම්පති අතුරුගිරිය මහතාගේ ම ඉඩමක පාසල් ගොඩනැගිලි ඉදිකරවා රජයට භාරදුන්හ. දායක සභා, කුලඟන සමිති, තරුණ බෞද්ධ සමිති, දහම් පාසල්, ග්‍රාමසංවර්ධන, මරණාධාර, පරෝපකාර ආදී විවිධ සංවිධාන පිහිටුවා අනුශාසක ධූරය දැරූහ. පනාවල ග්‍රාමයට මෙන් ම විහාරස්ථානයට ද විශාල සේවාවක් කළ විජයසිරි නායක ස්වාමීන් වහන්සේ 1981 දී අපවත් වූහ.

ඉන්පසු විහාරාධිපති වශයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමගෙන් ශාස්ත්‍රවේදී පනාවල විජිතසිරි ස්වාමීන් වහන්සේ මේ දක්වා කටයුතු කරමින් සිටිති. අනෙක් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වන පනාවල ජිනසිරි ස්වාමීන් වහන්සේ බරිගොඩ මහින්දාරාමයේ නායක ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරමින් සිටින අතර උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දිසාපාලක නායක ස්වාමීන් වහන්සේ නමකි.

වත්මන් සිරිනන්දනාරාම පින්බිම ප්‍රදේශයේ දර්ශනීය පූජා භූමියක් බවට පත්කිරීමට විහාරාධිපති විජිතසිරි ස්වාමීන් වහන්සේත්, විහාර කාර්ය සාධන සමිතියත් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කර ඇත. වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පනාවල විජිතසිරි ස්වාමීන් වහන්සේගේ සමාජ මෙහෙවර අගය කරමින් ශ්‍රී ලංකා සමාජ සේවා සුභසාධක සංගමය මගින් 2017 ‘සද්ධර්ම වාගීශ්වර විචිත්‍ර ධර්ම කථික’ යන ගෞරව නාමය පුද කරන ලදී.

උන්වහන්සේ විසින් ශාසනයට කරන සේවයත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායට කරන සේවයත්, දායක දායිකා පින්වතුන්ට කරන ශාසනික සේවයත්, අගය කරමින් 2018 ජනවාරි 29 වන දින’ ශාසන කීර්ති ශ්‍රී සංඝ සෝබන යන ගෞරව නාමය සහිත ප්‍රාදේශීය උපාධ්‍යාය තනතුර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ විසින් පිරිනමන ලදී.

‘සද්ධර්ම වාගීශ්වර විචිත්‍ර ධර්ම කථික ශාසන කීර්ති ශ්‍රී සංඝ සෝබන උපාධ්‍යාය ශාස්ත්‍රාචාර්ය පනාවල විජිතසිරි නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීම සඳහා පෙබරවාරි 16 සහ 17 දිනවල විශේෂ උත්සවයක් සංවිධානය කර ඇත. 16 වන දින පෙරහරකින් උන්වහන්සේ විහාරස්ථානයට වැඩමවා බෝධි පූජා, සෙත් පිරිත් සජ්ඣායනා පැවැත්වීමටත් 17 වන දින උදේ 9ට අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගිත්වයෙන් උත්සව සභාවක් ද පැවැත්වෙන අතර එදින දවල් 75 නමකට සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ද නියමිත ය.