Print this Article


කුඹුක්වැවේ හේමසිරි අභිනව නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය 18 වන දා

කුඹුක්වැවේ හේමසිරි අභිනව නා හිමියන් පිළිගැනීමේ මහෝත්සවය 18 වන දා

බඹරැන්ද මාලියද්ද පුරාණ විහාරාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය, ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස කුඹුක්වැවේ හේමසිරි අභිධාන හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මැනවින් ප්‍රකට කරමින් වැඩසිටින ශික්ෂාකාමී ධර්ම විනයධර යතිවරයන් වහන්සේ නමකි. ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් උන්වහන්සේ වෙත අභිනව අධිකරණ සංඝ නායක පදවියක් පිරිනැමීම අප ප්‍රදේශවාසී ගිහි පැවිදි සකල සත්පුරුෂ සාධු ජනයාගේ ඉමහත් සන්තුෂ්ටියට හේතු වන්නකි.

අභිනව අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ වූ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උළෙල පෙබරවාරි 13 පස්වරු 3.00 ට මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී පැවැත්වුණි. අභිනව නාහිමි පිළිගැනීමේ උළෙල පෙබරවාරි 18 වනදා පෙරවරු 9.00 ට මාලියද්ද පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ. මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්ති සද්ධම්මජෝති කධජ ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවන එම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත පල්ලත්තර ශ්‍රී සුමනජෝත්‍යාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගිවෙති. ඇමෙරිකාවේ මිනෂොටා බෞද්ධ විහාරාධිපති උල්ලල චන්දිම හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් ද, ප්‍රධාන ශිෂ්‍ය හල්විටිගල අනෝමදස්සි හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පිරිසේ හා දායක සභාවේ ද උත්සව කමිටුවේ හා උත්සව සංවිධායක මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙය සංවිධානය කෙරේ. පෙබරවාරි 18 වැනි දා උත්සවයේ නිමාවෙන් පසු ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ.

හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කුඹුක්වැවේ ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස හේමසිරි අභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට ශතවර්ෂාධික කාලයත් යෙහෙන් වැජඹීමට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයත් දෙවියන්ගේ රැකවරණයත් උදාවේවා!