Print this Article


tmp.asp?ID=fea01

ඉංගිරියේ ධම්මින්ද නා හිමි

රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලැබූ හොරණ නර්තනගල ආරණ්‍ය සේනාසනාධිපති ඉංගිරියේ ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ, විනයධර, සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමකි.

කළුතර දිසාවේ ඉංගිරිය ග්‍රාමය උන්වහන්සේගේ ජන්ම භූමිය විය. 1958 ඔක්තෝබර් 17 වන දින උපත ලැබූ හෙතෙම ගිහි නමින් පී.ඒ. ජයලත් පද්මසිරි නම් විය. එම කුමරුවාගේ පියා පී.ඒ. පියසේන වූ අතර ජී. ඇල්පිනෝනා උපාසිකාව මව වූවා ය. සහෝදරයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවනියා ලෙස උපත ලැබී ය.

පී.ඒ. ජයලත් පත්මසිරි කුමරුවා ඉංගිරිය බෞද්ධ පාසලෙහි හත් වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙන්නේ ඉංගිරිය ගාමිණී විද්‍යාලයට යි. එම පාසලින් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා පාරම්පරික නැටුම් ශිල්පය ද හදාරන්නේ ස්වකීය සහජ දක්ෂතාවයන් ඔප්නංවා ගැනීමටයි.

කුඩා කල පටන් උන්වහන්සේ ඇසුරු කළ පී.ඒ. ජයලත් පත්මසිරි තරුණ දරුවා වයස අවුරුදු තිස් දෙකේ දී 1982. ඔක්තෝබර් 21 වන දින වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වනවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස ඉංගිරියේ ධම්මින්ද නමින් පැවිදි වූහ. කෙටි කාලයක් තුළ උගතමනා බණ දහම් සියල්ල මැනවින් ඉගෙන 1983 ජුනි 29 වන දින උපසම්පදා විය. ධර්ම පිපාසාවෙන් පසු වූ උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය දක්වා ඉගෙනගෙන අනතුරුව ත්‍රිපිටකාචාර්ය උපාධිය ද ලබා ගත්හ.

භාවනාව පිළිබඳ ව නිසි අවබෝධයක් ලබාගෙන ඊට සුදුසු ආරණ්‍ය සේනාසනයක් ගොඩනැගීම ඉංගිරියේ ධම්මින්ද හිමියන්ගේ අභිප්‍රාය විය. හොරණ යසස්සි හිමියන් විසින් ආරම්භ කරන ලද කොබවක සීවලී, යගිරල මහින්ද යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ගොඩනැගීමට උත්සාහ කළ නර්තනගල ආවාසයේ භාරකාරත්වය ඉංගිරියේ ධම්මින්ද හිමියන්ට පැවරිණි. 1984 දී හොරණ නර්තනගල ප්‍රදේශයට වැඩම කරන උන්වහන්සේ දර්ශනීය වූ ආරණ්‍ය සේනාසනයක් ගොඩනැගූහ.

නර්තනගල ගම්මානයට ජලය, විදුලිය ලබාදීමටත් මං මාවත් නිසි ලෙස සකස් කිරීමටත් මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ නා හිමියන් විසිනි. උන්වහන්සේගේ පරාර්ථ චර්යාවන්ගේ අගය මනාව තේරුම්ගත් ප්‍රදේශවාසීහු හොරණ පොලීසිය ඉදිරිපස මාවත “ශ්‍රී ධම්මින්ද මාවත” නමින් නම් කිරීමට තරම් කෘතඥ වූහ. ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති දරුවන්ට රියදුරු පුහුණුව ලබාගැනීම සඳහා උදව් කිරීම, රැකියා ලබාදීමට කටයුතු කිරීම, විපත් පැමිණිවිට උපකාර කිරීම ආදී ක්‍රියාවන් ධම්මින්ද හිමියන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ ක්‍රියාවන් ය.

අභිනව නායක පදවියෙන් පිදුම් ලැබූ නර්තනගල ආරණ්‍ය සේනාසනාධිපති, රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝ නායක ඉංගිරියේ ධම්මින්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.


දුණුදැමුවැවේ ධම්මාලෝක හිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සංඝ පීතෘවරයෙකු වූ අනුරාධපුර සාලියපුර උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරස්ථානය හා පුරාණ විහාරස්ථාන රැසක විහාරාධිපති දුණු දැමු වැවේ ධම්මාලෝක නා හිමිපාණන් වහන්සේගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙනි.

අනුරාධපුර නොච්චියාගම දුණු දැමූ වැවේ ඩී.එම්. මැණික්රාල උපාසකතුමාගේත් උක්කුඅම්මා උපාසක තුමියගේත් පිරිමි දරුවන් තිදෙනා අතර මද්දුම පුතා ලෙස 1942 පෙබරවාරි 17 දින උපත ලැබූ ඩී.එම්. ජයතිලක දරුවා නොච්චියාගම විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටියදී නොච්චියාගම ඓතිහාසික හල්මිල්ලගල ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරාධිපතිව වැඩ විසූ වැලිවැවේ රතනපාල නා හිමි පාණන්වහන්සේට භාර කළහ. ගුරු නාහිමිපාණන් වහන්සේගෙන් දහම් දැනුම ලැබ පසුව ගම්පහ විද්‍යාරවින්ද විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත්ව වේයන්ගොඩ දඩගමු රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් වැඩිදුර අධ්‍යාපනය ලැබූහ.

1962 ජූනි 09 වෙන දින මහනුවර මල්වතු උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබුවේ හල්මිල්ලගල රජමහා විහාරාධිපති වැලිවැවේ රතනපාල නාහිමිපාණන් වහන්සේගේත් අල්ගම ධම්මජෝති නා හිමි පාණන්වහන්සේගේත් ශිෂ්‍ය නමක් ලෙස ය. උපසම්පදාව ලැබීමෙන් පසුවද, විද්‍යාරවින්ද විශ්වවිද්‍යාල පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටිය දී හල්මිල්ලගල රජමහා විහාරාධිපති වැලිවැවේ රතනපාල ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු තමන් පැවිදි වූ විහාරස්ථානයට ආපසු වැඩම කළ නා හිමි පාණන්වහන්සේ නව විහාරාධිපති ගල්කඩවල අත්ථදස්සී නා හිමිපාණන් වහන්සේගේ උපදෙස් අනුව හල්මිල්ලගල රජමහා විහාරස්ථානයෙන් පාලනය වූ විහාරස්ථානයක් භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පොල්අතු මඩුවකට පමණක් සීමා වී තිබූ අනුරාධපුර පුලියන්කුලමේ සාලියපුර රජමහා විහාරස්ථානය 1965 දී භාර ගන්නා විට කිසිදු පහසුකමක් තිබුණේ නැත.

උන්වහන්සේ පළමුව එම විහාරස්ථානය සංවර්ධන කටයුතු කළේ ය. සියලු විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ කරන ලද එම විහාරස්ථානය උන්වහන්සේගේ 76 වන ජන්ම දින පින්කම පැවැත්වෙන මෙම මස 17 වන දින විහාරස්ථානයේ වම් පස ඉදිකරන ලද නව ඇත් පවුර ද විවෘත කිරීමට නියමිත ය. මේ වන විට උත්තර සාලිය ශ්‍රී දළදා රජ මහා විහාරස්ථාන සංවර්ධනය කෙරේ. විහාරස්ථානයේ රුපියල් හත් කෝටියක පමණ වියදමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීමේ කටයුතු මෙම වසරේ ඇරඹීමට නාහිමිපාණන් වහන්සේ කටයුතු සලසා ඇත. බෝධීන් වහන්සේ උදෙසා රන්වැටක් ඉදිකිරීමට නියමිත ය.

1970 දී උන්වහන්සේ ඇරඹු මිහිඳු දහම් පාසල මේ වන විට දහම් පාසල් දරුවන් දහස ඉක්මවා ඇති අතර සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් උරුම කර ගෙන තිබේ. පෙර පාසල ද ප්‍රදේශයේ ජනපි‍්‍රය වී තිබේ. ජල නල, ළිං, විදුලිය ආදී සියලු පහසුකම් සහිත මෙම විහාරස්ථානය දුර බැහැරින් අටමස්ථාන වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගේ නවාතැන් පලක් බවට පත් කිරීමට නා හිමිපාණන් වහන්සේ පියවර ගෙන තිබේ. උන්වහන්සේ මේ වන විට දිළිඳු පවුල් සඳහා නිවාස දහයක් ඉදිකර පරිත්‍යාග කර තිබේ. රුපියල් ලක්ෂයක වියදමෙන් පානියන්කඩවල බස් මගීන් සඳහා ඉදිකරන ලද බස්නැවතුම්පොළ උන්වහන්සේගේ ජන්ම දින සමරන දා ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. තවත් බස් නැවතුම් පළ 02 ක් විහාරස්ථානය අසල ඉදි කිරීමට නියමිත ය. ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන් සඳහා පොත්පත් ඇඳුම් පැළඳුම් හා අධ්‍යාපන උපකරණ වසරක් පාසා ලබාදෙන උන්වහන්සේ සාලියපුර පිහිටි ළමා නිවාසයේ අසරණ දරුවන් වෙනුවෙන් දන් දීම ද දරුවන්ගේ අවශ්‍යතා ද ඉටු කරන මහ සඟ රුවනකි.

“පරිත්‍ර භාණක” ශාසනික සම්මානයෙන් ද පිදුම් ලැබූ උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයකු වශයෙන් ප්‍රසිද්ධියක් උසුලති.

සාලියපුර ලොකු හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධ උන්වහන්සේ ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ද බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නිරන්තර ගෞරවයට පාත්‍රව සිටිති. මාන්කඩවල විදුහලේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත විලච්චියේ සද්ධානන්ද හිමි පාණන්වහන්සේ ප්‍රමුඛ දැන උගත් ශිෂ්‍ය හිමිවරුන් කීප දෙනෙකු සම්බුද්ධ ශාසනයට දායාද කර ඇති නාහිමිපාණන්වහන්සේ දිවි මගේ 76 වෙනි වියට පා තබද්දී පැවිදි දිවියේ 68 වෙනි වියට පත්වෙති. උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 17 වෙනි දින විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


බම්බලපිටියේ ආනන්ද තිස්ස නා හිමි

අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි පුරාණ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක බම්බලපිටියේ ආනන්දතිස්ස නා හිමියෝ මෙම පෙබරවාරි 17 දින 62වන වසර සපුරති.

සිය ජන්ම දිනය නිමිත්තෙන් 29 වටරත් ශ්‍රී දළදා වහන්සේ උදෙසා විශේෂ බුද්ධ පුජා පවත්වමින් මල්වතු අස්ගිිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය උදෙසා සපිරිකර දානමය පින්කම් මාලාවක් සිදුකෙරේ.

1956 පෙබරවාරි 17 දින කේ.ඒ. හෙන්ද්‍රික් හා ඩබ්ලිව්. ලුසිනෝනා දම්පතීන්ගේ පුත්ව බම්බලපිටියේ දී උපත ලබා කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා 1967 අප්‍රේල් 28 දින රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස මහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ආනන්ද තිස්ස නමින් පැවිදි විය.

රන්දොඹේ මහාචේතිය පිරිවෙනින් ද අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙනෙන් ද අධ්‍යාපනය ලද උන්වහන්සේ අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නා හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1975 ජූලි 06 දින උපසම්පදාව ලැබූහ.

ගුරුහිමියන්ගේ අපවත්වීමෙන් 1978 සැප්තැම්බර් 06 දින චේතියගිරි පුරාණ විහාරාධිපති වශයෙන් පත් විය.

චේතියගිරිමහාසෑය,ඇතුළු අංග රාශියකින් විහාරස්ථානය පරිපූර්ණ කළේය.

35 වසරක් දඹදිව වන්දනාවේ නියැලී උන්වහන්සේ තායිලන්තය හා මියන්මාර්හිද වන්දනාවේ ද යෙදෙති. ශී‍්‍ර ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන් ගේ සංගමයේ උප සභාපති ආනන්ද තිස්ස නා හිමියෝ කා අතරත් පි‍්‍රයශීලී විය. බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමියෝ භාරතාභිනන්දන, අවිහිංසාවාදී, ශාසන කීර්ති ශ්‍රී අසරණ සරණ ආදී සම්මාන ලැබූහ.