Print this Article


මුනි සිරිපා කරුණා කරන සමය යි මේ: සැදැහැති සිරිපා වන්දනාව

සැදැහැති සිරිපා වන්දනාව

බුදු සිරිපා වන්දනාවට සැදැහැති දනන් පමණක් නොව රෑන් රෑන් සමනලුන් ද පැමිණෙන වග නොරහසකි. මෑත අතීතයේ පවා කහ සහ සුදු පැහැති සමනලුන් මෙසේ සිරිපාද පද්මය දෙසට පියාඹන සැටි අපි දැක ඇත්තෙමු. සිරිපා වන්දනා සමයේ දී සමනලුන් බටහිර දිශවේ සිට නැගෙනහිර දිශාවට රංචු පිටින් පියඹා ගොස් සමනල අඩවියේ පිපි වන මලින් රොන් බී මත් ව පර්වතයන් හි ගැටෙන බවට සබරගමුවේ ජන කතාවක් ද වේ. සිරිපා කඳු මුදුනට සමනල කන්ද යන නම ලැබී ඇත්තේ ද මෙසේ සමනලුන් පැමිණෙන නිසා බව පැවසේ.

සිරිපා වන්දනාවේ මූලාරම්භය කවර කලෙක සිට සිදුවී ද යන්න පිළිබඳව පැහැදිලිව සොයාගෙන නැත. දුටුගැමුණු රජු, තම මරණාසන්න මොහොතේ දී පුල්ලාභය නම් ස්ථවිරයන් අමතා තමාට ආශිර්වාද කරන්න යැයි ඉල්ලා සිටි අවස්ථාවේ දී රජතුමා විසින් කරන ලද අතිවිශිෂ්ට පුණ්‍ය කටයුතු මතක්කර දුනි. ඒ අතරින් රජතුමාගේ සිත බෙහෙවින් නිවී පැහැදුණේ දුර්භික්ෂයක් පැවති සමයක දී එතුමා විසින් මලියදේව භික්ෂූන් වහන්සේට පූජා කළ කැඳවලින් කොටසක් සමනොළ අඩවියේ සිටි නවසියයක් වූ භික්ෂූන්ට පිළිගන්වා බෙදාහදාගත් අවස්ථාවටය. මින් පිළිගත හැකි වන්නේ ක්‍රි. පූ. 140 ශ්‍රී පාදස්ථානය පූජනීය තත්ත්වයකට පත්ව තිබූ බවයි.

මෙතරම් භික්ෂූන් පිරිසක් සිටීමට එහි විශාල විහාරාරම තිබෙන්නට ඇතැයි ද සිතිය හැකි ය.

කාශ්‍යප රජුගේ පුත් කුමරෙකු වූ ශක්‍ර සේනාධිපතිගේ දේවිය වූ වජිරා දේවිය සමන්ගිරෙහි මෙහෙණි අසපුවක් තනවා මෙහෙණිවරුන්ට පිදූ බව මහාවංශයේ සඳහන් වේ.

රටතුළ පැවැති ඇතැම් පරසතුරු ආක්‍රමණ නිසා ශ්‍රීපාදස්ථානය බොදු ජනයා අතරින් ඈත් වූ නමුත් ඇතැම් රාජ්‍ය පාලන සමයන්හි දී මේ උතුම් පූජනීය ස්ථානය බැතිමතුන්ට සමීප විය.

එලෙස ම රටතුළ ඇති වූ නොයෙක් නොසන්සුන් කාලයන්හි දී ශ්‍රී පාද ස්ථානය ද එයට ප්‍රවේශවන මාර්ග ද වනගත විය. යුගයෙන් යුගයට කාලයෙන් කාලයට සතුරු උපද්‍රව පැමිණෙන අවස්ථාවන්හි දී සුමන සමන් දෙවියන් විසින් සමනල කන්දට යන මාර්ග සඟවන බවට ද විශ්වාසයක් පැවති බව ජනප්‍රවාදවල සඳහන්වෙයි.

එකල සමනල කන්ද වන සතුන්ගෙන් සර්පයන්ගෙන් ගහන අඳුරු දුර්ගයක්ව පැවති බවට ද සඳහන් වේ. මේ නිසා ඉතිහාසයේ ඇතැම් කාලයන් හි ශ්‍රී පාද ස්ථානය සොයාගැන්ම පවා දුෂ්කර වූ බව ද සඳහන් වේ.