Print this Article


කුඹුක්වැවේ හේමසිරි නා හිමි

මාලියද්ද පුරාණ විහාරාධිපති කුඹුක්වැවේ හේමසිරි හිමියෝ නායක පදවි ලබති

 

 

දික්වැල්ල බඹරැන්ද මාලියද්ද පුරාණ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යාතිලක විශ්‍රාමලත් පාඨශාලාචාර්ය කුඹුක්වැවේ හේමසිරි නා හිමියන් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය සහ ප්‍රවචන ‘කීර්ති ශ්‍රී උපතිස්ස’ ගෞරව නාමයෙන් පිදුම් ලබයි.


සිදුකර ඇති ශාසනික සාමාජික සේවාව ප්‍රශංසනීය වේ

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල මාලියද්ද පුරාණ විහාරාධිපති ශාස්ත්‍රවේදී කුඹුක්වැවේ හේමසිරි ස්ථවිරයන් වෙත “ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස” යන ගෞරව නාමය සහිතව හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අපේ ගරුතර කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පත් කරන්නට යෙදුනි.

කුඹුක්වැවේ හේමසිරි නායක ස්ථවිරයන් 1959 වර්ෂයේ ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් ව කීර්තිමත් පැපිලියානේ සුනේත්‍රාදේවි මහ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ද හදාරා පාසල් කිහිපයක ම ධර්මාචාර්යයන් කෙනෙක් ලෙස සේවය කොට විශ්‍රාම ගෙන සිටින ව්‍යක්ත විනීත බහුශ්‍රැත ස්ථවිර කෙනෙකි.

මාලියද්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දරමින් එකී විහාරස්ථානයේ සියලු විහාරාංග ප්‍රතිසංස්කරණය කරමින් ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු සංවිධානය කර ඇත. ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් ප්‍රතිබල සම්පන්න ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතිදැඩි කරමින් ශාසනික වශයෙන් මහාර්ඝ සේවාවක් සිදු කර ඇත. එම ස්ථවිරයන් විසින් විහාරස්ථානයේ මෙන් ම ප්‍රාදේශීය වශයෙන් ඇති සමිති සමාගම්වල නිලතල හොබවමින් සිදුකර ඇති ජාතික, සාමාජික සේවාව ද ප්‍රශංසනීය වේ.

අප මල්වතු මහාවිහාරීය ශාසනික සම්ප්‍රදායන් මැනවින් ආරක්ෂා කරමින් ගිහි පැවිදි සියලු දෙනාගේ සිත් දිනාගෙන ක්‍රියාශීලී භික්ෂුවක් ලෙස කටයුතු කරන ශාස්ත්‍රවේදී කුඹුක්වැවේ ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස හේමසිරි අභිධාන හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්ථවිරයන් වහන්සේට ඉදිරියේදී ත් රට දැය සමය වෙනුවෙන් අර්ථ සම්පන්න සේවාවක් ඉෂ්ඨ සිද්ධ කිරීමට තෙරුවන් සරණින් හා දළදා සමිඳු පිහිටෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි ආශිංසනය කරම්හ.


සිල්වත් ගුණවත් ආදර්ශවත් යතිවරයෙක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිටිසර කුඹුක්වැව ග්‍රාමයේ 1947 ජූනි මස 22 වන දින ජන්ම ලාභය ලබා වයස අවුරුදු 9 දී මාතර දිස්ත්‍රික්කයේ මාලියද්ද පුරාණ විහාරයට පැමිණීම උන්වහන්සේගේ ස්වර්ණමය දොරටුව වූවා යැයි සිතේ. එවකට මාලියද්ද පුරාණ විහාරාධිපති, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක හා පාලි අංශයේ කථිකාචාර්ය බඹරැන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවෙනහි මූලික අධ්‍යාපනය ලබමින් විල්පිට බුද්ධරක්ඛිත, බඹරැන්දේ යසස්සි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ද ගුරු කොට ගනිමින් පැවිදි දිවියට පත්වීම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනයට ද හේතු විය.

වලස්ගල සිරි සරණංකර පිරිවෙණ, ගාල්ල හෙට්ඨාචල මහ පිරිවෙණ, පැපිලියාන සුනේත්‍රා දේවි මහ පිරිවෙණ යන විද්‍යායතනවලින් තෙවලා බුදුවදන ඇතුළු පාලි, සංස්කෘත, සිංහල ආදී විෂයයන් මැනවින් උගත් උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ඇත. සිල්වත් මහා යතිවරයෙකු වන කුඹුක්වැවේ හේමසිරි හිමියෝ ලොකු කුඩා, ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට ආදර්ශයට ගත හැකි චරිතයකි. අධ්‍යාපනය ලබන කාලයේ දී පැපිළියාන සුනේත්‍රා දේවි මහා පිරිවණේ දී ප්‍රථමයෙන් ම අප මුණගැසුණි. අප වයසින් උන්වහන්සේ ට බාල වුව ද ඇසුරු කිරීමට ඉතා යහපත් මිතුරෙකු විය. වරෙක කුලුපඟ මිතුරෙකු වූ උන්වහන්සේ වරෙක අප ට අගනා වැඩිහිටියෙකු ද විය. නිරහංකාර, විනීත, සිල්වත් බව කුඩා සහ තරුණ කාලයේ මෙන්ම අද ද උන්වහන්සේ තුළින් දක්නට ලැබේ. මාගේ ජීවිතයේ මුණ ගැසුණු අව්‍යාජ මිතුරන් අතර අද ද උන්වහන්සේ නොවෙනස් මිතුරෙකි. අවංක, දක්ෂ, උගත් මහා යතිවරයෙකු වන කුඹුක්වැවේ හේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට උක්ත නායක පදවිය ගෞරව නාමයක් සහිතව මල්වතු මහා විහාර සංඝ සභාව විසින් පිරිනැමීම තුළින් සුදුස්සාට සුදුසු තනතුර පිරිනමා ඇතැයි මට සිතේ.

අධ්‍යාපනය ලබන අවධියේ උන්වහන්සේ අප සමග අධ්‍යාපනය ලැබූ සහෝදර ශිෂ්‍ය භික්ෂුවක් වූවා පමණක් නොව, උන්වහන්සේ වැඩිහිටියෙකු වශයෙන් අප වෙත දෙන ලද අවවාද අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට ද මහෝපකාරී විය. එබැවින් උන්වහන්සේ අපට ධර්මාචාර්යවරයෙකු වූවා යැයි හැඳින්වීම ද වරදක් නොවේ.

අධ්‍යාපනය ලැබීමෙන් පසු මාතර ජයසුමන පිරිවෙණෙන් ගුරු ජීවිතය ආරම්භ කළ උන්වහන්සේ එහි ටික කලක් සේවය කළ අතර තමා අධ්‍යාපනය ලැබූ ගාල්ල යටගල හෙට්ඨාචල මහා පිරිවෙණෙහි ද පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර 1976 දී පාසල් ගුරුපත්වීම ලබා හ/ ථෙරපුත්ත මහ විදුහල, බැරගම ජනපද විදුහල, අම්බලන්තොට මහ විදුහල, රන්න මහ විදුහල, දකුණු කොළඹ ගාමිණි විදුහල හා මාර / දික්වැල්ල විජිත මහ විදුහලේ ද ගුරුවරයෙකු ලෙස සේවය කොට ඇත.

ඉගෙනුම ලබන අවදියේ සිට ම දහම් පාසල් ගුරුවරයෙකු ලෙස සේවය කළ උන්වහන්සේ නේවාසික ව වැඩ සිටි සෑම විහාරස්ථානයක ම දහම් පාසල් වල ඉගැන්වීම් කළ අතර 1991 වර්ෂයේ තම ගුරුදේවයන් වහන්සේ නමින් මාලියද්ද පුරාණ විහාරස්ථ සිරි උපතිස්ස දහම් පාසල ආරම්භ කොට ඇත. එසේ ම රටෙහි ඇති වූ ගංවතුර, සුළි සුළං, නියංසාය වැනි ආපදා අවස්ථාවල දී තම දහම් පාසල, විහාරස්ථ ‘සුජාතා’ කුළගන සමිතිය, සතර පේරුවේ දායක පින්වතුන් ද සමග ඒ ඒ ස්ථානවලට ගොස් විපතට පත් වූවන්ට අවශ්‍ය දේ සපයමින් පිහිටවීම ද උන්වහන්සේගේ සිරිතකි.

ප්‍රදේශයේ සියලු ආගමික අවශ්‍යතා සපුරන විචිත්‍ර ධර්ම දේශකයෙකු, නිවැරැදි හා ආදර්ශ සම්පන්න නායකයෙකු වශයෙන් හේමසිරි හිමියෝ කටයුතු කරනු ලබති. ප්‍රදේශයේ සියලු නිකායික භික්ෂූන් වහන්සේලාගේ ආදරයත්, ගෞරවයත් දිනා සිටින උන්වහන්සේ අවංක ය. සත්‍ය ගරුක ය. උන්වහන්සේගේ ගුරුසේවය තවත් වසර පහක් ඉතිරිව තිබියදී ගුරු දිවියට සමුදීමට තීරණය කළේ ඒ වන විට ජීවත්ව සිටි එකම ගුරු දේවයන් වහන්සේ ඔත්පල වූ නිසා ය. තම පියා ය යන උතුම් ගෞරවනීය අදහසින් තම ගුරුදේවයන් වහන්සේ දෙනෙත මෙන් රැක ගත්හ.


උගත් බහුශ්‍රැත මහා යතිවරයෙකි

ආගමික, අධ්‍යාපනික, ජාතික හා සාමාජික උතුම් මෙහෙවරක නිරත, ව්‍යක්ත , බහුශ්‍රැත, සීල සම්පන්න හා අතිශය නිහතමානී උතුම් ගුණයන්ගෙන් යුතු කුඹුක්වැවේ හේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව මගින් පිරිනමන ලද “ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස” ගෞරව නාමය සහිත හම්බන්තොට මාගම් පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය වෙනුවෙන් සුභාශිංසන එක්කරන්නට ලැබීම අතිශය සතුට ට හේතුවක් බව අවධාරණය කරමි.

දික්වැල්ල මාලියද්ද පුරාණ විහාරාධිපති කුඹුක්වැවේ හේමසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ, උගත්, බහුශ්‍රැත මහා යතිවරයෙකි. ජාතුන් ගමගේ මැණික්හාමි , දොන් චාර්ලිස් සමරසිංහ යන අයගේ සුපින්වත් පුත්‍රයෙකු වන උන්වහන්සේ 1959 අගෝස්තු මස 14 වන දින පැවිදි දිවියට පත්වන්නේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, විනය පාලක, බඹරැන්දේ උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විල්පිට බුද්ධරක්ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බඹරැන්දේ යසස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ශිෂ්‍ය පුත්‍රයෙකු වශයෙනි.

වලස්ගල සිරි සරණංකර පිරිවෙන, ගාල්ල හෙට්ඨාචල මහ පිරිවෙන, පැපිලියාන සුනේත්‍රා දෙවි මහ පිරිවෙන යන අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාළ උන්වහන්සේ අධ්‍යාපන ගමන නිමාවට පත් කරනු ලබන්නේ ශාස්ත්‍රවේදී උපාධියත් අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලැබීමෙනි.

හ/ථෙරපුත්ත මහ විදුහල, බැරගම ජනපද විදුහල, අම්බලන්තොට මහ විදුහල, රන්න මහ විදුහල, දකුණු කොළඹ මහ විදුහල හා මාර / දික්වැල්ල විජිත මහ විදුහල යන පාසල්වල උතුම් අධ්‍යාපනික මෙහෙවර සිදු කළ අතර සේවා කාලය තවත් අවුරුදු 05 ක් ඉතිරි ව තිබිය දී අධ්‍යාපනික මෙහෙවර නිමාවට පත් කළේ තම ගුරු දේවයන් වහන්සේ ගිලන් වූ බැවිනි.

තමන් වහන්සේ විසින් ම මාලියද්ද පුරාණ විහාරය මුල්කරගෙන ආරම්භ කරන ලද උතුම් අධ්‍යාපනික මෙහෙවර තවත් පුළුල් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ද ඇති කළේය. මාලියද්ද සිරි උපතිස්ස දහම් පාසල ප්‍රදේශයේ කීර්තිමත් අධ්‍යාපනික ආයතනයකි. දරුවන් සිය ගණනක් අධ්‍යාපනය හදාරන අතර අති දක්ෂ දරුවන් රාශියක් සමාජය ට දායාද කළේ උන්වහන්සේ තුළ පැවති කෘතහස්ත බව නිසාවෙනි.

සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් පැවිදි කරන ලද ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සත් දෙනා වහන්සේලා අතරින් වැඩිමහල් ශිෂ්‍යයන් වහන්සෙලා තුන් නම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබයි. සෙසු සිවු නම ඉතා කුඩා වන අතර උන්වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබයි.

උන්වහන්සේ විහාරාධිපති පදවියට පත්වන විට විහාර ගොඩනැගිලි අතිශය අබලන් ව පැවතියේ ය. පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කළ අතර අලුතින් ගොඩනැගිලි ඉදිකරමින් විහාරස්ථානයට නව පෙනුමක් ලබා දුන්නේ සියවස් ගණනාවක් විහාරස්ථානය පවතී යන අදහසිනි.

දායක සභාව, කුළඟන සමිතිය හා සමාජ ආයතන ඇති කරමින් විහාරස්ථානයෙන් ගමට සිදු කරන මෙහෙවර තවත් පුළුල් කරන ලදී. වසරක් පාසා අප රටේ අන්ත දිළිඳු මිනිසුන් ජීවත් වන ගම්මාන තෝරා ගනිමින් අධ්‍යාපනික උපකරණ හා වියළි සලාක ආදිය ලබා දෙමින් කරනු ලබන ජාතික මෙහෙවර පැසසිය යුතු ය. මාලියද්ද සිරි උපතිස්ස දහම් පාසල මූලික වී සිදුකරනු ලබන මෙම සමාජ සත්කාරයට විහාරස්ථානය හා දායක සභාව ඇතුළු සමාජ ආයතන රාශියක් එක් වේ. ශාසනික ආගමික හා ජාතික උතුම් මෙහෙවරක නිරත කුඹුක්වැවේ හේමසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.


මාලියද්ද පුරාණ විහාරය

බඹරැන්ද – නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් මාලියද්ද පුරාණ විහාරය ව්‍යවහාර වර්ෂ 1700 මුල් භාගයේ ආරම්භ වන්නට ඇතැයි සලකනු ලැබේ.

වර්ෂ 1750ට පෙර බඹරැන්ද පහමුනේගොඩ මාලියද්ද ගම් දෙක අතරමැද වෙල්යාය ඉස්මත්තෙහි පිහිටා ඇති ඉඩමෙහි එකල සිටි ගමේ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් පහමුනේගොඩ, මාලියද්ද, පොල්ගහමුල්ල, හුන්නදෙනිය, බතීගම තලහිටියගොඩ ප්‍රදේශවාසීන් ඒකරාශිව කටයුතු සිදු කරගෙන ඇත. මෙසේ කලක් ගත වූ පසු කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන විසි දෙකක ආධිපත්‍ය දැරූ කෝංගස්තැන්නේ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍ය දෙමටපිටියේ සංඝරක්ඛිත හිමි මාලියද්ද පුරාණ විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන දාසයක ආධිපත්‍ය දරා ඇත. එම දෙමටපිටියේ සංඝරක්ඛිත හිමියන් ආධිපත්‍ය දැරූ විහාරස්ථාන පිළිබඳ තොරතුරු ඇතුළත් තල්පතක් දැනට ද කුරුඹුරේ විහාරස්ථානයේ තිබෙන බව සිංහල සාහිත්‍ය වංශය නමැති කෘතියෙහි සඳහන් වේ.

දෙමටපිටියේ සංඝරක්ඛිත හිමියන්ගෙන් පසු මාලියද්ද පුරාණ විහාරස්ථානයේ ආධිපත්‍ය දරා ඇත්තේ නොටොල්පිටියේ අත්ථදස්සි හිමියන් ය. නෙටොල්පිටියේ අත්ථදස්සි හිමියන් මාලියද්ද පුරාණ විහාරස්ථානය හා උඩ අපරැක්ක මාතිකාරාමය යන විහාරස්ථානවල ආධිපත්‍ය දරා ඇත. උන්වහන්සේ ජීවත්ව සිටිය දී ම මාලියද්ද පුරාණ විහාරස්ථානය අපරැක්කේ රේවත හිමියන් ට ලිඛිත ව භාර දී ඇත. එම භාර දීම සිදුකර ඇත්තේ 1840 ජූලි මස 11 දී ය. ඒ බව සඳහන් ලියවිල්ල දැනට මාලියද්ද පුරාණ විහාරස්ථානයේ ඇත. අපරැක්කේ රේවත හිමියන් ශිෂ්‍යයින් තුන් නමක් බිහි කළ අතර අපරැක්කේ රේවත හිමියන්ගේ අපවත්වීමෙන් පසු විල්පිට සුමංගල හිමියන් ට මාලියද්ද පුරාණ විහාරාධිපතීත්වය හා උඩ අපරැක්ක මාතිකාරාමයේ අධිපතිත්වය ලැබුණි. සුමංගල හිමියන්ගෙන් පසු විල්පිට සාරානන්ද හිමියන් මාලියද්ද පුරාණ විහාරස්ථානයේ අධිපති ධූරයට පත් වූ අතර උන්වහන්සේ විසින් බඹරැන්දේ උපතිස්ස හිමි, බඹරැන්දේ දේවරක්ඛිත හිමි, විල්පිට බුද්ධරක්ඛිත හිමි, බඹරැන්දේ යසස්සි හිමි යන ශිෂ්‍ය පිරිස බිහිකළ අතර සාරානන්ද හිමි ජීවත්ව සිටියදී ම බඹරැන්දේ උපතිස්ස හිමියන්ට විහාරාධිපති ධූරය ලිඛිතව භාර දී ඇත. බඹරැන්දේ උපතිස්ස හිමියන් විහාරාධිපති ධූරය දරමින් විහාරස්ථානයේ කටයුතු කිරීමේ බලය විල්පිට බුද්ධරක්ඛිත හිමියන්ට පවරා තිබුණි. බඹරැන්දේ උපතිස්ස හිමියන්ට පෙර විල්පිට බුද්ධරක්ඛිත හිමියන් 1983 දී අපවත් විය. බඹරැන්දේ උපතිස්ස හිමියන් 1984 දී අපවත්වීමෙන් පසු විහාරාධිපති ධූරයට බඹරැන්දේ යසස්හි හිමි පත්කර ඇත. බඹරැන්දේ උපතිස්ස හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය කුඹුක්වැවේ හේමසිරි හිමියන් බඹරැන්දේ යසස්සි හිමියන්ට විහාරාධිපති ධූරය දරමින් කටයුතු කිරීමට ඉඩ සලසා ඇත.

2005 අප්‍රේල් 05 දින යසස්සි හිමියන්ගේ අපවත්වීමෙන් පසු මාලියද්ද පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත්වන්නේ වර්තමාන විහාරාධිපති, විශ්‍රාමලත් ධර්මාචාර්ය, සිරි උපතිස්ස දහම් පාසලේ ප්‍රධානාචාර්ය, සමස්ත ලංකා සාමවිනිසුරු, සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යාතිලක, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස, ශාස්ත්‍රවේදී කුඹුක්වැවේ හේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

1954 දී බඹරැන්දේ උපතිස්ස හිමියන් විසින් ශ්‍රී මහා බෝධි ශාඛාවක් මාලියද්ද පුරාණ විහාරස්ථානයේ කුඹුර ඉස්මත්තෙහි රෝපණය කර ඇත. 2002 දී කුඹුක්වැවේ හේමසිරි හිමියන් විසින් එම බෝධීන් වහන්සේ වටා බෝධි ප්‍රාකාර ඉදි කරවීමට බිම සකස් කිරීමේ දී එම ස්ථානයේ පැරණි සංඝාවාසයක නටබුන් හමු වී ඇත. නෙටොල්පිටියේ අත්ථදස්සි හිමි වැඩ සිටි සංඝාවාසය එම ස්ථානයේ විය හැකි යැයි සැක කෙරේ. වර්තමානය වන විට මාලියද්ද පුරාණ විහාරස්ථානය විහාර මන්දිරය, චෛත්‍ය, බෝධිය, සීමාමාලකය, සංඝාවාසය, ධර්ම ශාලාව, ධාතු මන්දිරය, දාන ශාලාව, ළිං පොකුණු, පිවිසුම් මාර්ග ආදියෙන් අංග සම්පූර්ණව ඇත.

එවන් පසුබිමක ඉදි වී පැවත එන විහාරස්ථානයේ බොහෝ ඉදිකිරීම් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය හා විනය පාලක ලෙස කටයුතු කළ මාලියද්ද පුරාණ විහාරාධිපති බඹරැන්දේ උපතිස්ස හිමියන්ගේ කාලයේ විහාරාධිකාරීව කටයුතු කළ විල්පිට බුද්ධරක්ඛිත හිමියන් විසින් දායක කාරකාදීන්ගේ ආධාර උපකාර ඇතිව කරවා ඇත.

වත්මන් විහාරාධිපති කුඹුක්වැවේ හේමසිරි හිමියන් විසින් තම ගුරුදේවයන් වහන්සේගේ නමින් සිරි උපතිස්ස නම් දහම් පාසල අරඹා පවත්වාගෙන යයි. දායක සභාව, සුජාතා කුළඟන සමිතිය, වැඩිහිටි සමිතිය, සමෘද්ධි සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය ආදී ආගමික, සාමාජික සංවිධාන ද විහාරස්ථානය මුල් කරගෙන පවතී. ශාසනික උන්නතිය සඳහා ශිෂ්‍ය පිරිසක් තනා ඇති අතර උන්වහන්සේලා අතුරින් උපසම්පදා තුන් නමක් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබති. එනම් හල්විටිගල අනෝමදස්සි හිමි, හල්විටිගල ධම්මදස්සි හිමි, හල්විටිගල විපස්සි හිමි යන තුන් නම ය. සාමණේර ශිෂ්‍ය සිව් නමකි. එනම් බුත්තල සිරිරතන හිමි, බුත්තල රතනසිරි හිමි, බුත්තල සිරිසුමන හිමි, බුත්තල සුමනසිරි හිමි, එම සිව් නම මාතර කොටුව මිගදාය සිරි රතනපාල මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබති.

විහාරස්ථාන හා සම්බන්ධ ආගමික සාමාජික කටයුතු හේමසිරි හිමියන් තම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සමඟ ඉටුකරන බව මෙහිලා සතුටින් සඳහන් කරමි. විහාරස්ථානයේ සතර පේරුවේ දායක පින්වතුන් විසින් දිනපතා විහාරස්ථානයට ප්‍රත්‍ය පහසුකම් සපයන අතර ඒවා සංවිධානය කිරීමට සතර පේරුවේ දායක මහත්වරුන් සත් දෙනෙකු කැප වී සිටිති. මාලියද්ද, හුන්නදෙනිය කොට්ඨාසය සඳහා යූ.ඩබ්. පි‍්‍රයන්ත මහතා සහ පී.එච්. ජගත් පි‍්‍රයදර්ශන මහතා ද, පොල්ගහමුල්ල කොට්ඨාසය සඳහා පත්මසිරි කොඩිතුවක්කු මහතා සහ ප්‍රසංග කුමාර නානායක්කාර යාපා මහතා ද, පහමුනේගොඩ, තලහිටියගොඩ කොට්ඨාසයට ජී.ජී. මහේෂ් රංගන ගුණරත්න මහතා සහ සුමනතිලක විතාරණ මහතා ද, බතීගම බටහිර වෙලගාවත්ත කොට්ඨාසය සඳහා එච්.එච්. පියසිරි මහතා ද ප්‍රධාන දායක මහත්වරුන් වශයෙන් වගකීම් දරමින් කටයුතු කරති.

විහාරස්ථ සතර පේරුවේ දායක කාරකාදීන් විහාරස්ථානයේ දියුණුව සඳහා මනා කැපවීමෙන් ක්‍රියා කරන බව ද මෙහි විශේෂයෙන් සඳහන් කරමි.