Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018 - ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය - 2 අභ්‍යාසය

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2018

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය - 2 අභ්‍යාසය

1.(1) කුලදරුවෙකු පැවිදි කිරීමේ දී හා උපසම්පදා කිරීමේ දී අනුගමනය කරන චාරිත්‍ර විධි මොනවා ද?

පැවිදි වන තැනැත්තා පළමුකොට පැවිදිවීම සඳහා දෙමවුපියන්ගේ අවසරය ලබාගත යුතුය. පැවිදි කෙරෙන දරුවා රජ කුමරෙකු මෙන් සරසා නියමිත දිනයේ දී විහාරස්ථානයට කැඳවා ගෙන එනු ලැබේ. අනතුරුව පිළිකුල් භාවනාවේ තච පංචකය මෙනෙහි කරවමින් ඔහුගේ හිස කෙස් කපා ස්නානය කරවීමෙන් පසු සුදු වස්ත්‍රයෙන් සරසා භික්ෂූන් හමුවට කැඳවා ගෙන එනු ලැබේ. ඉන් පසු ඔහු “ඕකාස අහං භන්තේ පබ්බජ්ජං යාචාමි” යනුවෙන් පැවිද්ද ඉල්ලාසිටිය යුතුය. අනතුරුව ආචාර්ය උපාධ්‍යායන් පත් කොට දරුවා පැවිදි කොට දස සීලය සමාදන් කොට ගිහි නම වෙනුවට පැවිද්දෙකුගේ නම ඔහුට දෙනු ලැබේ. පැවිද්දේ මූලික චාරිත්‍ර කාර්යය මෙතැනින් අවසන් වේ.

උපසම්පදාව ලැබීමට විසි වයස් සම්පූර්ණ විය යුතු ය. උපසම්පදා අපේක්ෂකයා සුදුවතින් හා සළුවෙන් සරසා සීමා මාලකයේ දී භික්ෂූන් හමුවට කැඳවා ගෙන යනු ලැබේ. උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කිරීමට භික්ෂු නමක් මෙහිදී පත් කෙරෙනු ඇත. මෙහිදී පත් කෙරෙන කර්මාචාර්යන් වහන්සේ උපසම්පදා අපේක්ෂකයාට අටපිරිකර හඳුන්වා දී ප්‍රශ්න විමසීම් කරනු ලැබේ. අනතුරුව මහා සංඝයා හමුවට කැඳවන උපසම්පදා අපේක්ෂකයා තමන් සාමණේර භාවයෙන් මුදා උපසම්පදා ලබා දෙන ලෙස ඉල්ලා සිටී. මෙහිදී කර්මාචාර්යන් වහන්සේ සංඝයාගේ අවසරය පරිදි අත්තරායික ධර්ම පිළිබඳ ප්‍රශ්න ඇසීම් කරනු ලැබේ. උපසම්පදාපේක්ෂකයා මෙහි දී 'නාග' යන නාමයෙන් ද උපසම්පදාව පිරිනමන තෙරුන් වහන්සේ 'තිස්ස' යන නමින්ද හඳුන්වනු ඇත. තිස්ස විසින් අසන ලද ප්‍රශ්නවලට නාග විසින් පිළිතුරු සැපයීමෙන් පසු උපසම්පදා කටයුතු අවසන් කෙරේ.

(2) පැවිද්දෙකු විසින් අනුගමනය කළ යුතු දෛනික චාරිත්‍ර විධි හඳුන්වා දෙන්න

හිරු නැඟෙන්නට පෙර අවදි විය යුතුය. සතර ආරක්ෂක භාවනා කළ යුතුය. බෝමලුව හා විහාර මළුව අතුගා පිරිසුදු කිරීම, දැහැටි වළඳා මුහුණකට සෝදා සිවුරු හැඳ පෙරව චෛත්‍යය හා බෝධින් වහන්සේ නමස්කාර කිරීම, උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම, හීල්දානය වළඳන්නේ මින් පසුව ය. දානය නොලැබෙන්නේ නම් පිණ්ඩපාතයේ යාම කළ යුතුය. දවල් දානයට වේලාව පැමිණි කල්හි දන් වැළඳිය යුතු ය. දන් වැළඳීම් කටයුතු පෙරවරුවේ සිදුකළ යුතුය. හිස රැවුල් වැවී ඇත්නම් කපා ගත යුතු ය. සවස් කාලයේ දී ශාස්ත්‍රීය කටයුතුවල යෙදීමට අවස්ථාව ලබාගත යුතු ය. සන්ධ්‍යා භාගයේදී මලු පෙත් හැමද බුදුරදුන් වැඳ පිරිත් කියා සැතපිය යුතු ය. අවස්ථානුකූලව දායකයන්ගෙන් ලැබෙන ආරාධනා ඉටු කරදීම ද කළ යුතුවේ. විහාරයට පැමිණෙන දායකයන්ට බණ කීම් ආදියෙන් සංග්‍රහ කළ යුතු ය.

(3) සිව්පසය පරිභෝජනයේ දී පැවිද්දෙකු අනුගමනය කළ යුතු පොදු චාරිත්‍ර පැහැදිලි කරන්න.

චීවර පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍යය පරිභෝජනයේදී ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරමින් අදාළ වාක්‍ය කිව යුතු ය. මිනිසුන් තම ධනය වැය කොට භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කරති. භික්ෂූන් ද සිල්වතුන්ට යෝග්‍ය ආකාරයෙන් සිවුපසය පරිභෝජනය කළ යුතු වේ. මෙසේ භික්ෂුව තුළ තෘෂ්ණා, මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදි කෙලෙස් ඇති නොවන ආකාරයෙන් සිවුපසය පරිභෝජනය කිරීම ප්‍රත්‍යවේක්ෂා නමින් හැඳින් වේ.

2. (1) ලක්දිව චෛත්‍ය නිර්මාණයේ ආරම්භය හා විකාශය පැහැදිලි කරන්න

පුරාවෘත්ත අනුව බුදුරදුන් ජීවමාන කාලයේදීම ලක්දිව චෛත්‍ය නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි ය. මෙසේ නිර්මිත පළමු චෛත්‍යය සේ සලකනු ලබන්නේ මහියංගණයේ චෛත්‍යය යි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් සර්වඥ කේශධාතු තැන්පත්කොට ගිරිහඬු සෑය කළ බවද පුරාවෘත්තවල සඳහන් වේ. මිහින්තලේ අම්බස්ථල චෛත්‍යය උත්තිය රජු කරවන ලදී. රෝහණයේ තිස්සමහාරාම චෛත්‍යය හා කැලණියේ චෛත්‍යය ද මුල් යුගයට අයත් චෛත්‍යයන් ය.

බුදුදහමේ සම්ප්‍රාප්තියෙන් පසු ක්‍රමයෙන් චෛත්‍ය තැනීම ආරම්භ වී ව්‍යාප්ත වී ගිය බව පෙනේ. දුටුගැමුණු රජු විසින් ගොඩනංවන ලද රුවන්වැලි චෛත්‍යය උසින් විශාල වූවකි. මෙයින් පෙනෙන්නේ චෛත්‍යය හැඩය ක්‍රමයෙන් විශාල වී ගිය බව යි. වළගම්බා රජු කරවූ අභයගිරිය චෛත්‍යය ද, මහාදාඨික රජු විසින් මිහින්තලයේ කඳු මුදුනේ කරවූ චෛත්‍යය හා මහසෙන් රජු කරවූ ජේතවන චෛත්‍යය ද විශාල චෛත්‍යයන් වේ. ජේතවනය විශාලත්වය අතින් අනෙක් චෛත්‍ය ඉක්මවා සිටී. මහපැරකුම් රජුගේ බිසවක කරවු පොළොන්නරුවේ කිරි වෙහෙර, දෙමළ මහා සෑය හා නිශ්ශංකමල්ල රජු කරවූ චෛත්‍ය ආදිය ඒවායේ ව්‍යාප්තියට අදාළ නිදසුන් ය.

2.චෛත්‍යයක ඇතුළත් විය යුතු අංගෝපාංග මොනවා ද?

දාගැබක අංගෝපාංග අතර නොපෙනෙන කොටස වනුයේ අත්තිවාරම යි. මේ මතුයෙහි තුන්මහල් පේසා වළලු ඉදි කෙරේ. අනතුරුව දක්නට ලැබෙන්නේ ගර්භය යි. ගර්භය තුළ ධාතු හා වෙනත් පූජා භාණ්ඩ තැන්පත් කරනු ඇත. ඉන්පසු ඇත්තේ සතරැස් කොටුව යි. මේ සඳහා මුල් කාලයේදී ගරාදි වැටක් සවි කළ අතර එය ලීයෙන් හෝ ගලින් නිමවන්නට ඇත. පසුව මේ සඳහා බදාම යොදා ගැණින. එය ලියවැල් ආදියෙන් අලංකාරවත් විය. හතරැස් කොටුව මත සිලින්ඩරාකාරයෙන් තැනු දේවතා කොටු විය. ඒ මතුයෙහි කොත් කැරැල්ල නිර්මාණය කෙරිණ. මුල් කාලයේදී කොත් කැරැල්ල වෙනුවට වූයේ ගලින් කළ ඡත්‍රය යි. ක්‍රමයෙන් මේ සඳහා ඡත්‍රාවලියක් යොදා ගැණින.අවසානයේ කොත් කැරැල්ල බිහි විය. කොත් වහන්සේ මුදුනෙහි තැන්පත් කෙරුණේ චූඩා මාණික්‍යය යි. මේ අතර චෛත්‍යය වටා සතර දිසාවට මුහුණලා වාහල්කඩ හතරක් තැණින. වාහල්කඩ දෙකක් අතර මලසුන් ගෙය බැගින් විය. මේවා කැටයමින් අලංකාරවත් කරනු ඇත.

(3) චෛත්‍යයක් නිර්මාණයේ දී අනුගමනය කරන ආකෘති මොනවා ද?

ධාන්‍යාකාර – වී ගොඩක හැඩයෙන් කළ ස්තූප

ඝණ්ඨාකාර – ඝණ්ඨාවක හැඩයෙන් කළ ස්තූප

බුබ්බුලාකාර – දිය බුබුළක හැඩයෙන් කළ ස්තූප

ඝටාකාර – කළයක හැඩයෙන් කළ ස්තූප

පද්මාකාර – පියුමක / නෙළුම් මලක හැඩයෙන් කළ ස්තූප

අම්ලාකාර – නෙල්ලි ගෙඩියක හැඩයෙන් කළ ස්තූප

ඉහත ආකෘතිවලට අනුව කලාකරුවන් විසින් චෛත්‍ය නිර්මාණය කරනු ලැබේ.