Print this Article


අපි භාවනා කරමු - 36 : ඇසිපිය හෙළන සැණෙකින් ...

ඇසිපිය හෙළන සැණෙකින් ...

භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීමේ අර්ථයෙන් ද භාවනා අර්ථය වටහා ගත හැකි යි. තම ගුණ නුවණ දියුණු කර, සති, සමාධි , ඥාන වැඩි දියුණුවෙන් බෝධි පාක්ෂික ධර්මයන් සම්පූර්ණ කර ගැනීමෙන් සිතේ වැඩීම හොඳින් සිදු වෙයි. සිත දියුණු කර ගන්නා ක්‍රම බුදුරජාණන් වහන්සේ බහුලව පැහැදිලි කර තිබෙ යි. සමථ භාවනා හතළිහක් දේශනා කර වදාළේ නීවරණ සංසිඳුවාගෙන සිත දියුණු කර ගැනීම සඳහා යි. සිතේ බලවත් ලෙස පහළ වන තණ්හාව, තරහව, මෝහය, උඩඟුකම, ආදී පාපී සිතිවිලි තුරන් කර ගැනීම සඳහා භාවනාව පිටිවහලක් වෙයි. බෞද්ධ මෙන් ම අබෞද්ධ ජනතාවත් මේ ක්‍රමවල යෙදී ගවේෂණය සිදු කරනවා. ලොවේ සෑම රටක ම භාවනා ක්‍රම තිබෙ යි. එයට අනුයුක්තව අති විශාල පිරිසක් කටයුතු කරනවා. ඒ මඟින් සිය, සිත දියුණු කර, ගත , වචනය සංවර ව වාසය කරනවා.

බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා භාවනා ක්‍රම දේශනා කර වදාළා. මරණ සතියෙන් ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ වදන කවුරුත් සිතට ගෙන මරණ සතිය වඩන්න අවශ්‍යය යි. අපේ මහ බෝසතාණන් වහන්සේ ද ඉහත ආත්මයක මරණානුස්සති භාවනාව වඩන නිවසක උපන්නා. ඒ උත්තමයාට හදිසියේ සර්පයෙක් දෂ්ට කර මරණයට පත් වුණා. උන් වහන්සේ මරණාසන්න මොහොතේ ද ‘ජීවිත ය අනියත යි. මරණය නියත යි’. යනුවෙන් මෙනෙහි කළ නිසා මහා දෙව් රජාණන් කෙනෙක් වී උපත ලැබුවා. එතුමා මරණ සති භාවනාව පිළිබඳ පැහැදිලි විවරණයක් තම පෙර භවයේ මව් පියන්ට ද පහදා දී මරණ සතිය හොඳින් දියුණු කර දෙව් ලොවට ම පැමිණීමට අවශ්‍යය ගුණ සම්පත් දියුණු කළ යුතු බව ද පැහැදිලි කළා.

එසේ ම හැම දෙනා ම සම්බුද්ධ ශාසනයක් ලබා ගැනීම උදෙසා භාවනා ක්‍රම ඉගෙන ගත යුතු යි. එය අන්‍යයන්ට ද පහදා දිය යුතු යි. දුවා දරුවන්ටත් මේ බව නිබඳව ම පැවසිය යුතු යි. එවිට තමන්ට මේ පිළිබඳ ව මනා වැටහීමකින් කටයුතු කරන්නට පුළුවන්කම තිබෙයි. ශීල ආදී ගුණ ධර්මයන් දියුණු වෙයි. නුවණ හොඳින් වැඩෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ලක්ෂණත්‍රය හොඳින් වටහා ගන්නට භාග්‍ය ලැබෙයි.

මෘත ශරීරයක් දැකීමෙන් , මරණ සතිය වැඩීමෙන්, තම සිරුරත් එලෙස පත්වන බව සිතාගෙන තමන්ට මරණසතිය සීඝ්‍රයෙන් දියුණු කර ගන්නට පුළුවනි. එලෙස කල්පනාවෙන් මරණානුස්සති භාවනාව කෙරෙහි අවධානය යොමුකර මේ වගන්ති සිතට ගෙන සෑම ඉරියව්වකදී ම ජීවිතය අනියත යි. මරණය නියත යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝ ය. ඉපිද නිරුද්ධ වන්නාහ. ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන්ගේ ජීවිතය පවත්නා වූ කාල සීමාව වනාහි ඉතාමත් ස්වල්ප වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. අවුරුදු සියයකටත් අඩු කාලයේ දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. දවසකටත් අඩු කාලයේ දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. අඩ සිය වසකට අඩු කාලයකදී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මව් කුස තුළදී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. දස වර්ෂයකට අඩු කාලයේ දී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි.මරණය නියත යි. ළඳරු වයසේ දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. ඉරියව් මාරු කිරීමටත් අඩු කාලයේ දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. එක් බත් පිඬක් අනුභව කිරීමටත් අඩු කාලයකදී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. හුස්ම ගැනීමටත් අඩු කාලයක දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. හුස්ම හෙළීමටත් අඩු කාලයක දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. අසුරු සැනකටත් අඩු කාලයක දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. ඇසි පිය හෙළීමටත් අඩු කාලයක දී සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. නිදා සිටියදී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි.

මෙලෙස ඉහත සඳහන් උපමාවන් තම ජීවිතයට සම්බන්ධ කර, අන්‍ය සත්ත්වයෝ ගැන ද කල්පනා කරමින් ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ වගන්ති මෙනෙහි කරන්න.