Print this Article


විඳදරා ගත් තරමට සුවය ජීවිතය මිහිපි

විඳදරා ගත් තරමට සුවය ජීවිතය මිහිපිට

ඉවසීම බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන හා ප්‍රමුඛතම ප්‍රතිපත්තියකි. බුදුවරයෙක් බිහි කරන පාරමිතාවකි. අධ්‍යාත්මික ප්‍රගතියේ නියමුවෙකු ලෙස ද ක්ෂාන්තිය හඳුනා ගත හැකි ය. මිනිස් සිත් තුළ උද්ගත වන, සිත දූෂණයට ලක් කරන මනෝභාවයන් දුරලීම පිණිස පුරුදු පුහුණූ කළ යුතු ඉවසීම පුද්ගලයෙකු තුළ විඳ දරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට උපකාරී ය.

අප ජීවත්වන සමාජයේ මිනිස් සිත සමඟ නො ගැටී අර්බුදයන්ට ලක් නොවී ජීවත්වීම සඳහා නිවුණු සිතක් හා වචන ඇවැසි’ය. ඒ සඳහා වූ විධිමත් වැඩ පිළිවෙළක් උදාකර දීමට හැකියාවක් ඉවසීම ප්‍රගුණ කළ තැනැත්තාට ලැබේ. සසරට අයත් මිනිසුන් ලෙස විවිධ දුක් පීඩා කරදරවලට මුහුණ පාන්නට සිදුවීම ස්වභාවයකි. අව්, වැසි, සුළං, ගඳ, සුවඳ, ලාභ, අලාභ, කීර්ති, ප්‍රශංසා මෙන් ම, සාගින්න, පිපාසය ආදි සියල්ල විඳ දරා ගැනීම පිණිස ශක්තිය ලබා දෙන්නේ ඉවසීම නම් ගුණ ධර්මයෙනි. පූර්ණ පෞරුෂ ශක්තියක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන කවර අයෙකුට වුව ද මේ ගුණය තිබිය යුතු ය. ඒ සඳහා නිවැරැදි මග ක්ෂාන්ති පාරමිතාවෙන් පෙන්වා දී ඇත. අධ්‍යාත්ම ප්‍රගතියක් අපේක්ෂා කරන තම ශ්‍රාවක ප්‍රජාවට ඉහතින් දක්වා ඇති අභියෝග කිසිවකින් කම්පනයට පත් නො විය යුතු බවත් තමා වෙත එළඹෙන බාධා මැඩගෙන තම අධ්‍යාත්ම ගමන යා යුතු බවත් අවධාරණය කළ බුදුන් වහන්සේ ක්ෂණිකව කෝප වන, කායිකව හා වාචසිකව ගැටෙන කවර අයෙකුට නමුත් අධ්‍යාත්ම දියුණුවක් උදාකරගත නො හැකි බව අවධාරණය කර ඇත. මෙම මහඟු ගුණයෙහි නො පිහිටි කිසිවෙකුට තථාගත ධර්මයෙන් ප්‍රයෝජන ගත නොහැකි ය. භික්ෂු, භික්ෂුණී,උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ශ්‍රාවක තත්ත්වයෙහි පිහිටීම සඳහා මුල්වන ගුණය ද ඉවසීම යි. එසේ නො වන්නට ඒ කිසිවෙකු ශ්‍රාවකයන් ලෙස සැලකිය නො හැකි ය. බුදුදහමේ ඉවසීමේ වටිනාකම ප්‍රකට කෙරෙන සංවාදයක් බණ පොතෙහි මෙසේ දැක්වේ.

වරක් බුදුන් වහන්සේ වෙත පැමිණි ධම්මික නම් හිමි නමක් උන්වහන්සේට මුහුණ පාන්නට සිදු වූ අභාග්‍ය සම්පන්න පුවතක් මෙසේ අනාවරණය කළේ ය. ස්වාමීනි මම ඔබ වහන්සේ වෙත පැවිදි වී ජේතවනාරාමයේ වැඩ වාසය කළ අයෙක් වෙමි. එහෙත් දෙව්රම් වෙහෙර මට විවේකී තැනක් නො වූ නිසා මම පිටිසර ගමකට ගියෙමි. එතැන ටික දිනක් විසූ කල ඒ වෙහෙර වැසි භික්ෂූහු මෙන් ම උපාසක උපාසිකාවෝ ද මගේ වාසය අකමැති වූහ. එසේ ම මා එම වෙහෙරෙන් නෙරපා හැරීමට කටයුතු කළහ. මේ අයුරින් විවිධ ගම් නියම්ගම් වල සැරි සැරූ මට කිසිවෙක් කැමති නො වූහ. ඒ සියලු තැනින් මට පිහිටක් නො ලැබිණ. මෙසේ ස්ථාන හතකින් ම පළවා හැරීමට ලක් කෙරුණු මම ඔබ වහන්සේට මේ අසාධාරණය කියන්නට කල්පනා කළෙමි. එනිසා ස්වාමීනි, ඔබ වහන්සේ වෙතින් පැවිදි වූ මට සිදු වූ අසාධාරණය සොයා බලා මට නිසි සැලකිලි සත්කාර නො කර සිදුකළ අපහසුතාවන්ට ඔවුන් කැඳවා දඬුවම් ලබා දීමට කටයුතු කරන්න. ධම්මික හිමියන්ගේ නිතර කෝපයට පත්වීම නම් දුර්වලතාව පිළිබඳ ව වටහාගත් බුදුන් වහන්සේ “හොඳයි ධම්මික ඒ අයට නිසි දඬුවම් ලබාදීමට මම කටයුතු කරන්නම්, ඔබ මට කියන්න, ඔය ස්ථානවල වැඩ සිටින කාලයේ මහණකමට අදාළ ශික්ෂණයෙහි පිහිටා, හොඳින් මහණකම කරගෙන එනකොට ද ඔය ගැහැට විඳින්න සිදු වුණේ.” මෙහි දී නිරුත්තර වූ ධම්මික හිමියන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු නොදී බුදුන් වහන්සේගෙන් මෙසේ විමසන්නට විය. “මොකක්ද බුදුහාමුදුරුවනේ මහණකම කියන්නෙ.” තම භූමිකාවට අයත් කාර්යභාර්ය පිළිබඳ අනවබෝධයෙන් සිටි ධම්මික හිමියන්ට මහණකම කුමක්දැයි අනාවරණය කළහ. “ධම්මික, මහණකම කියන්නෙ ඉවසීම”යි. “ඛන්තී පරමංතපො’ “ ධම්මික හිමියන් හා බුදුන් වහන්සේ අතර වු මෙම සංවාදයෙන් උසස් ම තපස ඉවසීම බව උගන්වා ඇත. පැවිදි ජීවිතය සැප පහසුකම් සොයා යන ජීවිතයක් නොවේ. බොහෝ භෞතික සම්පත් අතහැර ආස්වාද ජනක ජීවිතයෙන් බැහැරට පියමං කරන භික්ෂුව කවර අපහසුතාවක් නමුත් විඳ දරාගෙන තම අරමුණ පිණිස කටයුතු කරන්නෙකි. කිසිවක් තම ගමනට බාධාවක් ලෙස නො සලකන භික්ෂුව තමා වෙත එළඹෙන සියලු අභියෝගයන් සම සිතින් ඉවසා දරාගනී. සියලුම බුද්ධ ශ්‍රාවකයන් මෙම තත්ත්වයට පත්විය යුතු බව අවධාරණය කළ බුදුන් වහන්සේ මහ පොළොව මෙන් සියල්ලම දරා ගැනීමට පුුරුදු පුහුණු විය යුතු බව උගන්වා වදාළහ.

සංයුත්ත නිකායයේ පඨවිවිමංසන සූත්‍රයට අනුව මහපොළොව රන්, රිදී, මුතු මැණික් මෙන් ම විවිධ ඛනිජ සම්පත් පිරුණු ආකාරයකි. සකල ජීවින් ජීවත් කරවන ධන ධාන්‍ය සම්පත් ලබා දෙන රසාගාරයකි. විශ්ව ශක්ති නිෂ්පාදනාගාරයක් ද වන මහ පොළොව , වැව්, දිය, ඇළ, පොකුණු , මල් උයන්වලින් පිරි ක්ෂේම භූමියකි. එමෙන්ම මිනිසුන් ඇතුළු සියලු සතුන්ගේ ද, සුසාන භූමිය මහ පොළොවයි. මළ මුත්‍ර, කුණු රොඩු, මඩ කඩිති රැඳි විෂ ආකාරයක් ද වන මහ පොළොව මේ සියල්ල දරා සිටී. එමෙන් මහණෙනි නුඹලා ද දරා ගැනීමේ හැකියාව ඇතිකර ගත යුතු ය. විඳ දරා ගැනීමේ හැකියාව යම් තරමකට අප තුළ ගොඩනැගේ නම් ඒ තරමට ලෝකය තුළ සුවෙන් වාසය කළ හැකි ය. ඔවුනට වන සෙනසුන් ගස් මුල් ඇසුර කරමින් ගඩා ගෙඩියෙන් මෙන්ම ගලා යන දිය පොදින් යැපීමට පත්විය හැකි ය. මහමෙර චණ්ඩ මාරුතයෙන් නො සැලෙන සේ. අචලව, අකම්පිතව සසර තරණය කළ හැකි වේ.