Print this Article


සිරිලක අරහත් : පුදබිම් පොල්ගහවෙල පුහුරිය ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය

සිරිලක අරහත් පුදබිම්:

පොල්ගහවෙල පුහුරිය ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය

නීල හරිත ගහ කොළ පිරිවරාගත්, නේක පැහැයෙන් හැඩවුණු සුගන්ධවත් මල්ගොමුවලින් වට වූ, හාත්පස මියුරු කුරුලු කූජනයන්ගෙන් සුසැදි කුඩා කඳු ගැටයක, ශාන්ත පරිසරයක විරාජමානව සිටින පුහුරිය ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරය, ඇස ගැටෙන කාගේ වුව නෙත් සිත් නිවා සනහාලන ඓතිහාසික පුණ්‍ය භූමියකි. දුටු වනම ඓතිහාසික මිහින්තලා පුදබිම සිහිගන්වන දර්ශනයකි. ජනප්‍රවාදයෙහි එන ලෙස ලක්දිව අවසන් වරට වැඩ සිටියා යැයි පිළිගන්නා මලියදේව රහතන් වහන්සේට භාවනානුයෝගී වන්නට, කෙලෙස් මුල් සිඳ දමා උතුම් අරහත් බව ලබන්නට සෙවන ලබ දී ඇත්තේ මේ පින් බිම ය.

ඒ පිළිබඳව ගෙතී ඇති කතා පුවත දිගු ය. අරහත් බව ලබන්නට පෙර මලියදේව හාමුදුරුවෝ වැඩ සිටියේ වට්ටාරාම ප්‍රදේශයේ ය.

නිශ්කලංක වටාපිටාවක ඇසුර අගය කළ ද, එම ප්‍රදේශයේ නිරන්තරයෙන් ජනතාව ගැවසුණි. වැඳුම් පිදුම් කිරීමට බොහෝ පිරිස් පැමිණුනි. ප්‍රධාන කරත්ත මාර්ගය එහි පිහිටා තිබීම ද උන්වහන්සේගේ බණ භාවනාවන්ට බාධාකාරී විය. ඒ කලබලකාරි පරිසරයෙන් මිදී විවේකී තැනක් සොයා උන්වහන්සේ ලෙන්දරමුල්ලට වැඩම කරන්නේ ඒ අනුව ය. ගොඩවෙල හරහා ලෙන්දරමුල්ලට වැඩම කළ ද එහි ද ජනාකීර්ණ ය. එකල සිරිමල්වතු ඔය නමින් ප්‍රචලිත මා ඔය හරහා පුහුරියට වැඩම කරන්නේ ඉන්පසුව ය.

පුහුරිය විහාරස්ථානය පිහිටා ඇති බිම් පෙදෙස පිරිසුදු පානීය ජලය රැස්කරගත හැකි ස්වභාවික ගල් පොකුණු, ජනශූන්‍ය පරිසරය, භාවනානුයෝගී කටයුතු කරන යෝගාවචරයන් වහන්සේට සුදුසුම වන අරණක් විය.

පුහුරිය ගමට එම නම ලැබුන සැටි පිළිබඳව ද ජනප්‍රවාදයේ රසවත් කතා පුවතක් වේ. වළගම්බා රජතුමා දිනක් සතුරෙකු පසුපස ලුහු බැඳ ගියේ ය. රජතුමා ඔහුට සමීප වෙත් ම තමන් පැමිණි කරත්තය මග දමා ඔහු පලා ගියේ ය.රජතුමාට දැක ගත හැකි වූයේ හිස් කරත්තය පමණි. ‘හිස්’ යනු පුහු අර්ථයෙනුත් ‘කරත්තය’ යනු රිය අර්ථයෙනුත් ගෙන එදා සිට එම ගම් තුලාව පුහුරිය ලෙස හඳුන්වා තිබේ.

ගෝඨාභය රජතුමාගේ රාජ මාලිගාවක් පිහිටියේ මාරුක් අතුරේ මාලිගාතැන්න නම් සුන්දර පරිසරයක ය. පුහුරිය විහාරස්ථානයට එම භූමි භාගය මනාව දිස් වන්නේ ය. දවල් දානය පිණිස රජ මාලිගාවට වැඩම කිරීම මලියදේව හාමුදුරුවන්ගේ දින චරියාවේ අංගයක් විය.

ගල්බඩගම, වැලිගොඩ පිටිය, ඔරුලියද්ද, පනලිය හරහා මා ඔය මැදින් මාලිගයට වැඩම කරන අතරමග උන්වහන්සේ විවේකීව වැඩ සිටියේ ඔරුලියද්ද කන්ද උඩ බෝධින් වහන්සේ වැඩ සිටින ස්ථානයේ ය. එදා උන්වහන්සේ විවේකය ගත කළ ගල් ආසනය වර්තමානයේ ද ඔරුලියද්ද මල් අස්න විහාරස්ථානයේ දී දැකගත හැකි ය.

මලියදේව හාමුදුරුවන්ට අරහත්බව ලබන්නට බාධාවක් වූ ධාතු කරඬුවක් පිළිබඳ පුවතක් ද ජනප්‍රවාදයෙහි එයි. දිනපතා වන්දනාමාන කරමින් ආරක්ෂා කරගත් එම ධාතු කරඬුවට උන්වහන්සේ බොහෝ පි‍්‍රය කළහ.

දිනක් නුග ගසක් පාමුල ධාතු කරඬුව තැන්පත් කර උන්වහන්සේ මාලිගාවට වැඩම කළහ. ගල්බඩ විවේතැන්න නමින් හඳුන්වන්නේ එම ස්ථානයයි.

ධාතු කරඬුව තමන්ට ලැබුණේ නම්, නිති පුද පූජා කරමින් එය ආරක්ෂා කරන බව රජු හාමුදුරුවන්ට පැවසී ය. රජතුමාට අවශ්‍ය නම් එය රැගෙන එනවාට විරුද්ධත්වයක් නොවන බව උන්වහන්සේ පැවසූහ. සතුටට පත් වූ රජතුමා පෙරහරකින් ධාතු කරඬුව වැඩම කරවීමට ගිය ද ධාතු කරඬුව එම ස්ථානයෙහි ම ගිලා බැස තිබුණි. රජු ඒ වටා කුඩා වෙහෙරක් සාදවා වැඳුම් පිදුම් කිරීමට පහසුකම් සැලසී ය.

ඉන් පසු පුහුරියට වැඩම කළ මලියදේව හාමුදුරුවෝ සියලු කෙලෙසුන් නසා උතුම් අරහත් බව ලැබූහ.

පුහුරිය මලියදේව රජමහා විහාර බිමෙහි උසම තැනෙක ඉදිකර ඇතිවෙහෙර වහන්සේගේ ආසනය පියුමක හැඩයට නිමවා ඇත. එය සම්පූර්ණයෙන් ම සෙල්මුවා නිර්මාණයකි. අවට පරිසරයේ ම පිහිටි කළුගල් අමුද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත. මෙම ආසනය මෙරට කිසිදු වෙහෙර වහන්සේ නමකගේ දකින්නට නැති, එක ම නිර්මාණයක් ලෙස පැවසේ.

පේසා වළලු, ලියවැල, ගර්භය, සතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල සහ කොත් වහන්සේ යන අංගයන්ගෙන් යුතු වෙහෙර වහන්සේ අවසන් වරට ප්‍රතිසංස්කරණය කර දැනට වසර 116 ක් පමණ ගෙවී ගොස් ය.

විහාර මන්දිරය ඉදිකර තිබෙන්නේ පහළින් ඇති කටාරන් කෙටු ගල්ලෙන තුළ ය. මුල් යුගයේ හිඳි පිළිමය හා සැතපෙන පිළිමය පමණක් නිර්මාණය කර ඇත. මහනුවර යුගයට අයත් බව විශ්වාස කළ හැකි ය.

මුල්ම සංඝාරාමය සංරක්ෂණය කර ගැනීමට නොහැකිව මීට වසර 40 කට පමණ පෙර විනාශ වී ගොස් ඇත. දෙවනවර තැනු ගොඩනැගිල්ල ද අලුත්වැඩියා තත්ත්වයේ ය. පුහුරිය ශී‍්‍ර මලියදේව අරහන්ත රජමහා විහාරයීය සංඝ පරම්පරාව උරුමකම් කියන්නේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාරයීය මැද පන්සල සංඝ පරම්පරාවටය. සෙංකඩගල ශී‍්‍ර දළදා මාලිගාවේ දළදා වහන්සේගේ තේවාව කටයුතු වලට සිව් වසරකට වරක් මෙම විහාර ගණයේ මහා සංඝරත්නයට අවස්ථාව හිමි වේ. විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පොල්ගහවෙල දකුණු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි, නිමලව චන්දජෝති හාමුදුරුවන් වහන්සේ ය.

මේ ඓතිහාසික පුණ්‍ය භුමිය, වෙත ළඟා විය හැකි ගමන් මාර්ග දෙකකි.

කොළඹ සිට පැමිණෙන්නේ නම්, කුරුණෑගල මාර්ගයේ යාංගල්මෝදර පසුකර කිලෝමීටර් භාගයක් පමණ පැමිණ දකුණ දෙසට ඇති දුම්රිය හරස් මාර්ගයේ නව කොළඹ පාරෙන් කිලෝමීටරයක දුර පැමිණ කොස්වත්ත රක්ෂිත වනයෙන් වමට ඇති විහාර මාවතේ, විහාරස්ථානයට පැමිණිය හැකි ය.

පොල්ගහවෙල නගරයේ සිට පැමිණෙනවා නම්, දුම්රියපොළ අසල ගුවන් පාලමේ වටින් නව කොළඹ පාරේ කිලෝමීටර් දෙකක දුර පැමිණ කොස්වත්ත රක්ෂිත වනය පසුකර දකුණට ඇති විහාර මාවත ඔස්සේ පැමිණිය හැකිය .

විශේෂ ස්තුතිය – ශාස්ත්‍රපති චාමික මුණසිංහ වෙත