Print this Article


50 විය සපුරන ඕනෑගම උපාලි හිමි

50 විය සපුරන ඕනෑගම උපාලි හිමි

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඕනෑගම ගම් පියසේ සැදැහැවත් දිසානායක මුදියන්සේලාගේ තොටුපල ඇල්ලේ ගෙදර හීන්බණ්ඩා ජයසිංහ සහ මුදින්සේලාගේ, උඩවත්තේ ගෙදර කුඩා මැණිකේ දම්පතීන්ගේ දෙවන දරුවා ලෙස මීට වසර පනහකට පෙර එනම් 1968 පෙබරවාරි 7 වන දින මෙලොව එළිය දුටු පින්වත් කුමරාණෝ මහරගම ඉසිපතනාරාමාධිපති හෝකන්දර ධම්මානන්ද නාහිමි,හෝකන්දර විමල නා හිමි සහ පොළොන්නරුව ඕනෑගම මැදමලුව විහාරය, ඉනාමලුව ඉසිපතානාරාමය යන උභය විහාරාධිපති නැගෙනහිර පළාත පොළොන්නරුව, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක දඹුල්ලේ ඉන්ද්‍රරතන නා හිමියන්ගේද ආචාර්යත්වයෙන් 1978 මැයි 17 දින ප්‍රවෘජ්‍යාභූමියට ඇතුළත් වූහ.

පොළොන්නරුව පලුගස්දමන ශ්‍රී විද්‍යාසාර මූලික පිරිවෙනෙන් සහ නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හිමි කරගත් අතර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියෙන් අනතුරුව, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලැබූ උපාලි යතිවරයාණන් වහන්සේ 1988 ජුනි මස 18 දින ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපොසථාගාරයේදී උපසම්පදා භූමියට ඇතුළත්වූහ.

1990 දී පොළොන්නරුව සිංහරාජපුර විද්‍යාලයේ අධ්‍යාපන ගුරු සේවය ආරම්භ කළ අතර උන් වහන්සේ දඹුල්ලේ වීර විජය විමලරත්න මහා විද්‍යාලයේ සහ පානදුර ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ ද නියෝජ්‍ය විදුහල්පති තනතුර දැරූහ.

දඹුල්ලේ ඉන්ද්‍රරතන නා හිමියන් වහන්සේගේ පැවිදි සහෝදර කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සරභඤ්ඤ විශාරද මහරගම නන්ද නාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය භාවයට 2004 වසරේ දී ඇතුළත් වූ ඕනෑගම උපාලි හිමිපාණන් වහන්සේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරයට ද රත්මලාන විහාර පාර්ශ්වයේ ලේකම් ධුරයට ද පත්වූහ. 1997 වසරේදී ඉනාමළුව ඉසිපතනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරි ධුරයට පත්ව කටයුතු කරන අතර 2004 වසරේ දී මහරගම නන්ද නාහිමියන්ගේ නියමය පරිදි බොහෝ පරිහානියට පත්ව තිබූ පානදුර ගල්තුඩේ සිද්ධත්ථාරාම විහාරාධිකාරි ධුරයට පත්වූහ.

පානදුර ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නයත්, ගිහි සැදැහැවත් දායක දායිකාවන්ගේ ද හොඳ හිත දිනා ගනිමින් අනලස්ව තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කැපවීමෙන් මනාව ඉටුකරන උපාලි හිමිපාණන් වහන්සේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ද කැප වූහ.

සංඝ සභාවේ කර්මවාගාචාර්ය ධුරයක් හොබවමින් ශාසනික විනය කර්ම ගරු ලෙස සිදු කිරීමේ උත්සුක වන අතර සංඝ සභාවෙන් නිකුත් කරන ‘සම්මුති’ සඟරා සංස්කාරක ලෙස ද ක්‍රියා කරති. තායිලන්තය, මලයාසියාව, සිංගප්පූර්ව, ඉන්දියාව, සයිප්‍රස් ආදි රටවල් රැසක ධර්ම චාරිකා වේ යෙදී අත්දැකීම් රැසක් ඇති ඕනෑගම උපාලි හිමිපාණන් වහන්සේ අනුන් උදෙසා කැපවුණු පරාර්ථ චින්තාවෙන් පෝෂිත අව්‍යාජ පැවිදි ජීවිතයක ස්වභාවය කෙබඳු දැයි වටහා ගැනීමට උන්වහන්සේ කරන ලද පරිත්‍යාගයන් සහ ගත කරන ජීවිතය ප්‍රමාණවත්ය. වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියකු වෙනුවෙන් වකුගඩුවක් පවා පරිත්‍යාග කරමින් ද වසරකට දෙවරක් රුධිර පරිත්‍යාගය කරමින් ද උන්වහන්සේ දන් දීමේ අගය ප්‍රායෝගිකව පෙන්වා දී ඇති බව මෙහිලා සඳහන් කළ යුතුය. එමෙන්ම පින්කමක් දානයක්, උත්සවයක් පිළිවෙළට ක්‍රමාණුකූලව විචිත්‍රව කිරීමට ගන්නා කැපවීම ද අනුපමේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස අධ්‍යාපන සේවයේ යෙදී සිටිමින් ආගමික සාමාජික ශාසනික කටයුතුවල නිලතල වගකීම් උසුලමින් ඒවා මනාව හසුරුවමින් ක්‍රියාකරන ගල්තුඩේ සිද්ධත්ථාරාම විහාරාධිකාරි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය ශාස්ත්‍රපති ඕනෑගම උපාලි හිමිපාණන්ගේ 50 වන ජන්ම දිනය වෙනුවෙන් ස්වකීය විහාරස්ථානයේත් මහනුවර දළදා මාලිගාවේ සහ අනුරාධපුර අටමස්ථානයේත්, පින්කම් රැසක් පැවැත්වීමට දායක දායිකාවෝ ක්‍රියා කරති.

තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා’යි ! අපිදු ආශිංශනය කරම් හ.