Print this Article


මිරිස්සේ ධම්මික නා හිමි

මිරිස්සේ ධම්මික නා හිමි

ප්‍රභාසම්පත්තියෙන් යුක්ත පූර්ණ චන්ද්‍රමණ්ඩලය ගඟන තලය ශෝභාමත් කරන්නේ යම් සේද, එසේ ම සීල සම්පත්තියෙන් පූරිත භික්ෂුව තපෝවනය ශෝභමාන කරන්නේ ය” යන බුද්ධ වචනය පසක් කරමින් සීලයෙන්, ගුණයෙන් යුක්තව සම්බුදු සසුන ශෝභාමත් කරමින් දෙස් විදෙස් සතහට දහම් මග පෙන්වා දෙන ආචාර්ය මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය පෙබරවාරි 05 වනදා ට යෙදීම නිමිත්තෙනි.

මාතර මිරිස්ස හේන්වල ගම්පියසේ උපත ලද මිරිස්සේ ධම්මික නා හිමියන් උඩුපිල සුධර්මාරාමයේ දී සසුන්ගත ව මූලික අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව කුරුණෑගල, දඹදෙණිය කවුඩුමුන්න සීලක්ඛන්ද පිරිවනෙහි පරිවෙනාධිපතිවරයකු වශයෙන් ද, ඇහැළියගොඩ ඇරෑපොල මහින්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු වශයෙන් ද සේවය කොට 1990 වසරේ සිට වසර 5ක් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස කටයුතු කළහ.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන් වහන්සේගේ හා දායක පිරිසේ බලවත් ඉල්ලීම පරිදි 1990 සිරිසුදස්සනාරාම විහාරයට වැඩම කළහ. 1996 දී කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ බෞද්ධ විහාර සංගමය විසින් කළ ආරාධනාවකට අනුව කැනඩාවට වැඩම කළ අප ගුරුදේවෝත්තම ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ සුදු ජාතිකයන්ට ද බෞද්ධ දර්ශනය හඳුන්වා දුන් අතර, දහම් පාසලක් ආරම්භ කරමින් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහි දී අමිල මෙහෙවරක් කළහ. වැන්කුවර් හී සයිමන් ප්‍රේෂර් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රපති උපාධියේ පර්යේෂණය සඳහා ‘පාසල් දරුවන් තුළ මානසික ආතතිය නැති කිරීමට බෞද්ධ භාවනා ක්‍රමවලින් ලැබිය හැකි ප්‍රයෝජනය’ යන කෘතිය ඉදිරිපත් කරමින් ශාස්ත්‍රපති උපාධිය ද ස්වාමීන්වහන්සේ නමකගේ දෛනික ප්‍රතිපදා තුළින් යොනිසෝ මනසිකාරය ගැන අධ්‍යනයක්’ යන කෘතිය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය ද ලැබූහ.

දුටු දුටුවන්ගේ සිත් සතන් පහදවන පැවැත්මෙන් යුතු අපගේ ලොකු ස්වාමීන් වහන්සේ සීලයෙන් ද, ගුණයෙන් ද, බහුශ්‍රැතභාවයෙන් ද, ධර්මඤාණයෙන් ද පිරිපුන් ය. උන්වහන්සේ සැබෑ ම චරිතාදර්ශයකි. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන කේන්ද්‍ර කරගෙන ලක්වාසී ලෝකවාසී සැමට තථාගත සම්බුදු දහම උන්වහන්සේගේ සුමිහිරි සුගම්භිර හඩින් දේශනා කරන්නේ නිරපේක්ෂක මනසිනි.

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී සෑම පුරපසළොස්වක පොහොය දිනක ම සීල සමාදාන වැඩසටහනක් ද, සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩ සටහනක් ද, සෑම ඉරිදා දිනකම අභිධර්ම දේශනාව ද ක්‍රියාත්මක කරන අතර, විශාල පිරිසක් ඊට සහභාගි වෙති. තරුණ පරපුර දහමට යොමු කර ගුණ ගරුක බොදු සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ ඉමහත් වෙහෙසක් දරති. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් පාසල් ආරම්භ කරමින් සංවරශීලි දරු පරපුරක් බිහි කිරීමට මග පෙන්වති. ‘ප්‍රඥා ප්‍රභා’ සංවිධානය අරඹමින් මාසිකව ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරවා පළකරමින් බොහෝ දෙනෙකුගේ දහම් පිපාසය සංසිඳුවාලයි. ඉතා දුර බැහැරින් පවා ලැබෙන ආරාධනාවන් ප්‍රතික්ෂේප නොකොට ඒ සඳහා වැඩම කරන්නේ ඉමහත් කරුණාවෙනි. උන්වහන්සේට ලැබෙන පිරිකර පවා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන මහ සඟ රුවනට මෙන් ම අවශ්‍ය තැනකට පරිත්‍යාග කරන්නේ දාන පාරමිතාව සපුරන හෙයිනි.

ආගමික වශයෙන් මෙන් ම සාමාජික වශයෙන් උන්වහන්සේ සිදු කරනු ලබන සේවය අතිමහත් ය. පාරමි සංවිධානය ඇති කරවා විවිධ සමාජ සුබසාධන කටයුතු රාශියක් කරති. එමෙන් ම සිරි සුදස්සනාරාම විහාරස්ථ ‘සිරි සදහම් සුව සරණින්’ අවශ්‍යතා ඇති අයට රෝද පුටු, අත්වාරු පරිත්‍යාග කෙරෙති.

මේ අයුරින් අපරිමිත සේවයක් සිදු කරන අපගේ ගුරු දේවෝත්තම ආචාර්ය මිරිස්සේ ධම්මික මහා ස්වාමීන්වහන්සේ සසුනඹරෙහි පුන් සඳක් මෙන් තව බොහෝ කාලයක් වැජඹේවා.