Print this Article


බුදුසරණ හිටපු කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

බුදුසරණ හිටපු කර්තෘ පේ‍්‍රමසිරි අබේසිංහ

බුදුසරණ පුවත්පතෙහි හිටපු ප්‍රධාන කර්තෘ පරලොව සැපත් පේ‍්‍රමසිරි අබේසිංහ මහතාගේ තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම 10 වෙනි දාට යෙදීම නිමිත්තෙනි.

මෑත අතීතයේ සිංහල භාෂාව, ඉතිහාසය , පුරාවිද්‍යාව, ආදී විෂයය ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ විද්වතුන් රාශියක් දක්නට හැකි ය. එකී විද්වතුන් සියලු දෙනාම පාහේ සිය ක්ෂේත්‍රයෙහි අමරණීය නාමයක් සටහන් කර ඇති වියතුන් ය. ඔවුන්ගේ මුල් සොයා යෑමේදී ඒ හැම දෙනා ම පාහේ ස්වකීය අධ්‍යාපනය පන්සල් මුල්කොටගෙන පැවැති සාම්ප්‍රදායික පන්සල් අධ්‍යාපනය හෝ පිරිවෙන් අධ්‍යාපනය ලද්දෝ ය. සිය භූමිකාව පෙහෙණි වූයේ යථෝක්ත අධ්‍යාපනය නිසා බැව් ඔවුහු පසු කාලයේ දී ලියූ කියූ දැයින් ප්‍රකට කොට තිබෙන්නේ නිර්ව්‍යාජව ය.

අදින් මාස තුනකට පෙර අභාවයට පත් බුදුසරණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් වසර දහ අටක සේවාවක් ඉටු කළ පේ‍්‍රමසිරි අබේසිංහ මහත්මා ද ඒ කුලකයට අයත් අයෙකි. හොරණ විද්‍යාරත්න පිරිවෙණෙන් පාරිවේණික අධ්‍යාපනය ලැබීමෙන් පෙහෙණී වු අබේසිංහයෝ සිය ලේඛන කලාව ඔප දමා ගන්නේ පිරිවෙන් ශිෂ්‍ය අවධියේ ය. එවකට හොරණ විද්‍යාරත්නය හෙබවු ආචාර්ය හොරණ වජිරඤාණ නා හිමියන් ප්‍රමුඛ වියත් යතිවර ඇසුරින් ඔහුගේ ලේඛනය ඔප වැටුණි. මේ නිසා පරිවේණස්ථානයේ බිත්තිපුවත්පත්, සඟරා ආදිය ජන්ම ලාභය ලබන්නට විය.

පිරිවෙනට එනතුරු කහතුඩුව කණිෂ්ඨ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා, ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපන කටයුතු කරන ලද්දේ ආචාර්ය අදිකාරම් වැනි ප්‍රවීණයන් යටතේ ය. අදිකාරම් මහත්මාගේ සරල ලේඛන ශෛලිය අබේසිංහයන්ට ලේඛකයෙක් වෙන්නට හේතු බීජ වූ බව නොරහසකි. පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකාරයෙකු වශයෙන් පුවත්පත් කලාවට පිවිසි හෙතෙම පසුව දවස පුවත්පතෙහි සෝදුපත් කියැවීමට එක්වුණි. පසුව ඔහු ලේක්හවුස් දිනමිණ උපකර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.

ඒ ඇවෑමෙන් බුදුසරණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ වශයෙන් පුරා වසර දහ අටක් සේවය කළේ ය. ඒ කාලය තුළ බුදුසරණ පුවත්පත නවමු මුහුණුවරකින් දායාද කරන්නට කටයුතු කළේ ය. එනිසා පුවත්පතෙහි ඉල්ලුම ද දිනෙන් දින වැඩිවන්නට විය. මෙතෙක් ඇස නොගැටී තිබු ඈත පිටිසර ගම්වලට ද බුදුසරණ ව්‍යාප්ත විය. මේ සේවාව අගයමින් මහා සංඝ සභාවකින් පුවත්පත් කලාවේදියෙකුට පිදෙන ප්‍රථම ගෞරව නාමය බවට ඉතිහාස ගතවෙමින් මහනුවර මල්වතු මහා විහාරයීය සංඝ සභාවෙන් “බෞද්ධ පත්‍ර කලාසූරී” අභිධානයෙන් සම්මානිත විය. අබේසිංහයන්ගේ ජීවිතයේ නොයෙක් සම්මාන වලින් ඇගයීමට ලක්වූවත් වඩා වටිනාම ඇගයීම එය වූයේ එහි වු යථෝක්ත ඓතිහාසික බව නිසාය.

යහමඟට සිතුවිලි, මව්පිය සෙවණ , කවි සෙවණ, උපහාරය වැනි ප්‍රකාශන එළිදක්වමින් සිය ලේඛනය ගද්‍යයෙන් පමණක් නොව පද්‍යයෙන් ද පොහොසත් බව ලොවට කියා පෑහ. එයින් විස්කම් පෑහ. සම්මාන ලදහ. සිය ජීවිතයේ අසු වැනි වයසේදීත් ඔහු ලේඛනය අත්හැරියේ නැත. පදිංචිව සිටි ප්‍රදේශයේ සිදුකළ විහාරස්ථාන, අවමංගල්‍යාධාර සමිති සුබසාධන සමිති ආදි සමිති සමාගම් හරහා තම සමාජ සේවා අත්හැරියේ නැත. කෙබඳු විස්කම් දස්කම් පෑවත් ලෝ දහමට නතු වීම නොවැළැක්විය හැකි බව අප හොඳින් දනිමු. ඒ වග යළිත් පසක් කරමින් අබේසිංහයෝ මෙයින් තෙමසකට පෙර (2017 නොවැම්බර් 10) අභාවයට පත්විය. එතුමන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාධනය කරත්වා යි අපි දු ප්‍රාර්ථනා කරමු.