Print this Article


පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා - 05: අනුරූප විපාක

අනුරූප විපාක

" ඇය දන්වා සිටියේ තමාට අතින් අත යමක් ලබාදිය නොහැකි බවත් වෙළෙඳ පිරිස අතර සිටින තෙරුවන් සරණ ගිය උපාසකයාට දන් පිරිනමා එම පින තමන්ට අනුමෝදන් කරන ලෙසත් ය. ඇගේ ඉල්ලීම පරිදි වෙළෙඳ නායකයා තමන් හා සිටි උපාසක තැනට සත්කාර කොට දන් පිරිනැමූ අතර එම පින ප්‍රේතියට අනුමෝදන් කළේ ය. එය අනුමෝදන් වූ ප්‍රේතිය සියලු සම්පතින් යුක්තව විසිතුරු වස්ත්‍ර හැඳ විමානයෙන් පිටතට පැමිණ දෙවඟනක් ලෙස ඔවුන් ඉදිරියේ පෙනී සිටියා ය."

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි බල්ලාටිය ප්‍රේතිය අරභයා මෙම කථාව දේශනා කළහ.

අතීතයේ බරණැස් නුවර අතිශය රූප සෞන්දර්යයෙන් යුක්ත මොණරපිල් කලඹක් හා සමාන සිත්කළු කේශ කලාපයක් හිමි වෛශ්‍යා ස්ත්‍රියක් වාසය කළා ය. රූමත් බවට හා කේශ කලාපය කෙරෙහි සිත් ඇදී ගිය තරුණයෝ විශාල වශයෙන් ඇයගේ ඇසුර පතා පැමිණියෝ ය. මේ අතර ඇයගේ රූමත් බව හා කේශ කලාපය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් සිටි කාන්තාවෝ කීප දෙනෙක් එක්ව ඇයට උපස්ථාන කරන සේවිකාවගේ සහාය ලැබ හිස කෙස් වැටෙන බෙහෙතක් දීමට කතිකා කරගත්හ. අල්ලස් ලැබූ දාසිය නහන සුණු සමඟ විෂ මිශ්‍ර කොට තම ස්වාමිදියණියට දුන්නා ය. වෛශ්‍යාව ද මේ කිසිවක් නොදැන විෂ මිශ්‍ර නහන සුණු ගා දියේ ගිලුණාය. දියෙන් මතුවෙත් ම ඇයගේ මුළු කෙස්කලඹ ම ගැලවී ගොස් දියේ පා විය. පෙර සුන්දර කෙස් කලඹකට හිමිකම් කියූ ඇගේ හිස ඉන් පසු තිත්ත ලබු ගෙඩියක් මෙන් දිස්විය. මෙයින් අතිශය ලජ්ජාවට පත් වෛශ්‍යාව නගරයට යා නොහැකිව වස්ත්‍රයකින් හිස වෙලාගෙන ඉන් බැහැරව කලක් සැඟවී වාසය කළා ය. පෙර පැවති සුන්දර බව නොමැති හෙයින් කිසිවෙකුත් ඇගේ ඇසුර පතා නොපැමිණියහ. ජීවත් වීමට ආදායමක් නොමැති ඇය තල මිරිකා තෙල් වෙළෙඳාම හා සුරා වෙළෙඳාම කළා ය. එක් දිනෙක ඇය සුරා මතින් මත් ව වැතිර සිටි මිනිසුන් කීප දෙනෙකුගේ ඇඳිවත සොරා ගත්තා ය. ඉක්බිති අන් දිනයක පිඬු සිඟා වඩින රහතන් වහන්සේ නමක් දැක උන්වහන්සේ කෙරෙහි පැහැදි තම නිවසට වඩමාගෙන ගොස් තෙල් මිශ්‍ර තල කැරලි පූජා කළා ය. රහතන් වහන්සේ ඈ කෙරෙහි අනුකම්පාවෙන් නිවසේදී ම එය වැළඳූ සේක. තල කැරලි වළඳන රහතන්වහන්සේ කෙරෙහි පහන් සිතින් උන්වහන්සේගේ හිසට කුඩයක් දරමින් සිටියා ය. තල වැළඳූ රහතන් වහන්සේ ඇයට පුණ්‍යානුමෝදනා කළහ. අනුමෝදනාවට සවන් දෙමින් සිටි ඇය අනාගත භවයේ තම කේශ කලාපය විසිතුරු සුමුදු එකක් වේවා යි ප්‍රාර්ථනා කළා ය. ඇය පසු කලෙක මිය පරලොව ගොස් කර්මානුරූපව මුහුද මැද රන් විමනක හුදෙකලාව උපන්නා ය. පෙර රහතුන්ට දන් පිරිනමා ප්‍රාර්ථනා කළ අයුරින් ම ඇගේ කේශ කලාපය ශෝභාමත් විය. එසේ වුව ද, වස්ත්‍ර සොරාගත් හෙයින් නග්න වූවා ය. එම රන් විමනෙහි නැවත නැවත ඉපදෙමින් බුද්ධාන්තරයක් ම නග්නව ගත කළා ය.

මෙම බුද්ධාන්තර කල්පයෙහි සැවැත් නුවර වැසි වෙළෙන්දෝ සියයක් වෙළෙඳාම පිණිස ස්වර්ණ භූමය බලා යන ගමනේ දී මුහුදු මාර්ගය වැරදී ගොස් ඇය වෙසෙන රන් විමානය අසළට සේන්දු වූහ. ඉක්බිති නග්න ප්‍රේතිය තම විමානය සමඟ ප්‍රධාන වෙළෙන්දා ඉදිරියේ පෙනී සිටියා ය. එය දැකීමෙන් විශ්මයට පත් වෙළෙන්දා විමානයෙන් එළියට එන ලෙස ඇයට දන්වා සිටියේ ය. තමා නග්නව සිටින හෙයින් විමානයෙන් පිටතට පැමිණිය නොහැකි බව ඇය දැන් වූවා ය. ඉක්බිති වෙළෙන්දා තම උතුරු සළුව උනා ඇයට පිරිණැමීමට සූදානම් විය. එවිට ඇය දන්වා සිටියේ තමාට අතින් අත යමක් ලබාදිය නොහැකි බවත් වෙළෙඳ පිරිස අතර සිටින තෙරුවන් සරණ ගිය උපාසකයාට දන් පිරිනමා එම පින තමන්ට අනුමෝදන් කරන ලෙසත් ය. ඇගේ ඉල්ලීම පරිදි වෙළෙඳ නායකයා තමන් හා සිටි උපාසක තැනට සත්කාර කොට දන් පිරිනැමූ අතර එම පින ප්‍රේතියට අනුමෝදන් කළේ ය. එය අනුමෝදන් වූ ප්‍රේතිය සියලු සම්පතින් යුක්තව විසිතුරු වස්ත්‍ර හැඳ විමානයෙන් පිටතට පැමිණ දෙවඟනක් ලෙස ඔවුන් ඉදිරියේ පෙනී සිටියා ය. පුණ්‍ය කර්මයේ විපාක ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂව දුටු වෙළෙන්දෝ තවදුරටත් තමන් සමඟ සිටි උපසකයාට උවැටන් කරමින් බණ අසමින් බොහෝ පින්කම් සිදු කළෝ ය.

එක් දිනක් උපාසකයා විසින් විමසන ලදුව, දෙවඟන තමා කළ පව් පින් පිළිබඳ සැකෙවින් විස්තර කළා ය. රහත් භික්ෂුවකට තල කැරලි පිදීමෙන් විසිතුරු කෙස් කලඹක් හා රන් විමනක් ලැබුණත්, වස්ත්‍ර සොරකම් කිරීමේ විපාකය නිසා මතු භවයෙහි ද අවිචී මහා නිරයේ ඉපිද දුක් විඳීමට සිදුවන බව දන්වා සිටියා ය. ඉක්බිති දෙවඟන උපාසකයාට දන් පිළිගන්වා බොහෝ සත්කාර කොට ඔහුගේ ඉල්ලීම අනුව බුදුන්වහන්සේට පූජා කිරීමට සළු යුගලක් ද පිරිනැමුවා ය. පසු කලෙක වෙළෙඳ පිරිස සැවැත් නුවරට පැමිණ බුදුරදුන් හමුවට ගොස් සියලු පුවත් දන්වා දෙවඟන දුන් පිළි සඟල ද පූජා කොට ඇගේ නමස්කාරය ද තථාගතයන් වහන්සේ ට සඳහන් කළහ. බුදුරජාණන් වහන්සේ එම පුවත පදනම්කරගෙන පැමිණි පිරිසට ධර්මය දේශනා කළහ. උපාසක තුමා ද ඇය කෙරෙහි අනුකම්පාවෙන් පසු දින බුදු පාමොක් මහා සඟනට දන් පිළිගන්වා පින් අනුමෝදන් කළ අතර පින් අනුමෝදන් වූ ඇය දුකින් නිදහස් වූවා ය.

වස්ත්‍ර සොරකම් කිරීමෙන් කටුක දුක් විඳීමට සිදුවන බව මෙම ප්‍රේත කථාවෙන් පැහැදිලි වේ. තමා කළ කර්මයේ අනුරූප විපාක පැහැදිලි කරන මෙම ප්‍රේත කථාව ගැඹුරු සමාජ යථාර්ථයක් ගෙනහැර දක්වයි. රූමත් බව අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට හේතුවක් වන බව මෙයින් ගම්‍ය වේ. වෛශ්‍යාවගේ රූමත් බවට ඊර්ෂ්‍යා කළ කාන්තාවෝ ඇගේ දාසියක් ලවා උපක්‍රම ශීලිව කටයුතු කළ ආකාරය මගින් මිනිස් සිතේ ස්වභාවය මෙන් මානව හැසීරිම්වල විෂමතාවත් මොනවට ප්‍රකට වේ. කෙනෙකු විනාශ කිරිමට අල්ලස් දීම මෙන් ම ගැනීම පිළිබඳ කොතෙකුත් උදාහරණ තිබේ. එසේම සේවක සේවිකාවන්ගේ මෙබඳු උපක්‍රමශීලි කටයුතු නිසා අනතුරට පත් ස්වාමිවරු මෙන්ම ස්වාමිදියණිවරු ද දක්නට ලැබේ. අන්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වීම නිසා පුද්ගලයා අනතුරට පත්වන ආකාරය වෛශ්‍යාවට සිදු වූ විපතින් සනාථ වේ. ජීවත් වීම සඳහා ඇතමෙකු කුමන ආකාරයේ හෝ පහත් රැකියාවක් සිදුකරයි. පෙර නඟර සෝභිනියක්ව සිටි ඇය ජීවත් වීම සඳහා සුරාව විකුණුවා ය. එපමණක් නොව සුරා මතින් මත්ව සිටි මිනිසුන්ගේ ඇඳිවත ද සොරා ගත්තා ය. මේ නිසා ඇයට නග්න ප්‍රේතියක්ව දුක් විඳීමට සිදු වූවා ය. කෙතරම් නරක තැනැත්තියක් වුව ඇය සතුව යහපත් ගුණ ද පැවැති බව රහතන් වහන්සේ ට දන් පිරිනැමීමෙන් පැහැදිලි වේ. එසේ ම පෙර සුන්දර තැනැත්තියක් වූ වෛශ්‍යාව අවසානයේ අඳුරු අගාධය ට ඇද දමන්නේ ඇය ජීවත්වන සමාජය විසින් ම යන්න පැහැදිලි ය. කාන්තාවකට ඇගේ කේශ කලාපය අතිශය වටිනා වස්තුවකි. එය පුරුෂයන්ගේ සිත් ඇද ගැනීමට හේතුවේ. කලක් එවැනි සුන්දර කෙස් කලඹකට හිමි කම් කියූ කාන්තාවක් එය අහිමි වීමෙන් කොතරම් මානසික අවපාතකයට ලක්වන්නේ ද යන්න මෙම කථාවෙන් ප්‍රත්‍යක්ෂ වේ. තමන්ට නොමැති හා නොලැබෙන දෑ පිළිබඳව මිනිස් සන්තානයේ ඇතිවෙන ඊර්ෂ්‍යාවේ කුරිරු ස්වභාවය කාන්තාවන් කීප දෙනෙකු එක්ව උපක්‍රම ශීලිව කළ ක්‍රියාවෙන් තහවුරු වේ. සමාජයෙන් හෝ තමා විසින් කළ අයහපත නිසා දුකට පත් වූ කෙනෙකුට පිහිටවන සත්පුරුෂයන් ද සිටින බව උපාසක තැනගේ චරිතයෙන් පැහැදිලි වේ. බුදුන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා කරුණාවෙන් හා මෛත්‍රියෙන් අන්‍යයන්ට පිහිට වන්නෙකි. වස්ත්‍ර සොරකම් කිරීමෙන් ලැබෙන දරුණු විපාකවල ස්වභාවය මෙම කථාවෙන් මැනවින් ඉදිරිපත් වේ. රෙදි පිළි විකූණන වෙළෙඳ සැල් වලින් හා නිවෙස්වල ඇති වස්ත්‍ර සොරා ගන්නා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ගැන ම පළවන පුවත් එමටය. එවැනි අධම ක්‍රියාවල නිරත වන්නන්ට නීතියෙන් පමණක් නොව කර්මානුරූපව ද දරුණු විපාක විඳීමට සිදුවේ. රන් විමනක උපන්නත් නග්න ප්‍රේතියකව වාසය කරන්නට සිදු වූයේ ඇඳිවත සොරකම් කිරීම නිසයි. හොඳ නරක, මෙලොව පරලොව තේරුම් ගෙන එවැනි අකුශල ක්‍රියාවලින් වැළකීමෙන් දෙලොවම සතුටු විය හැකි වේ.