Print this Article


බුදුපිළිමයේ උපත - 91: ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාබෙදාදීම

බුදුපිළිමයේ උපත - 91:

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බෙදාදීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

"බුදුන්, දහම්, සඟ සරණ ගියාහු ම වෙති. තමුන්නාන්සේලා සෑම කෙනෙකු තුළ ම ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ට පූජා කිරීමේ, සැලකීමේ ගෞරව කිරීමේ අභිලාශයයි. දැන් ඉතින් අප කවුරුත් තථාගත ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දැකිය යුතු වේලාවයි. උන්වහන්සේගේ දේශනාවත් එය මැයි. එබැවින් ගෞරවයෙන් යුතුව මේ ධාතුන් වහන්සේලා සමසේ බෙදා ගනිමු යැයි ද්‍රෝණ බමුණුතුමා පහන් සංවේගය උපදවමින් උච්ච ම ස්වරයෙන් කළ මේ ප්‍රකාශය නිම වෙත්ම සියල්ලෝම සාධුකාර පවත්වන්නට වූහ."

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ශ්‍රී දේහය මකුටබන්ධන නම් පුදබිමෙහි ආදාහන පූජෝත්සවය සිදු කිරීමෙන් පසුව ඉතා වැදගත් සිදුවීම් කීපයක් වූ බව මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙන් ම තවත් ග්‍රන්ථවල ද සඳහන්වී තිබේ. මල්ල රජදරුවන් මූලික වී සිදු කරන ලද එම කටයුතුවලින් පසුව ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේට අයිතිය කියා පෑමට ජම්බුද්වීපයේ විවිධ රජවරුන් ඉදිරිපත්වීම මෙහිදී විශේෂ ස්ථානයක් ලබයි. සමහර රජවරු එම සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලබා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේට පැවති ඥාතිත්වය ඉදිරිපත් කළ අන්දම ද විස්තර වෙයි.

තථාගත ශ්‍රී දේහය ආදාහනයෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි සතර දළදා දෙ අකුධාතු, ලලාට ධාතු යන ධාතුන් වහන්සේලා සත් නම නොවිසිරුණහ. ඉතිරි ධාතූහු අබකඩ සහල් – මුං පියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් වහන්සේ පමණක් ඉතිරි වූ කල්හි අහසින් දිය දහරා වැගිර චිතකය නිවා දැමී ය. කුසිනාරාවාසී මල්ල රජවරු සුවඳ දිය ඉස්සාහ. (මහා පරිනිර්වාණ සූත්‍රාගත ධර්ම පර්යාය – රාජකීය පණ්ඩිත වැයිහේනේ පඤ්ඤාලෝක නා හිමි – පි. 145 (2013) දයාවංශ ජයකොඩි සහ සමාගම)

සර්වඥධාතුන් වහන්සේලා බෙදාදීම

ඉක්බිති මල්ලයෝ ද රැස්වීම් ශාලාවෙහි හෙල්ලවලින් ගරාදි මැදිරියක් කර භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ එහි තැන්පත් කොට දුනු වැටකින් වටකොට සත් දිනක් මුළුල්ලේ නැටුම්, ගැයුම්, වැයුම් වලින් ද මලින් හා සුවඳින් ද සත්කාර කළෝ ය. ගරු කළෝ ය. බුහුමන් කළෝ ය. පූජා පැවැත්වූහ.

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි දී පිරිනිවන් පෑ සේකැයි වේදේහි පුත් අජාසත්ත නම් මගධ රජුට අසන්නට ලැබිණි. මෙය ඇසු මගධ රජු භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්‍රියයෙක් වන සේක. මම ද ක්ෂත්‍රියෙක්මි. භාග්‍යවතුන් වහන්සේගේ ශාරිරික ධාතු කොටසක් ලැබීමට මම ද සුදුසු වෙමි. මම භාග්‍යවතුන් වහන්ස්ගේ ශාරිරික ධාතුන් වහන්සේ සඳහා ස්තූපයක් ද පූජෝත්සවයක් ද කරන්නෙමි”යි කියා මල්ලයන් වෙත දූතයකු යැවී ය.

කපිල වස්තුවෙහි ශාක්‍යයෝ ද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව අසා මල්ලයන් වෙත දූතයකු යවමින් භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ ඥාතියෙකු වන සේක. එනිසා ධාතු කොටසක් ලැබීමට අපි ද සුදුසු වෙමු. ස්තූපයක් ද කරන්නෙමු’යි දැන්වූහ.

මෙලෙස කාරණා කියමින් විශාලාමහනුවර ලිච්ඡවීහුද, අල්ලකප්පාවෙහි බුලිවරු ද, රාමගාමයෙහි කෝලියවරුද මල්ලයන් වෙත දූතයින් යැවූහ.

කුසිනාරාවෙහි දී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ වේඨදීපක නම් බ්‍රාහ්මණයා ද මල්ලයන් වෙත දූතයකු යවමින් භාග්‍යවතුන් වහන්සේ වනාහි ක්ෂත්‍රියෙක් වන සේක. මම බ්‍රාහ්මණයෙක් වෙමි. උන්වහන්සේගේ ශාරිරික ධාතු කොටසක් ලැබීමට මම ද සුදුස්සෙක්මි. මම ත් උන්වහන්සේගේ ශාරිරික ධාතු සඳහා ස්තූපයක් ද පූජෝත්සවයක් ද කරන්නෙමි’යි දැන්වීය.

භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි පිරිනිවන් පෑ සේ කැයි ඇසූ පාවා නුවර මල්ලයෝ ද කුසිනාරා නුවර මල්ලයන් වෙත දූතයකු එවමින් භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්‍රියෙක් වන සේක. අප ද ක්ෂත්‍රියයෝ වෙමු. උන්වහන්සේ ගේ ශාරිරික ධාතු කොටසක් ලැබීමට අපි ද සුදුස්සෝ වෙමු. අපිත් ශාරිරික ධාතු සඳහා ස්තූපයක් ද පූජෝත්සවයක් ද කරන්නෙමුය යි දැන්වුහ.

කුසිනාරාවේ මල්ලයෝ විරුද්ධවීම

මෙසේ දන්වා සිටි කල්හි කුසිනාරා නුවර මල්ලයෝ එම පිරිසට මෙසේ කීවෝ ය. භාග්‍යවතුන් වහන්සේ අපේ ගම් සීමාවෙහි පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ ශාරිරික ධාතු කොටස් අපි නොදෙන්නෙමු.

එසේ කී කල ද්‍රෝණ නම් බ්‍රාහ්මණයා එම පිරිසට මෙසේ කීවේ ය.

“පින්වතුනි, මා කියන දෙය අහන්න. අපගේ බුදුරජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූහ. ඒ උතුම් පුද්ගලයාගේ ශාරිරික ධාතු කොටස් නිමිතිකොට ඇන කොටා ගැනීමක් සිදුවුවහොත් එය සුදුසු වන්නේ නැත. පින්වත්නි, අපි සියලු දෙනා එක්සත්ව, එක්සිත්ව, පී‍්‍රතිමත්ව ධාතු අට කොටසකට බෙදමු. දිසාවන්හි ස්තූප පැතිරේවා. ප්‍රඥා ඇස් ඇත්තාවූ උන්වහන්සේ කෙරෙහි බොහෝ දෙනා පැහැදුණෝ වෙති.

මහා පරිනිබ්බාන සූත්‍රය – සිංහල පරිවර්තනය – සනත් නානායක්කාර පි. 108- (1999)

තවත් ග්‍රන්ථයක ද්‍රෝණ බ්‍රාහ්මණයා සියලුම පාර්ශ්වකරුවන් අමතා පහත සඳහන් ලෙසින් ද ඉල්ලීමක් කළ බව මෙසේ සඳහන් වේ.

තත්ත්වය බරපතල බව දත් ද්‍රෝණ පඬිතුමා පිරිස අමතා විශේෂ දේශනයක් පවත්වමින් රජදරුවනි, මැති ඇමැතිවරුනි, සේනාපතිවරුනි, ප්‍රභූවරුනි දැන් මෙහි පැමිණ සිටින තමුන්නාන්සේලා සියල්ලෝ ම මේ මහා ජම්බුද්වීපයේ ඒ ඒ ප්‍රදේශවලින් ශාක්‍යසිංහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ආදාහනයෙන් පසු ඉතිරිවී ඇති අස්ථිමය ධාතුන් වහන්සේලා ලබා ගැනීමට පැමිණියෝ වෙති. ඔබ හැම කෙනෙක්මත් තමුන්නාස්සේලාගේ රටවාසීහුත් මහත් ගෞරවයෙන් ජීවමාන බුදුරදුන්ට වැඳුම් පිදුම් කරන ලද්දෝ ය. එමගින් තම තමන්ගේ ජීවිත ගුණාත්මක බවට හරවා ගෙන සුභවාදී ප්‍රතිඵල ලද්දෝ ම වෙති. පින්වත් භවතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑ පසු ධාතු බෙදා ගැනීම සඳහා මෙතරම් දැන උගත් පිරිසක් අර්බුද ඇති කර ගතහොත් එය ක්ෂාන්තිවාදී උත්තමයාණන් වහන්සේට කරනු ලබන බරපතල අගෞරවයකි. එබැවින් ඉවසීමෙන් සහ කරුණා මෛත්‍රියෙන් යුතුව විවිධ දේශාන්තරවලින් පැමිණි කණ්ඩායම් අතර මේ ධාතු බෙදා ගනිමු. මල්ල රාජධානියෙහි පිරිනිවන් පා වදාළ හෙයින් එතුමන්ලාට මුල්තැන දීම වැරදි සහගත යැයි මම නොසිතමි. යුතුකම ඔවුන්ට ප්‍රමුඛ ස්ථානය දීමයි. ඔබ සියල්ලෝ ම සැදැහැවත්හු. බුදුන්, දහම්, සඟ සරණ ගියාහු ම වෙති. තමුන්නාන්සේලා සෑම කෙනෙකු තුළ ම ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ට පූජා කිරීමේ, සැලකීමේ ගෞරව කිරීමේ අභිලාශයයි. දැන් ඉතින් අප කවුරුත් තථාගත ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ දැකිය යුතු වේලාවයි. උන්වහන්සේගේ දේශනාවත් එය මැයි. එබැවින් ගෞරවයෙන් යුතුව මේ ධාතුන් වහන්සේලා සමසේ බෙදා ගනිමු යැයි ද්‍රෝණ බමුණුතුමා පහන් සංවේගය උපදවමින් උච්ච ම ස්වරයෙන් කළ මේ ප්‍රකාශය නිම වෙත්ම සියල්ලෝම සාධුකාර පවත්වන්නට වූහ. කුපිතකර අදහස් මෛත්‍රි සහගත බවට පත්වූහ.

(තථාගත ලක්ෂණ පිරිනිවන සහ කේතුමතී රාජධානිය සම්පාදක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි. පි. 82-,83)

පසු සටහන

ඉහත සඳහන් ග්‍රන්ථය ලියු කොටුගොඩ ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේ විසින් මෙම මහා පරිනිබ්බාන සූත්‍රය පරිවර්තනය කිරීමේ දී උපයෝගී කරගත් අවස්ථා හා ග්‍රන්ථ ගැන මෙසේ සඳහන් කරන ලදී. “දඹදිවට සහ නේපාලයට ධර්මදේශනා කිරීම් සඳහා 1981 සිට 2001 තෙක් අප විසින් වාර දාහතරක් ( 14) ගොස් තිබේ. මාස ගණන් එහි වෙසෙමින් ඉන්දියානු සහ නේපාල හිමිවරුන් සහ බෞද්ධ ප්‍රභූවරුන් සමඟ ප්‍රදේශයෙන් ප්‍රදේශයට යමින් ඇතැම් අවස්ථාවන්හි දි ගමින් ගම නවාතැන් ගනිමින් ධර්ම දේශනා කරද්දී ඒ රටවල පාරම්පරික පුස්කොළ , තල් කොළ පොත්පත් සහ මුඛ පරම්පරා ගත පාරම්පරික කථා ප්‍රවෘත්තීන් ද ගුරු තන්හි තබාගෙන මෙම පරිනිබ්බාන සූත්‍රය පරිවර්තනය සකස් කර ඇති බව සැලකුව මැනවි. එහිලා මාගේ ධර්ම දේශනාවන් පරිවර්තනය කළ ගොරුක් පූර්හි කුසිනාරා නුවර බ්‍රාහ්මණ ජාතික අච්ඡුතානන්ද නාහිමිපාණන් වහන්සේ ද නේපාලයේ විශ්ව කීර්ති ශ්‍රී අමෘත්තානන්ද නා හිමිපාණන් වහන්සේ ද මෙහිලා කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුව ඇත.

අද ජීවතුන් අතර නැති ඒ දෙනම එක්දහස් නවසිය විසි තිස් ගණන්වල එක්දහස් නවසිය හතලිස් ගණන්වල ලංකාවේ වෙසෙමින් අධ්‍යාපනය ලැබු පැවිදි උතුමෝ ය. උන්වහන්සේලාගෙන් දැනගත් කරුණු සහ කත්මන්ඩු නුවර අශ්වඝෝෂ මහානාම, කුමාර කාශ්‍යප ,මෛත්‍රි, සහ තපස්සී ධම්ම හිමිවරුන් ගෙන් පැරණි පොත පත බලවාගෙන දැනගත් කරුණු ද පිහිට කොට ගෙන මෙම පිරිනිවන් මඤ්චකය ලියා ඇති බව සඳහන් කිරීමට කැමතියි. (ඉහත සඳහන් ග්‍රන්ථයේ පෙරවදනින් උපුටා ගන්නා ලදී)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 90: මකුටබන්ධන පුදබිම