Print this Article


සුගති ගමන - 10 : මිය යන මොහොතේ ම...

සුගති ගමන - 10

මිය යන මොහොතේ ම...

අප එකට පින්දහම් කර, බණ භාවනා කළා. එකට ධර්මයේ හැසිරුණා. අපට සදහම් මඟ යන්නට මඟ පෙන්වූ යහළුවන්, කල්‍යාණ මිත්‍රයන් කොහේදැ’යි යනුවෙන් කල්‍යාණ මිත්‍ර දෙවිවරු නිබඳව ම තම මිතුරන් ගැන සොයා බලති. ඒ දෙවිවරු, මනු ලොව එකට බණ භාවනා, පින් දහම් කළ තමන්ගේ මිත්‍රයෙක් මිය ගොස්, දෙව් ලොව ම උපත ලබා සිටින බව දකියි. නමුත් දෙව් ලොව උපත ලැබූ ඔහු, ධර්මයේ නොහැසිරෙ යි. විනෝදයෙන් කාලය කා දමා දිව්‍ය කාමයන්ට මුසපත්ව වාසය කරයි. එවිට කල්‍යාණ මිත්‍ර දෙවිවරු මේ පුද්ගලයා සොයා පැමිණෙ යි. ඔහු වටකරගන්නා දෙවිවරු තම මිතුරාගේ පරණ මතකය ආවර්ජනා කරයි.

‘පින්වත් මිතුර, මනු ලොව අප එකට වාසය කළා මතක නැද්ද? ඔබ, අප සමඟ මෙවැනි පින්කම් කළා නේද? ඒවා මතක් කර ගන්නැ’යි පවසා ඒ කල්‍යාණ මිත්‍ර දෙවිවරු තම මිතුරාට මතකය අවධි කර දෙති. බුදුන් වහන්සේ එය උපමාවකින් මෙසේ සඳහන් කළ සේක. ‘මහණෙනි, එය කාලයකට පසුව පරණ යහළුවෙක් මුණ ගැසුණා වැනි යි.

සිතන්න, ඔබගේ ජීවිතයේ දිගු කලකට පසු පරණ හිත මිතුරෙක් හෝ, විදේශයක සිටි අයකු හෝ, නෑදෑ හිත මිත්‍රයෙක් හෝ හදිසියේ ම, මුණ ගැසුණොත් විමසන්නේ කෙසේ ද? අප ඉස්සර මෙහෙම නේද? යනුවෙන් පරණ දේ කතා බහ කරයි. බුදුරදුන් වදාළේ, ‘මහණෙනි, කාලයකට පසුව පරණ යහළුවෙක් මුණ ගැසීමෙන්, පරණ දේ සිහි කරගන්නවා වගේ දෙවිවරු තමන්ව සොයා විත් මනු ලොව දී එකට කළ පින්කම්, ධර්මය පුහුණු කළ අයුරු, බණ භාවනා කළ ආකාරය මතකයට නඟා, අපි ධර්මයෙහි හැසිරෙන්න යමු, බණ අසන්නට සුධර්මා දිව්‍ය සභාවට යමු යැ’යි පවසති.

මෙලෙස, බුදුරජාණන් වහන්සේ කාරණා සතරක් මතු කර පෙන්වමින්, ‘මහණෙනි, යම් කිසිවෙක් මනු ලොව දී හොඳින් ධර්මය අසනවා නම්, ඒ ධර්මය මතක තබා ගන්නවා නම්, ධර්මය නිබඳව ම වදනින් පුරුදු පුහුණු කරනවා නම්, නුවණින් විමසනවා නම්, හොඳට පින් දහම් කර, ධර්මානුකූලව දිවි ගෙවන්නේ නම්, පෙර අකුසලයකින් තමන්ට අනතුරක් සිදු වුව ද , කෙසේ හෝ සිහි කල්පනාව නැතිව මිය ගියේ නම්, පිනෙන් සුගතිගාමී ව තමන් පිනෙන් රැකීමෙන්, නිවන කරා යොමුවන ආකාරය බුදුරජාණන් වහන්සේ සෝතානුදත සූත්‍රයෙන් දේශනා කර වදාළ සේක.

මේ අනුව, පින් දහම් කර සිහි මුළාව මිය ගිය පුද්ගලයා දෙව් ලොව උපත ලබා, නිවන කරා යොමු වන අවස්ථා සතර මෙලෙස සඳහන් කරයි. නමුත් එතනින් මෙහා පින් දහම් කර, සිහියෙන් මිය යන්නෙකුට බුදුරජාණන් වහන්සේ සුගතියේ සිත පිහිටුවා ගන්නා ක්‍රම මෙලෙස පෙන්වා වදාළ සේක. එනම් ජීවත් ව සිටිය දී සේඛ බල වඩන ලෙසයි. එනම්, තුනුරුවන් ගැන, ශ්‍රද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, සහ ප්‍රඥාව වඩන ලෙස යි. සේඛ බල වඩාගත් පින්වතෙකුට සුගතියක් අරමුණු කර සිත පහදවා ගන්නට පුළුවනි. තමා චාතුර්මහා රාජික දෙව් ලොව උපත ලබනවා, යනුවෙන් තමන් තුළ ඇති සේඛ බල මෙනෙහි කර චාතුර්මහා රාජික දෙව්ලොව සිත පිහිටුවිය හැකි යි. එසේ නොමැති නම්, තව්තිසා දෙව්ලොව දෙවියන් අතර උපත ලබනවා යනුවෙන් සිත පිහිටුවා ගත හැකි යි. තමා තුළ ශ්‍රද්ධාව ඇති බවත්, තමන් හොඳින් සිල් රකින බවත්, බණ අසන පුද්ගලයෙක් බවත්, පින්දහම් කරන පුද්ගලයෙක් බවත් සිතමින් තමන්ගේ ගුණ ධර්මයන් සිහි කර සේඛ බල ධර්මයන් සිහි කර සදෙව් ලොවකට සිත පිහිටුවන්නට පුළුවනි. බුදුන් වහන්සේ පෙන්වා වදාළ සේ, ‘මහණෙනි, මනු ලොව දී හොඳින් ශ්‍රද්ධාව, ශීලය, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව වඩා ඇත්නම්, ඒ පුද්ගලයා හොඳ සිහි නුවණින් සිත පිහිටුවාගෙන මිය ගියේ නම්, හිසේ තිබුණු බරක් සැණෙන් බිම වැටුණා සේ (යථා භූතං නිග්ගිත්ථො එවං සගෙ) ඊළඟ චිත්තක්ෂණය තමා සිත පිහිටවූ දෙව් ලොව පහළ වෙයි. ඒ පුද්ගලයා හොඳ සිහියෙන්, පින බලවත් ව දෙව් ලොව පහළ වුවොත්, තමන් මනු ලොව සිට පැමිණි බව වැටහී යයි. තමා මනු ලොව දී මෙලෙස පින් දහම් කළා, දන් දුන්නා නේදැ’යි, කළ පින්කම් සියල්ල ම නැවත ආවර්ජනය කර ගැනීමට භාග්‍ය සැලසෙයි. ඒ හැකියාව සිහියෙන් මිය ගොස් දෙව් ලොව උපත ලබන පින්වතාට මිය යන මොහොතේ ම සැණෙකින් පහළ වෙයි.