Print this Article


සම්බුදු ගුණමහිම: කයෙන් වචනයෙන් අකුසල් වෙනවානම්...

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 17

කයෙන් වචනයෙන් අකුසල් වෙනවානම්...

ඊළඟට මම කෙනෙකුට බනිනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවානම් හටගන්නෙ අකුසල චේතනාවන්. මෙලෙස වචනයෙන් වැරැදි වෙනවා නම් ඒකත් වචී සංඛාර

අකුසල චේතනා නිසා කාය කර්ම හටගන්නවා. කෙනෙකුට ගහන්ට වුණොත් අත පය උස්සලා ගහනවා. එතකොට මලක් හෝ වෙනත් කුමක් හෝ හොරකම් කරන්න හිතුනොත් අත පය වෙහෙසලා සොරකම් කර ගන්නවා. මේවා කයින් වෙන අකුසල කාය කර්ම.

එතකොට අකුසල චේතනාවවන්ගෙන් තමයි අකුසල කාය කර්ම හටගන්නේ. අප එයට කාය සංඛාර කියලා කියනවා. වචී සංඛාර කියලා කියයන්නේ වචී සංචේතනා වචී සංඛාරො’ කාමාවචර කුසල චේතනාවන්ගෙන් තමයි මේ වචන පිටවෙන්නෙ. දැන් මම ධර්මය දේශනා කරනවා. දේශනා කරන්නේ කාමාවචර කුසල චේතනාවන්ගෙන්. ඊළඟට මම කෙනෙකුට බනිනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවානම් හටගන්නෙ අකුසල චේතනාවන් මෙලෙස වචනයෙන් වෙන වැරදි නම් ඒකත් වචී සංඛාර, වචනයෙන් කුසල් වෙනවා නම් ඒකත් වචී සංඛාර. කුසල චේතනා, කාමාවචර කුසල චේතනා, රූපාවචර කුසල චේතනා, අරූපාවචර කුසල චේතනා අකුසල කියන මේ සියල්ලක් ම මනෝද්වාරික වශයෙන් හටගැනීම සිදුවෙනවා.

කයින් වන ක්‍රියා කාය සංඛාර කියලත්, වචනයෙන් වන ක්‍රියාව වචී සංඛාර කියලත් කියනවා. සිතින් වන ක්‍රියාව මනෝ සංඛාර හෝ චිත්ත සංඛාර කියලත් කියනවා. සංඛත සංඛාරො, අභිසංඛත සංඛාරො, අභිසංඛරණ සංඛාරො, පයොගාභි සංඛාරො යි ඊළඟට සංඛත සංඛාර සියලුම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්, සෘතු විපර්යාස, චිත්ත ආදී, මේ ආහාර ආදී නිසා හටගත්ත මේ හැම දෙයක් ම නිර්වාණය හැර අනෙක් ඔක්කෝම ඉර හඳ තරු ගස් ගල් පර්වත ගෙවල් දොරවල් වාහන සැප සම්පත් මේ සියල්ලම ‘සබ්බේ සප්පච්චයා ධම්මා’ සංඛත සංඛාරයි. ඊළඟට ‘අභිසංඛත සංඛාර’ කියලා කියන්නේ පින්වතුනි, සම්පූර්ණයෙන් ම කුසල අකුසල චේතනා සමුදායට. ‘අභිසංඛරණ සංඛාර’ කියලා කියන්නේ ඒ කුසල චේතනාවන් උපදින ස්ථානය, උපදින භවයටයි. දැන් මරණාසන්න වේලාවේ දී කුසල චේතනාවක් පහළ වුණොත් උපදින්නේ මනුස්ස ලෝකයේ හරි, දිව්‍ය ලෝකයේ හරි, බ්‍රහ්ම ලෝකයේ හරි, ඒ කුසලයට අනූරූපවයි. අකුසල චේතනාවක් පහළ වුණොත් උපදින්නේ සතර අපායේ. මෙලෙස උපදින, තැන තමයි අභිසංඛරණ සංඛාර කියලා කියන්නේ, ‘පයෝගභිසංඛාර’ කියලා කියන්නේ උත්සාහයට, වීර්යයට කියන නමක්. එතකොට දැන් පටිච්ච සමුප්පාදයේ දී අවිජ්ජා පච්චයා සංඛාර, කියන කොට පුඤ්ඤාභි සංඛාරයි. අපුඤ්ඤාභි සංඛාරයි, ආනෙඤ්ජාභි සංඛාරයි, කාය සංඛාරයි, වචී සංඛාරයි, චිත්ත සංඛාරයි තමයි ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙන්නේ. සෙසු ඒවා ද ආගත සංඛාර ක්‍රමයෙන් ඇතුළත්වෙන බව දතයුතුයි.

ඊළඟට ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ විඤ්ඤාණ කියලා කියන්නෙ සිතයි. පටිච්ච සමුප්පාදයේ දී පැහැදිලි කරන්නේ,

චක්ඛු විඤ්ඤාණං
සෝත විඤ්ඤාණං
ඝාන විඤ්ඤාණං
ජිව්හා විඤ්ඤාණං
කාය විඤ්ඤාණං
මනෝ විඤ්ඤාණං

යන විපාක විඤ්ඤාණ ය හය විතරයි. මොකක් ද මේ චක්ඛු විඤ්ඤාණය කියලා කියන්නේ?

ඇස ඇසුරු කරගෙන පහළ වෙන සිතට අප කියන්නෙ චක්ඛු විඤ්ඤාණය කියලා.

‘චක්ඛුඤ්ච පටිච්ච රූපෙච
උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං’

‘චක්ඛු’ ප්‍රසාදයක්, එනම් බාහිර රූපාලම්භණයක් නිසා උපදින සිතට අප කියනවා චක්ඛු විඤ්ඤාණ සිත කියලා. දැන් බලන්න මේ ඇස ඇසුරු කරගෙන ඇසතුළ පහළවන සිතට අප කිව්වෙ මොකක් ද? චක්ඛු විඤ්ඤාණය. මේ සිත පහළ වෙන්නට නම් කරුණු කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනේ.

1. චක්ඛු ප්‍රසාදය තියෙන්න ඕනේ. චක්ඛු ප්‍රසාදය ඉතා හොඳින් පැහැදිලිව ම තියෙන්න ඕනෙ.

2. බාහිර රූපාරම්මණයක් තියෙන්න ඕනේ.

3. මනසිකාරයක් තියෙන්නට ඕනේ. මෙනෙහි කිරීමක් තියෙන්නට ඕනේ. අවධානය දෙන මනසිකාරය තියෙන්නට ඕනේ. එනම් පඤ්චද්වරාජ්ජන සිතයි.

4. ආලෝකයක් තියෙන්නට ඕනේ. ආලෝකය තිබුණොත් නේ අපට රූපය පේන්නෙ. ආලෝකයක් නැත්නම් රූප පේන්නෙ නෑ. මෙකී කරුණු 04 සම්පූර්ණ වීමෙන් තමයි ඇස ඇසුරු කරගෙන චක්ඛු විඤ්ඤාණ සිත පහළ වෙන්නෙ.

ඒ වාගේ ම සෝත විඤ්ඤාණයත් එහෙමයි.

සෝතං ච පටිච්ච සද්දෙච උප්පජ්ජති සෝත විඤ්ඤාණං’

සෝත ප්‍රසාදයත් බාහිර ශබ්දයක් නිසා උපදිනවා, සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සෝත විඤ්ඤාණ සිත. ඊළඟට සෝත විඤ්ඤාණ සිත උපදින්නටත් කරුණු හතරක් සම්පූර්ණ වෙන්ට ඕනේ.

1. සෝත ප්‍රසාදයක් තිබිය යුතු ය. කන් බෙරය පැහැදිලිව තිබිය යුතු ය.

2. බාහිර ශබ්දයක් තියෙන්නට ඕනෙ.

3. ඊළඟට බාහිර ශබ්දය පැමිණීමට නම් ආකාස ධාතුවක් තියෙන්න ඕනේ.

4. ඊළඟට මනසිකාරය තියෙන්න ඕනේ. මෙනෙහි කිරීම . එතකොටයි සෝත විඤ්ඤාණය පහළ වෙන්නෙ.

ඒවාගේ ම තමයි ඝාන විඤ්ඤාණයත්.

ඝාණංච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝාණවිඤ්ඤාණං’

1. ඝාන ප්‍රසාදයක් තියෙන්නට ඕනෙ.

2. ගන්ධාරම්මණය තියෙන්නට ඕනේ.

3. ඊළඟට මේ වායෝ ධාතුව තියෙන්නට ඕන. විශේෂයෙන් ම කනට ආකාශය තියෙන්න ඕනේ. හිස් අවකාශය තියෙන කොට කන වහගෙන හිටියා කියලා අපට ශබ්දය ඇසෙන්නේ නැහැ. කන විවෘත කළහම තමයි ආකාශයේ හිස් බවක් තියෙන්නේ. එතකොට තමයි ශබ්දය එන්නේ. එතකොට නාසයට නම් ගඳ සුවඳ එන්නෙ, වාතයෙන් අරගෙන එන්නෙ. වාතය තිබුණොත්, මනසිකාරය තිබුණොත් ඝානප්‍රසාදය තිබුණොත් තමයි ඝාණ විඤ්ඤාණ සිත පහළ වන්නේ.