Print this Article


සදහම් අරණ නිර්මාණ තරගයේ ප්‍රතිපල

සදහම් අරණ නිර්මාණ තරගයේ ප්‍රතිපල

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, කාණ්ඩ තුනක් යටතේ ඔබ වෙනුවෙන් පුරා මාස දෙකක් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්විණි. බොහෝ දරුවන් අපට හරබර, නිර්මාණාත්මක නිර්මාණ එවා තිබුණි. එම කාණ්ඩ තුන යටතේ තෝරා ගත් පළමු ජයග්‍රාහක දරුවන්ගේ නම් සහ නිර්මාණ අද දින පළ කෙරේ. ඒ ජයග්‍රාහකයන්ට අදාළ ත්‍යාග ඉදිරියේ දී ලැබීමට සලස්වමු. දෙවැනි සහ තෙවැනි ජයග්‍රාහකයන්ගේ නිර්මාණ ඉදිරි අව අටවක සහ අමාවක බුදුසරණ කලාපයන්හි පළ කෙරේ. මෙතැන් සිට කැමැති මාතෘකාවක් යටතේ ‘සදහම් අරණට’ ඔබගේ නිර්මාණ එවිය හැකි ය.


5-8 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය

පන්සිල් රැකීමේ අනුසස්

“පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ලෙස අප දිනපතා සමාදන් වන්නේ පංචශීලය යි. අටසිල්, දසසිල් ලෙස තවත් උසස් සිල් තිබුණ ද, බෞද්ධයන් ලෙස දිනපතා සමාදන්වන ගිහියාගේ නිත්‍ය ශීලය වන්නේ පංචශීලය යි. පන්සිල් සුරකින සමාජයක නීති ගරුක බව, යුක්තිගරුක බව සහ සාධාරණ බව නො නැසී පවතී.

පළමු වන සිල් පදය වන පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය සලකා බැලීමේ දී එයින් ලැබෙන ආනිශංස බොහෝ වේ. එහි දී පස්පව්වල පළමු අංගය වන පර පණ නැසීම යන කරුණින් වැළකීම නිසා විශාල පවක් සිදු වීමෙන් වැළකීම වැදගත් වේ. අනෙක් සිල් පද සුරැකීමෙන් වුව ද එලෙස පස් පවින් වැළකීම සිදු වේ. එමෙන්ම මෙම ශික්ෂා පද සුරැකීමෙන් තමා පස් පවින් වැළැකුණු. පන්සිල් සුරකින සිල්වතෙකුයි’ යන හැඟීම නිසා තමන් පිළිබඳ ආත්මාභිමානයක් ඇති වේ.

එලෙස ම පළමු සික පදය සුරැකීමෙන් අන් අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු වන අතර. දෙවන සික පදය වන නො දුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශික්ෂාව නිසා තමන් සතු භාණ්ඩ, වස්තුව, දේපළ යනාදියට සමාජය තුළ ඇති ආරක්ෂාව තහවුරු වේ. තෙවැන්න වන කාම මිථ්‍යාචාරයෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය සුරැකීමෙන් සාරධර්ම සුරැකී සදාචාරවත් සමාජයක් බිහි වේ.

මුසාවාදයෙන් වැළකීම නම් වූ ශික්ෂාව පන්සිල් පද පහ තුළ ඇති වැදගත්ම ශික්ෂා පදය යි. එසේ වන්නේ බොරු කියන්නාට කළ නො හැකි පාපයක් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ධම්ම පද ගාථාවකින් හෙළි වන නිසයි. එසේ නම් අංග හතරකින් සම්පූර්ණ විය යුතු බව පවසන මුසාවාදයෙන් වැළකීමෙන් තමා සත්‍යවාදීයෙක් බව කා අතරත් ප්‍රකට වේ. සත්‍යවාදී සමාජයක් බිහි වේ. ගුණ යහපත්, පවින් වැළකුණු සමාජ සංස්ථාවක අඩිතාලම එය යි. පස්වන ශික්ෂා පදය ලෙස හැඳින්වෙන්නේ මදයට හා පමාවට හේතු වන රහමෙර භාවිතයෙන් වැළකීම යන්න යි. මෙමඟින් සමාජයට විශාල යහපතක් උදා වේ. පුද්ගලයන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව සුරැකීම, පවුල් සංස්ථාව ආරක්ෂා වීම, මුදල් ඉතිරිවීම හා සමාජ අපවාදයෙන් වෙන් වීම ඒ අතරින් කිහිපයකි. සමස්තයක් ලෙස මෙම සිල් පද පහ සුරැකීමෙන් පුද්ගලයන් වශයෙන් තමන්ට බොහෝ පින් රැස් කර ගත හැකි අතර, සියලු දෙනා එලෙස කටයුතු කිරීම නිසා සදාචාරවත් සමාජයක් බිහි වේ.


1-4 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය

රාහුල පොඩි හාමුදුරුවෝ

රාහුල කුමරු උපන්නේ ඇසළ පොහෝ දිනක ය. යශෝධරා දේවිය හා සිදුහත් කුමාරයා රාහුල කුමාරයාගේ මව්පියන් වූහ. සිදුහත් කුමරු උයන් කෙළියට පිටත් ව ගිය අවස්ථාවක පණිවුඩකරුවෙක් යශෝධරා දේවියට පුත් කුමරෙක් ඉපදී ඇති බව පැවසී ය. ඒ අසා සිදුහත් කුමරු ‘රාහුලෝ ජාතෝ ඛන්දනං ජාතෝ’ ‘රාහුලෙක් උපන්නේ ය. බැම්මක් බැඳුණේ ය.’ යයි ප්‍රකාශ කළේ ය. ඒ නිසා එම කුමරුට රාහුල ලෙස නම් තැබී ය. එදින ම සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය කළේ ය.

රාහුල කුමරු ඉපදී අවුරුදු හතකට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ පිරිවරා කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. සත්වෙනි දින සිවුරු පොරවා පාත්‍රා අතැතිව ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩින අයුරු සඳලුතලයේ සිටි යශෝධරා දේවිය දුටුවා ය. රාහුල පුත් කුමරා අමතා “පුතුනි, නුඹගේ පිය මහරජතුමාණෝ සවණක් රැස් විහිදුවමින් වීථියේ වඩින සේක. ගොස් දායාද ඉල්ලා ගන්නැයි” පැවසී ය.

පුංචි රාහුල කුමරු මහා මාලිගාවෙන් බැස බුදුරජාණන් වහන්සේ වෙත ගියේ ය. උන්වහන්සේගේ ශ්‍රී හස්තයෙහි එල්ලී සුරතල් වදනින් ‘පියාණෙනි, මා හට දායාද දුන මැනවයි’ ඉල්ලා සිටියේ ය. විහාරය තෙක් බුදුරජාණන් වහන්සේ පසු පස ගියේ ය. කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා සාරිපුත්‍රය, රාහුල පුත් පියා සන්තක ධනය ඉල්ලන්නේ ය. මා සන්තක ධනය දීම සඳහා උතුම් පැවිදි බිමට පත් කරන්න යැයි වදාළහ. සැරියුත් මහ රහතන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ත්‍රිවිධ සරණා ගමනයෙන් රාහුල කුමරුන් පැවිදි කළහ.

රාහුල කුමරු පැවිදි කළ බව දැන ගැනීමට ලැබීමෙන් සුද්ධෝදන රජතුමා දැඩි ශෝකයට පත් විය. දැඩි ශෝකය දරාගෙන ම බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් වරයක් ඉල්ලී ය. එනම් මින් පසු දරුවන් පැවිදි කිරීමේ දී මව්පියන්ගෙන් අවසර ගෙන පැවිදි කරන ලෙස ය. බුදුන් වහන්සේ එම වරය පිළිගෙන එය අනුමත කරමින් භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළ සේක.

අන්ධ වනයේ දී චූල රාහුලෝවාද සූත්‍රය දේශනාව අවසානයේ දී රාහුල හාමුදුරුවන් උතුම් වූ රහත් ඵලයට පැමිණියහ. බුදුන් වහන්සේ තනතුරු ලබාදීමේ දී රාහුල හාමුදුරුවන්ට ශික්ෂාකාමීන් අතර අග තනතුර පිරිනැමූ සේක.


9-13 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය

බුදු දහමයි පරිසරයයි

පරිසරය වූ කලී මනුෂ්‍ය වර්ගයා සතු උත්තම දායාදයකි. මානව වර්ගයාගේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වූ විවිධ ශක්තීන්ගෙන් පිරිපුන්, සැකැස්මෙන් ක්‍රියාකාරීත්වයෙන් විවිධ, විචිත්‍රවත් වූ එය සොබාදහමේ විශ්මිත නිමැවුමකි. මානව ජීවිතය හා සංස්කෘතියේ ජීවනාලිය බඳු පරිසරය අප විසින් අවශ්‍යයෙන් ම රැක ගත යුතු ය. බුදුරදුන් වූ කලී මේ සියල්ල පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි.

උන්වහන්සේ පරිසරය දෙස නිකෙලෙස් සිතින් බැලූ, එයට ඇලුම් කළ, එය රැක ගැනීමට මඟ පෙන්වූ ශ්‍රේෂ්ඨ උතුමෙකි. සැපතැක් වූ බුදු උපත සිදු වූයේ පියකරු මලින් සුසැදි තුරුලතාවෙන් සුසැදී ස්වභාවික පරිසරයෙහි ආශිර්වාදය මැද ය.

මෙලෙස, දීර්ඝ කාලයක් පුරා මානව චිත්තනය හරවත් කරමින් අතුපතර විහිදුවා වැඩුණු ඒ ශ්‍රේෂ්ඨත ම ධර්ම මාර්ගය ලොවට බිහිකළ පරම පූජනීය අසමසම මහෝත්තමයකු එදා උපන්නේ සොබාදහමෙහි අසිරිමත් බවින් ඔකඳ වූ ඒ පරම විචිත්‍ර වූ ලුම්බිණි සල් උයනෙහි ය. සල් රුක් සෙවණෙහි ය. සොඳුරු වටපිටාවක ය. සත්‍ය සොයා ගිය සිදුහත් බෝ සතුන් දුෂ්කර ක්‍රියාවෙන් හා ගුරුන් හමුවීමෙන් ද අනතුරුව මාර පරාජය කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද සොඳුරුතම වූ වටපිටාවක ය. “මහණෙනි, ඒ මම කුසලය කුමක්දැයි සොයන සුළු වූයෙමි, අනුත්තර වූ උතුම් නිවන් පදය ම සොයමින් පිළිවෙළින් සැරිසරන්නෙමි, උරුවේලාවෙහි සේනානි ග්‍රාමය කරා පැමිණියෙමි. එහි සිත්කළු භූමි භාගය රමණීය වන ලැහැබ ද, වැලිතලා සහිත මනා කොට ගලා බසින නදිය ද දිටිමි’

බුද්ධ චරිතයේ කළගුණ සැළකීම නම් ගුණය ද ඉස්මතු වෙයි. එයට උදාහරණය ලෙස බෝසතාණන් වහන්සේ බුදුවන මොහොතේ සෙවණ සැදූ බෝ හිමිට කළගුණ ලෙස සතියක් ඇසිපිය නොහෙළා බලා සිටීම පෙන්වා දිය හැක.

පන්සාළිස් වසක් මුළුල්ලේ සුන්දර නිසල පරිසරයතුළ ම වැඩ වසමින්, දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ද තුරුලතාවෙන් සුසැදි වට පිටාවෙහි ය.

පරිසරය මිනිසා ආරක්ෂා කරයි. පෝෂණය කරයි. වායු දූෂණයෙන්, ජල දූෂණයෙන්, ශබ්ද දූෂණයෙන් හා පාංශු දූෂණයෙන් ද තොර ස්වභාවිකත්වය සුරැකෙන පරිදි පරිසරය රැකිය යුතු ය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ අලව් නුවර වැසි භික්ෂූන් නව විහාර කර්මාන්තාදියට ඉඩ සලසා ගැනීමට ගස් වැල් කැපූ මොහොතේ මෙම ක්‍රියාවට දෙව්, මිනිසුන් ද දොස් නැගූහ. එය ඇසූ බුදුරදුන් භික්ෂූන්ට ගස්වැල් කැපීමෙන් වළකින ලෙස වදාරමින් ශික්ෂා පදයක් පැනවිණි. දෙව් මිනිසුන් අතර උත්තම වූ මහා ගුණැති අපරිමිත ප්‍රඥා ඇති උත්තරීතර මනුෂ්‍ය රත්නය වූ බුදුරදුන්ගේ අවවාදයට ගරු කරමින් පරිසරය හා මිත්‍රශීලීව, සුහද ව කටයුතු කළ යුතු යි. තුරුලිය රැක ගෙන අප ද පරිසරයට හානි නො කර එහි ස්වභාව රස වින්දනය කරමින් ආධ්‍යාත්මික සුවය ලබා ගනිමු.


නවම් පොහොයේ වැදගත් සිදුවීම්

අසිරිමත් නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුද්ධ චරිතයේ මෙන් ම ශාසන ඉතිහාසයේත් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් නිසා නවම් පොහොය බෞද්ධ වූ අපට අනුස්මරණීය වේ. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම, එහි දී සැරියුත් හා මුගලන් දෙනම හට බුද්ධ ශාසනයෙහි අගසව් තනතුර පිරිනැමීම අද වැනි නවම් පුන් පොහෝ දිනක සිදුවිය. බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත් හැරීමත් සිදු වූයේ නවම්පුර පසළොස්වක පොහොය දවසක දී ය. රජගහනුවර වේළුවනාරාමය කේන්ද්‍රකරගෙන තුන් බෑ ජටිල භික්ෂූන් වහන්සේ ඇතුළු එක් දහස් දෙසිය පනහකට අධික භික්ෂු සේනාවක් ප්‍රථමවරට මහ සංඝ සම්මේලනය සඳහා එක් වූහ.ඒ වගේම බුද්ධත්වයෙන් මුල් විසි වස තුළ එකදු විනය ශික්ෂා පදයක් හෝ පැනවූයේ නැත. විවිධ අදහස් ඇතිව පසු කාලයේ දී පැවිදි වූ හෙයින් භික්ෂූන් අතින් වැරැදි සිදුවීම නිසා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේගේ හික්මීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලදී. එය සිදු වූයේ නවම් පුන් පොහෝ දිනක ය.