Print this Article


රද්දොළුවේ අමරවංස අනු නාහිමි

රද්දොළුවේ අමරවංස අනු නාහිමි

රද්දොළුව ශ්‍රී සුබෝධාරාම මහා විහාරය සහ රද්දොළුව අභිනවාරාමය යන උභය විහාරාධිපතිව වැඩ විසූ අමරපුර පාර්ශ්වයේ සම්මාන අනුනායක රද්දොළුවේ අමරවංස නා හිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙනි.

රද්දොළුව සුබෝධාරාම මහා විහාරයේ ආදි කර්තෘන් වහන්සේ දොඩන්දූවේ පඤ්ඤානන්ද නා හිමියන් වහන්සේ ය. මෙයට වසර 126 කට පමණ පෙර ආරම්භ වූ එම මහ සඟ පරපුර උන්වහන්සේගේ ඇවෑමෙන් කොටුගොඩ ඤාණරතන නාහිමියන් විසින් හොබවන ලදී. උන්වහන්සේගේ ශිෂ්‍ය කොටුගොඩ ධම්මානන්ද නා හිමියන් මෑත යුගයේ වැඩ සිටි මහ තෙර නමකි.

රද්දොළුවේ විසූ කේ. විල්සන් රොවෙල් සහ කේ.පුංචිනෝනා දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1933 ජනවාරි 19 වනදා උපන් පින්වත් කුමරු රද්දොළුව පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටිය දී රද්දොළුවේ අමරවංස නමින් කොටුගොඩ ධම්මානන්ද නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පත් විය.

පැවිදි දිවියේ මූලික අධ්‍යාපනය කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනින් ලබාගත් අමරවංස හාමුදුරුවෝ සිය ගුරු දේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර රද්දොළුවේ අරියවංස නාහිමියන් සමඟ ඒකරාශිවී සිය ශාසනික මෙහෙවර ක්‍රියාත්මක කළහ. රද්දොළුවේ අරියවංස මාහිමියන් සමඟ එකතුවී 1954 රද්දොළුවේ අභිනවාරාමය ආරම්භ කිරීම අමරවංස නාහිමියන් වෙතින් ඉටුවූ උදාර ශාසනික මෙහෙවරකි. රද්දොළුවේ අරියවංස නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු ශ්‍රී සුබෝධාරාමය සහ අභිනවාරාමය යන විහාරද්වයේ ම අධිපති ධුරයට පත්වූ රද්දොළුවේ අමරවංස හාමුදුරුවෝ එම ආරාමයන්හි දියුණුව පිණිස උදාර මෙහෙවරක් සිදු කළහ.

ප්‍රදේශයේ ආගමික සාමාජික කටයුතුවලදී නායකත්වය ගෙන කටයුතු කළ අමරවංස නා හිමියෝ බෞද්ධ ජනතාව අතර ප්‍රසාදයටත් අන්‍ය ආගමික පූජකතුමන්ලාගේ ගෞරවාදරයටත් බඳුන් වූහ. අමරපුර පාර්ශ්වයේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභිකයන් වහන්සේ නමක් ලෙස දිගුකලක් පුරා කටයුතු කළ අතර ස්ව නිකායෙන් සම්මාන අනු නායක ධුරයක් ලැබීමට තරම් උන්වහන්සේ පින්වන්ත වූහ.

දිගුකලක් විදේශ ධර්මදූත සේවාවෙහි නිරතව සිටි සුබෝධාරාමාධිපති හා ශ්‍රී ධම්මානන්ද පිරිවෙන්හි කෘත්‍යාධිකාරි අමරපුර පාර්ශ්වයේ මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, අධිකරණ නායක ආදි පදවි දරා වත්මන්හි අනුනායක ධුරන්දර මහත් ශාසනික මෙහෙවරක නිරතව වැඩ සිටින රද්දොළුවේ විමලවංස අනු නා හිමියන් සහ ශාසනික හා විවිධ සාමාජික සේවාවන්හි නිරතව වැඩ සිටින රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති හා කටාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි අභිනවාරාමාධිපති පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමියන් ඇතුළු සිසු හිමිවරුන් සසුනට දායාද කිරීම අමිල ශාසනික මෙහෙවරකි.

රද්දොළුවේ අමරවංස අනු නාහිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් රද්දොළුව ශ්‍රී අමර විහාරයේදී (අභිනවාරාමය) මෙම 28 වනදා සවස 6 ට අටවිසි බුද්ධ පූජා පින්කමක් ද අනතුරුව නැදගමුවේ විජය මෛතී‍්‍ර නා හිමියන් විසින් පවත්වන දහම් දෙසුමක් ද 29 වනදා දවල් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ප්‍රධාන ශතාධික මහ සඟරුවන උදෙසා සපිරිකර සංඝ ගත දක්ෂිණාවක් පිරිනැමීමටද කටයුතු යොදා තිබිනි. අමරවංස අනු නාහිමියන් වෙත අමා මහ නිවන් සුව පතමු.