Print this Article


ඇයි මේ වෙනස

ඇයි මේ වෙනස

ඔබත්, මමත් ජීවත්වන මේ සමාජයේ කිසි විටකත් දෙදෙනෙක් එක හා සමාන නොවන බව විශ්වාසයේ පවතියි. දේහ ලකුණින් සමාන වුව ලැබීම්, නො ලැබීම්, ආදී භේද අතින් වෙනස් ය. මේ වෙනසට හේතුව කුමක් ද? සුභ මානවකගේ කතා වස්තුවෙන් එය පැහැදිලි කර ගනිමු.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින සමයේ සුභ නම් මානවකයෙක් විසී ය. ඔහු බුදුහිමියන් වෙත ගොස් සතුටු සාමීචි කතාබස් කළේ ය. අනතුරුව ‘ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, සත්ත්වයාගේ උසස් - පහත් භේදයට හේතුවන්නා වූ කරුණු මොනවා ද?” යි ඇසුවේ ය.

මෙලොව ආයු අඩු අයවෙති. වැඩි අය ද වෙති. බොහෝ ආබාධ, ලොඩ රෝග ඇත්තෝ ද වෙති, මහත් පිරිවර ඇති, නැති අය වෙති. දුප්පත් මෙන් ම මහත් වස්තු සම්පත් ඇත්තෝ වෙති, පහත් කුල, උසස් කුල ඇත්තෝ මෙන් ම ප්‍රඥාවන්තයෝ වෙති. අඥානයෝ ද වෙති. ඊට හේතු මොනවාදැයි ඇසුවේ ය.

මේ ආකාරයෙන් මෙලොව උපදින සත්ත්වයා යම් වූ ද උසස්- පහත් බවක් වේ නම්, එය කර්මයෙන් ම වන්නේ ය. කර්මය ම සත්ත්වයන් උසස් - පහත් බවට බෙදාලන්නේ යැයි වදාරමින්, තථාගත බුදුරදුන් කර්මය අනුව සත්ත්වයා දහහතර ආකාරයකට වන බව පෙන්වා වදාළ සේක.

මෙලොව යම් වූ ද ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසියම් වූ අනුකම්පාවක්, දයා සිතක් නැතිව ප්‍රාණඝාතය කරයි නම්, ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු අපායෙහි උපදියි.

යම් වූ ද කර්ම ශක්තියකින් හෝ මනුෂ්‍යාත්මභාවයක් ලබයි ද ඔහු හෝ ඇය අල්පායුෂ ඇත්තෙක් වන්නේ ය.

එලෙස ම යමෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේ වේ ද, සියලු සත්ත්වයන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද, එහි කුසල බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. මනුෂ්‍යාත්ම භාවයක් ලබයි ද, දීර්ඝායුෂ ඇත්තේ ය.

අතින්, පයින් හෝ දඬු මුගුරුවලින් මෙන් ම ආයුධවලින් යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්වයන්ට හිංසා කරයි ද? එම අකුසල කර්මයේ බලයෙන් අපායෙහි ඉපිද දුක්විඳියි.

මනුෂ්‍යාත්ම භාවයක් ලැබ යම් තැනක උප්පත්තිය ලැබුව ද බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේ ය.

එලෙස ම යමෙක් අතින් පයින් හෝ දඬුමුගුරුවලින් හෝ ආයුධවලින් හෝ සත්ත්වයාට හිංසා නො කරයි ද, ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. ඔහු හෝ ඇය මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ ද, නීරෝගී සම්පත් ඇතිව උපදියි.

මෙලොව යමෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, සිත් තැවුලෙන් පෙළෙන්නේ ද, සුළු වරදක් පෙන්වා දුන් විටක කිපී, තරහ උපදවා ගන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරයි ද, ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේ ය. මනුෂ්‍යාත්මභාවයක් ලැබුව ද විරූපී සහ දුර්වර්ණ වූවෙක් වන්නේ ය.

යමෙක් ක්‍රෝධ නො කරන්නේ ද? සිත් තැවුලෙන් යුක්ත නො වේද? තමාගේ වැරැද්දක් පෙන්වාදුන් කල්හි නො කිපෙයි ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ නො කරයි ද, එම කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබයි.

මනුෂ්‍යාත්මභාවයක් ලැබ නැවත උප්පත්තියක් ලැබූව ද හේ පියකරු සහ රූපසම්පන්න වන්නේ ය.

එලෙස ම යමෙක් ඊර්ෂ්‍යා කරන්නෙක් වේ ද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැඳීම් පිදීම් ආදියට ඊර්ෂ්‍යා කරයි ද, ඒ අකුසල කර්මයේ ඵලයෙන් අපායෙහි උප්පත්තිය ලබයි.

මනුෂ්‍යාත්මභාවයක් ලබත් ද ඔහු හෝ ඇය අල්පේශාක්‍ය සහපිරිවර නැත්තෙක් වන්නේ ය.

යම් වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නො කරන්නේ ද, එසේම අන්‍යයන්ට ලැබෙන ලාභ-සත්කාර, ගරු-සත්කාර, වැඳීම්-පිදීම් ආදියෙහි ඊර්ෂ්‍යා නො කරයි නම් ඒ කුසලයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. මනුෂ්‍යාත්ම භාවයක් ලබත් ද මහේශාක්‍ය සහ පිරිවර ඇත්තෙක් වන්නේ ය.

ශ්‍රමණ, බ්‍රාහ්මණ ආදීන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ නො කරයි ද? මරණින් මතු දුගතියෙහි උපදියි. මනුෂ්‍යාත්මභාවයක් ලැබූව ද ඉතා දිළිඳු සහ අල්පභෝග ඇත්තෙක් වන්නේ ය.

ශ්‍රමණ, බ්‍රාහ්මණාදීන්ට දස දාන වස්තුවෙන් දන් දෙන්නේ ද, ඒ කුසල බලයෙන් මරණින් මතු දෙව්ලොව උප්පත්තියක් ලබයි.

මනුෂ්‍යාත්මභාවයක් ලැබ උප්පත්තියක් ලබයි ද මහා භෝග සම්පත් ඇත්තේ ද, ධනයෙන් යුක්ත වන්නේ ය.

යම් වූ ද සත්ත්වයෙක් දර දඬු සිත් ඇත්තේ වේ ද, අතිමානයෙන් යුතු වේ ද, වැඳිය යුතු මව්පිය, ගුරුවරු ආදීන්ට නො වඳී ද, වැඩිහිටියන් දුටුවිට හුනස්නෙන් නො නැගිටී ද, ආසනයක් දිය යුත්තාට ආසනය නො දේ ද, සත්කාර කළ යුත්තාට, ගරු කළ යුත්තාට සැළකිය යුත්තාට පිඳිය යුත්තා නො පුදයි ද ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපත ලබයි.

මනුෂ්‍යාත්මභාවයකට පැමිණියේ වූව ද නීච කුල ඇත්තෙකු ලෙස පහත් වූ කුලයක උපත ලබයි.

යම් සත්ත්වයෙක් දරදඬු සිත් නැත්තේ වේ ද, මානයෙන් යුතු නො වේ ද, වැඳිය යුත්තා පිදිය යුත්තා පුදයි ද, ගුරුන් දුටු කල හුනස්නෙන් නැඟී සිටී ද, ආසනය දිය යුත්තාට දෙයි ද සත්කාර කළ යුත්තාට සත්කාර කරයි ද, සැලකිය යුත්තාට සලකයි ද හේ ඒ කුසල බලයෙන් දෙව්ලොව උප්පත්තිය ලබයි.

මනුෂ්‍යාත්මභාවයක් ලබයි ද හේ උසස් කුලයක උපදින්නේ ය.

යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සමීපයට පැමිණ කුසලය අකුසලය කුමක් ද? නිවැරැද්ද මොනවා ද? ඇසුරු කළ යුතු, නොකළ යුතු කවුරුන් ද, මාහට බොහෝ කලක් හිත සුව පිණිස කළ යුතු දෑ මොනවා ද? යනුවෙන් නො විමසන්නේ ද? ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු දුගතියෙහි උපදියි. එම සත්ත්වයා මනුෂ්‍යාත්ම භාවයක් ලබා යම් තැනක උප්පතිය ලබයි ද අඥාන වන්නේ ය.

යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඇසුරට පැමිණ කුසල්, අකුසල් මොනවා ද? ඇසුරු කළ යුතු නො කළ යුතු අය කවුරුන් ද? වැරැදි නිවැරැදි මොනවා ද? තමා හට බොහෝ කලක් හිතසුව පිණිස කළ යුතු දෑ මොනවා ද? යනුවෙන් විමසන්නේ වේ ද? හෙතෙම එම කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපදියි. මනුෂ්‍යාත්මභාවයකට පැමිණේ ද ප්‍රඥාවන්තයෙක් වන්නේ ය.

මේ ආකාර වූ උතුම් ධර්ම කරුණු තේරුම්ගෙන තම තමන් ගේ ජීවිතයට එකතු කර ගනිමින්, ජීවිතය සාර්ථක කර ගැනීමට අධිෂ්ඨානයක් ඇති කර ගනිමු.