Print this Article


බුදුපිළිමයේ උපත - 90: මකුටබන්ධන පුදබිම

බුදුපිළිමයේ උපත - 90:

මකුටබන්ධන පුදබිම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

"එ සමයෙහි ප්‍රධාන මල්ලයෝ සතර දෙනෙක් හිස් සෝදා නා අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන් වහන්සේගේ සෑය ගිනි අවුලමු’ යැයි උත්සාහ ගත්ත ද එසේ කිරීමට අපොහොසත් වූහ.එයට හේතු කාරණා මොනවාදැයි මල්ලයෝ අනුරුද්ධ ස්ථවිරයන්ගෙන් විමසූහ. "

සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව තුන්ලෝවාසීහු අපමණ දුකට පත් වූහ. මෙසේ පිරිනිවන් පෑමෙන් පසුව සිදුවූ සියලුම සිදුවීම් මහා පරිනිබ්බාන සූත්‍රයෙහි ඇති අන්දමින් මෙසේ දැක්වේ.

මහා කාශ්‍යප මා හිමියන්ගේ වැඩමවීම

එ සමයෙහි මහාකස්සප ස්ථවිරයෝ පන්සීයයක් පමණ වූ භික්ෂූහු විශාල පිරිසක් සමඟ පාවා නුවරින් කුසිනාරාව බලා දිගු මගකට පිළිපන්නෝ ය. උන්වහන්සේ මහමගින් ඉවත්ව එක් ගසක් මුල වැඩ හිඳ ගත්තෝ ය. එවේලෙහි ම එක්තරා ආජීවකයෙක් කුසිනාරාවෙන් මන්දාරව මලක් ද ගෙන පාවානුවර බලා දිගු මහමගට පිළිපන්නේ විය. එසේ එන්නා වු ආජීවකයා දුරදී ම දුටු මහාකස්සප ස්ථවිරයෝ මෙසේ කීහ.

“ඇවැත්නි, ඔබ අපේ ශාස්තෘන් වහන්සේ දන්නෙහි ද? “ඔව් ඇවැත්නි දනිමි. ශ්‍රමණ ගෞතමයාණන් පිරිනිවන් පා අදට සත් දවසකි. මේ මන්දාරව මල ගත්තේ එහෙන්” යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.

එවිට එතැන සිටි රාගාදියෙන් තොර නොවු සමහර භික්ෂූහු, ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් සුගතයන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඉතා ඉක්මනින් ලොව ඇස අතුරුදන් විය. යැයි කියමින් අත්විසි කරමින් විළාප නගන්නට වූහ. සමහරු බිම වැටී පෙරළි පෙරළී විළාප නගන්නට වූහ. සතිසම්පජඤ්ඤයෙන් යුතු රාගාදියෙන් තොර භික්ෂූහු සියලු සංස්කාරයෝ අනිත්‍ය ය. නිත්‍ය බවක් කොයින් ලැබිය හැකිදැයි ඉවසා සිටිය හ.

සුභද්‍රගේ වචන නිසා වූ කලබලය

එම භික්ෂු පිරිස අතර සිටි “සුභද්‍ර” නම් වයස්ගතව පැවිදි වූවෙක් විය. හෙතෙමේ භික්ෂූන්ට මෙසේ කීහ. “ඇති ඇවැත්නි, දුක් වෙන්න එපා, වැළපෙන්න එපා. ඒ මහා ශ්‍රමණයාණන්ගෙන් දැන් අපි සම්පූර්ණයෙන් නිදහස් වූයෙමු. “මෙය නුඹලාට කැප ය. මෙය නුඹලාට අකැප ය. යැයි කීමෙන් අපි නිතර පෙළුණෙමු. දැන් අපට යමක් රිසිවන්නේ ද එය අපි කරන්නෙමු. යමක් රිසි නොවන්නේ ද එය අපි නොකරන්නෙමු.

මහාකාශ්‍යප හිමියෝ භික්ෂූහු ඇමතීම

එවිට මහා කස්සප ස්ථවිරයෝ භික්ෂූන් ඇමතූහ. “ඇති ඇවැත්නි! දුක්වෙන්න එපා. වැළපෙන්න එපා. සියලුම පි‍්‍රයමනාප දෙයින් ඉවත්වීම, වෙනස්වීම ,වෙන්වීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් මුලින් ම කියා තිබෙනවා නේද? උපන්, ඇතිවුණු බිඳෙන සුළු යමක් වේ ද, එය නොබිඳේ’වා යැයි පැතුව ද එවැන්නක් සිදුවිය හැකි ද?

එ සමයෙහි ප්‍රධාන මල්ලයෝ සතර දෙනෙක් හිස් සෝදා නා අලුත් වස්ත්‍ර හැඳ අපි භාග්‍යවතුන් වහන්සේ ගේ සෑය ගිනි අවුලමු’ යැයි උත්සාහ ගත්ත ද එසේ කිරීමට අපොහොසත් වූහ. එයට හේතු කාරණා මොනවාදැයි මල්ලයෝ අනුරුද්ධ ස්ථවිරයන්ගෙන් විමසූහ.

වාසෙට්ඨයිනි! දේවතාවන්ගේ අභිප්‍රාය වෙනස් ය.

හිමියනි, දේවතාවන්ගේ අභිප්‍රාය කුමක්ද? වාසෙට්ඨයිනි , මහා කස්සප ස්ථවිරයෝ පන්සියයක් පමණ වූ විශාල භික්ෂු පිරිසක් සමඟ පාවා නුවර සිට කුසිනාරාව බලා ඒමට දිගු මහමගට පිළිපන්නෝ ය. එම ස්ථවිරයෝ පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සිරසින් නමදින තුරු සෑය නොදැල්වේවා යන්න දේවතාවන්ගේ අභිප්‍රාය ය.

හිමියනි, දේවතාවන්ගේ අභිප්‍රාය යම් සේ ද? එසේම වේවා!

ඉනික්බිති මහා කස්සප ස්ථවිරයෝ කුසිනාරාවේ මල්ලයන්ගේ “මකුටබන්ධන” නම් චෛත්‍ය ස්ථානයෙහි වූ භාග්‍යවතුන් වහන්ස්ගේ සෑය වෙත පැමිණියෝ ය. එසේ පැමිණි මහාකස්සප ස්ථවිරයෝ සිවුර ඒකාංශකොට දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කොට තෙවරක් සෑය පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සිරස නමා වැන්දෝ ය. ඒ පන්සියයක් වූ භික්ෂූ පිරිස ද චීවර ඒකාංශ කොට දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කොට තෙවරක් සෑය පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සිරස නමා වැන්දෝ ය. මහා කස්සප ස්ථවිරයන් විසින් හා පන්සියයක් වූ භික්ෂු පිරිස විසින් වඳිනු ලැබූ කල්හි ම භාග්‍යවතුන් වහන්සේගේ සෑය ඉබේම ගිනි ඇවිලී ගියේ ය.

දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ උඩසම, සම, මස්, නහර, ඇටමිදුලු කිසිවක් අළු හෝ දැලි දක්නට නොවී ය. ශාරිරික ධාතුන් වහන්සේ ඉතිරි විය.

යම් සේ දැවෙන්නාවූ ගිතෙල්වල හෝ තෙල්වල අළු දැලි දක්නට නොවේ ද එලෙසම දැවෙන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ උඩුසම සම මස නහර ඇටමිදුළු කිසිවක අළු හෝ දැලි දක්නට නොවී ය. පන්සියයක් සළු යුගලයන් අතුරෙන් සළු දෙකක් පමණක් නොදැවී ඉතිරිවිණි. ඒ වනාහි සියල්ලට ම යටින් ම වු සළුව හා සෙසු සියල්ලට ම පිටින්ම වු සළුව යන සළු දෙකය. භාග්‍යවතුන් වහන්ස්ගේ ශ්‍රී දේහය දැවී අවසන් වූ පසු අහසින් දිය දහරා පැන නැගී සෑය නිවා දැමීය. සල්ගස් වලින් දිය පැන නැගී සෑය නිවා දැමී ය. කුසිනාරාවේ මල්ලයෝ ද සියලු සුවඳ දියෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සෑය නිවා දැම්මෝ ය.

( මහා පරිනිබ්බාන සුත්ත – සිංහල පරිවර්තනය – සනත් නානායක්කාර පි. 103-105) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (1999)

කුසිනාරාවේ මකුටබන්ධන පුදබිම

බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑමෙන් පසුව ශ්‍රී දේහයට මල්ල රජදරුවන්ගේ පුදපූජා පැවැත්වුණි. ඒ සඳහා පුද පුජා පැවැත්වීමට මහා සංඝයා වහන්සේලා සහ රාජ රාජ මහාමාත්‍යාදීන්ට ද අවස්ථාව සලසා දෙන ලදී. ඒ සඳහා දින හතක් ම ගතවිය. හත්වන දිනයේ දී මහ පෙරහරකින් භාග්‍යවතුන් වහන්සේගේ ශී‍්‍ර දේහය ආදාහනය සඳහා මකුටබන්ධන නම් ස්ථානයට වැඩමවන ලදී. මහා කාශ්‍යප හා ආනන්ද යන තෙරුන්වහන්සේලාගේ උපදෙස් පරිදි ගෞරව සහිතව පැවැත්වුණි.මේ අතරේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බව ජම්බුද්වීපයේ සිව් දිසාවෙහි ම පැතිර ගියේ ය. මේ අවස්ථාවේ දී බුද්ධ ශ්‍රී ශරීරය ආදාහනය කළ පසුව ඉතිරි වූ සර්වඥ ධාතුන් වහන්සේලා තම තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් රජවරු ද රාජ කුමාරවරු ද පැමිණියහ. (දඹදිව සිව්මහ පුදබිම්)


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 89: සම්බුද්ධ පරිනිර්වාණය