UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නන්ද මහරහතන් වහන්සේ

නන්ද මහරහතන් වහන්සේ

" ආර්ය සිතක ස්වභාවය පුහුදුන් මනසට දැනගත නො හැකි ය. එය දැනගත හැක්කේ ආර්යභාවයට පත් වූ උතුමන් වහන්සේ නමකට පමණි."

මනාව හික්මවන ලද ඉඳුරන්ගෙන් අග්‍ර වූයේ නන්ද මහරහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු තමන්වහන්සේ උපන් කිඹුල්වත් පුරයට වැඩම කළේ මැදින් පුර පසළොස්වක දිනයේ දී ය. ඒ තමන් වහන්සේ උපන් ග්‍රාමයේ ශාක්‍ය වංශිකයන්ට උදාර මෙහෙවරක් ඉෂ්ට කිරීමේ අධිෂ්ඨානය පෙරදැරිව ය. මග දෙපස වෘක්ෂයන්ගේ ළා දලු පත් මෙන් ම, සුපිෂ්පිත පුෂ්පයෝ ද රක්ත වර්ණයෙන් බැබළෙමින් ස්වභාව දහම ද බුදුන් වහන්සේගේ වැඩමවීම පිළිගැනීමට සැරසුණහ.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වූ තෙවන දිනයේ දී නන්ද කුමරුගේ ගෘහ ප්‍රවේශය, මෞලි මංගල්‍යය සහ සරණ බන්ධනයෙන් නියම කොට තිබුණි. මුළු මහත් මාලිගය ම උත්සවශ්‍රීයෙන් ඔද තෙද වැටිණි. මේ සුවිශේෂී අවස්ථාවේ දී බුදුන්වහන්සේ නන්ද කුමරුගේ මාලිගයෙන් ප්‍රණීත වූ දානය වළඳා නන්ද කුමරුන් සමඟ විහාරයට වැඩම කළහ. බුදුන් වහන්සේ පිළිබඳ වූ අසීමිත බුද්ධ ගෞරවයත්, ශාක්‍ය වංශික ඥාතිත්වයත් නිසා නන්ද කුමරු සම්බුදු සසුනේ ප්‍රවෘජ්‍යා භූමියට පත්විය.

එහෙත් ආලයේ ආශාව නන්ද කුමරුගේ හදවත පසාරු කොටගෙන තිබිණි. ස්වකීය ප්‍රේමවන්තියගේ ගත වත සිහිපත් වූ නන්ද තෙරණුවෝ සසුනේ වැඩ සිටියේ දෙගිඩියාවෙනි. නන්ද කුමරුගේ උකටලීභාවයත්, උතුම් අරහත්භාවයට පත්වීමට තිබූ පෙර සසර පූරණ ලද පින් බලයත් නිසා බුදුපියාණෝ නන්ද තෙරණුන් සමඟ සුන්දර වූ හිමාලය වෙත වැඩම කළහ. ඒ යන අතරමඟ දී නවදැලි හේනක පිළිස්සී වියළී ගිය වැඳිරියකගේ කුණු කයක් නන්ද තෙරුන්ගේ නෙත ගැටීමට සැලැස් වූ බුදුන් වහන්සේ හිමාලයට පිවිස එහි පිහිටි අසිරිමත් අනෝතත්ත විලත් සුවිසල් සිව්මහා විල් ද පඤ්ච මහා ගංගාවන් ද දැකීමට සැලැස් වූහ. පසුව බුදුරදුන් දෙව් ලොවට පිවිසෙද්දී දෙවඟනන් පිරිවරාගත් සක් දෙවිඳු විරාජමානව පඬුපුල් ආසනයේ වැඩ සිටියහ.

එහි දී බුදුරජාණන් වහන්සේ, නන්ද ඔබට වඩා ලස්සන වන්නේ පඤ්ච කල්‍යාණයෙන් අනූන වූ ජනපද කල්‍යාණිය ද නැතහොත් දිව්‍ය ශ්‍රීයෙන් බබළන දෙව්ලොව දෙවඟනන් ද' යි විමසූහ. ජනපද කල්‍යාණිය එන මග හමු වූ නවදැලි හේනක පිළිස්සී වියළී ගිය වැඳිරිය හා සමාන ය. තමා දෙව්ලොව දෙවඟනන් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බව පැවසී ය.

පුහුදුන් මනසක ස්වභාවය කැමැති අරමුණුවල ඇලීම හා අකැමැති අරමුණුවල ගැටීම ය. නන්ද තෙරණුවන්ගේ පුහුදුන් සිත දෙලොවක අතරමං විය. හොඳින් මහණ දම් පුරන්නේ නම් දෙවඟනක් ලබා දීමට මම ඔබට ඇප වෙමි’ යි බුදුන් වහන්සේ නන්ද තෙරණුවන්ට පොරොන්දු වූහ. මෙහි දී නන්ද තෙරණුවෝ කාන්තාවක් පතා මහණදම් පුරතියි භික්ෂූන් අතර ප්‍රචලිත වූහ. මෙයින් ලජ්ජාවට පත් නන්ද තෙරණුවෝ කාන්තාවන් කෙරෙහි ඇතිවන සිතිවිලි යටපත් කොට වීර්යය වඩා විදසුන් මගෙහි පිහිටා සව් කෙලෙසුන් නසා උතුම් මහරතන් වහන්සේ නමක් බවට පත් වූහ.

නන්ද තෙරුන් වහන්සේ රහත් වූ බව නො දත් අනෙකුත් භික්ෂූහු ඔබවහන්සේ දෙවඟනක් ලබා ගන්නේ කවදාදැයි විමසූහ. එහි දී තමාට දෙවඟනක් අවශ්‍ය නැතැයි නන්ද තෙරණුවෝ වදාළහ. එය නො පිළිගත් සද්ධි විහාරික භික්ෂූහු මෙම තෙරුන් මුසාබස් පවසන බව බුදුරදුන්හට දැන්වූහ. එහෙත් එය මුසාවක් නො වන බවත් නන්ද තෙරුන් සියලු විදසුන් වඩා රහත් වූවා යැයි බුදු හිමියෝ වදාළහ.

ආර්ය සිතක ස්වභාවය පුහුදුන් මනසට දැනගත නො හැකි ය. එය දැනගත හැක්කේ ආර්යභාවයට පත් වූ උතුමන් වහන්සේ නමකට පමණි.

 

 දුරුතු අමාවක පෝය 


 දුරුතු අමාවක පෝය ජනවාරි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 5.13 ට ලබයි. 17 බදාදා පූර්ව භාග 07.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජනවාරි 24 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 16

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]