Print this Article


සිහළවත්ථු කතා: රහතන් වහන්සේගේ වන්දනාව

සිහළවත්ථු කතා:

රහතන් වහන්සේගේ වන්දනාව

සංඝයා වහන්සේ සතු වූ ඒ ශාලාවේ තිබු මනාව බබළන වටකුරුව තිබූ නැලියක් දුටුවෙමි. සොරකමට බියක් නැති, පවිටු සිතක් තිබූ මම, ඒ ලෝහ කැටයම් සහිත භාජනය දුටු සැනෙන් සොරාගත යුතු යැයි තීරණය කළෙමි.

ඈත අතීතයේ අප රටේ සුරට්ඨ නම් ජනපදයක් තිබුණි. එහි උපසිංහ නමින් විහාරයක් තිබූ අතර,එහි වැඩසිටි එක් රහතන් වහන්සේ නමක්, සංඝරත්නය සිවුරු පඬු පොවන ලෝහ භාජනයකට දිනපතා වැඳුම් පිදුම් කළහ.

කලකට පසු උන්වහන්සේ පිරිනිවීමට කාලය ළංවුණි. විහාරස්ථානයේ වැඩ සිටි සෙසු භික්ෂූන් වහන්සේ රැස් කරවා උන්වහන්සේ නිවන් මඟ සම්පූර්ණ කරගත් බව ප්‍රකාශ කළහ. ඉන්පසු උන්වහන්සේ සංඝයා වහන්සේ දෙස බලා “ආයුෂ්මතුනි, ධර්ම රත්නය හෝ මාර්ග ප්‍රතිපදාවෙහි හෝ යමෙකුට සැකයක් තිබේනම් මාගේ පිරිනිවීමට පෙර එය විමසා තේරුම් කර ගත හැකි” යැයි වදාළ සේක.

එවිට එක් භික්ෂූන් වහන්සේ නමක් නැගිට “ස්වාමිනි, මාර්ගය හෝ ප්‍රතිපදාවෙහි හෝ අපට සැකයක් නො මැත. නමුත් ස්වාමිනි එක් සැකයක් ඇත. ඔබවහන්සේ මේ විහාරස්ථානයේ වැඩ සිටි කාලය පුරාම දිනපතා ම සංඝයා වහන්සේගේ සිවුරු පඬු පොවන ලෝහ භාජනයට පුද පූජා කොට වන්දනා කරනු අපි දැක ඇත්තෙමු. එයට හේතුව කුමක්දැයි විමසීමට අවැසියි’ කී ය.

සියලු කෙලෙසුන්ගෙන් මිදුණ ඒ රහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආයුෂ්මතුනි, මම පැවිදිවීමට පෙර ශ්‍රද්ධාවක් නො මැති, පවට බයක් නො මැති, ධර්මයේ නො හික්මුණ කෙනෙක් වූයෙමි. දිනක් පර්වතයක් මුදුනේ පිහිටා තිබුණු උපසිංහ නම් මේ විහාරය දැක පර්වතය තරණය කරමින් පැමිණියෙමි. විහාරයේ දන් වළදන ශාලාව වෙත ගියෙමි. සංඝයා වහන්සේ සතු වූ ඒ ශාලාවේ තිබු මනාව බබළන වටකුරුව තිබූ නැලියක් දුටුවෙමි. සොරකමට බියක් නැති, පවිටු සිතක් තිබූ මම, ඒ ලෝහ කැටයම් සහිත භාජනය දුටු සැනෙන් සොරාගත යුතු යැයි තීරණය කළෙමි. නමුත් සොරකම් කොට එය ගෙන යාමට අපහසු බව තේරුණි. එනිසා පැවිදි වී එය ගෙන යන්නෙමියි සිතා සොර සිත පෙරටු කොට ගෙන පැවිදි ස්වරූපයක් ගත්තෙමි. එසේ වුවත් ඒ ලෝහ භාජනය ගෙන යාමට නොහැකි විය.

ආයුෂ්මතුනි, මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ ගෞරවයක් ඇතිව නොවේ එම උපසිංහ විහාරයට පැමිණියේ. එහි වැඩ වාසය කළේ. නමුත් ලෝහ භාජනය නිසා ලෝභ සිතින් එහි රැඳුනෙමි. භාජනය ගෙන යාම සඳහා නිතරම උපක්‍රම කල්පනා කළෙමි. පැවිදි වුවත් මම සොරෙකි. මා හට දහම හැදෑරීමට හෝ නිවන අවබෝධ කර ගැනීමට කිසිදු ආශාවක් නො වීය. මෙසේ සැඟව නිකරුණේ කාලය ගත කරනු දුටු මාගේ ආචාර්යයන් වහන්සේ මහත් වූ කරුණාවෙන් මා උන්වහන්සේගේ කුටිය වෙත කැඳවාගෙන ගියහ. උන්වහන්සේ ක්‍රමයෙන් මා සිත ධර්මයේ පිහිටු වූ සේක. ධර්මයෙන් බොහෝ සේ අවවාද කොට මා රහත් ඵලයට පමුණුවාලූ සේක.

ආයුෂ්මතුනි, මුල දී මාහට බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි කිසිදු ශ්‍රද්ධාවක් නො වීය. ශීලය කෙරෙහි ධ්‍යාන උපදවා ගැනීම කෙරෙහි සිවුරු හෝ පිණ්ඩපාත කෙරෙහි කිසිදු කැමැත්තක් නො වීය. මාගේ පැවිද්ද ලෝහ භාජනය නිසා සිදුවූවකි. ඒ භාජනයට දැඩි සේ ගිජුව සිටියෙමි. නමුත් මා දැන් සසර තරණය කළ අයෙකි. තෘෂ්ණාව සිඳ බිඳ දැමූ අයෙකි. සසරින් එතෙර වීමට මාහට හැකිවූයේ මේ ලෝහ භාජනය නිසා ය.

ආයුෂ්මතුනි, මේ ලෝහ භාජනයට තිබූ දැඩි ඇල්ම මට සංසාරයෙන් නිදහස් කරන මාවත විය. ඒ නිසා මම මේ ලෝහ භාජනයට පුද සත්කාර කළෙමි. කෘතගුණ දැක්වූයෙමි යැයි වදාළ සේක.

එසේ උන්වහන්සේ සියලු භික්ෂූන් වහන්සේ සිතෙහි තිබූ සැක දුරු කරවා ධර්ම පී‍්‍රතිය ඇති කරවා ධර්මයේ ගුණ සජ්ඣායනා කොට පිරිනිවී වැඩිසේක.