Print this Article


 විවේකී මනසගෙනෙයි සතුට

විවේකී මනසගෙනෙයි සතුට

තමන්ගේ අඩුපාඩුවලට, වැරැදිවලට අන් අයට චෝදනා කිරීම සමහර අයගේ සිරිත ය. එහෙත් විවේකී මනසින් සිතා බැලුවේ නම්, ඒ සියල්ලට වැරැදි තමන් ම මිස අනුන් නොවන බව වටහා ගැනීම අසීරු නැත.

කෙනෙකුගේ ජීවිතයේ වගකීම් දැරීමට අනෙකෙකුට නො හැකිය. වගකිව යුතු තමන්ම ය. එය හුරු පුරුදු කළ යුත්තකි. අන් අයට දොස් නොනඟා තමන්ගේ අඩුපාඩු, දුර්වලතා පිළිගන්නට සූදානම් විය යුතු ය.

එතරම අන් අයට චෝදනා කරන්නේ නො හික්මුණු පුද්ගලයා ය. හික්මුණු, නුවණැති පුද්ගලයා ගේ ලක්ෂණය අනුන්ට දොස් නොකියා වරදට හේතුව සොයා බැලීම ය. වරද තේරුම් ගෙන එය නිවැරැදි කළ හැකි නම් ලෝකයේ ප්‍රශ්න හා ගැටුම්වලට ඉඩක් නැත. එහෙත් අපක්ෂපාතීව සිතා මතා කටයුතු කරන අය අඩු ය. මිනිසා සිය වරද සඟවා ගන්නේ ද, යටපත් කරන්නේ ද සිතෙහි වන වංචනික ගතිය නිසා ය. ධම්ම පදයේ බාල වග්ගයේ දී

“ යොබාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො,
බාලො ව පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්චතී”

නුවණ නැති කෙනෙක් තමන්ගේ නුනුවණකම් දන්නේ නම්, එහෙයින් හෙතෙම පණ්ඩිතයෙක් වන බවත්, යම් අයෙක් මට වඩා පණ්ඩිතයෙක් කවුදැයි සිතමින් පණ්ඩිත ගති පෙන්වනවා නම් ඔහු ඒකාන්තයෙන් ම අඥානයෙක් වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

යම් කෙනෙක් ජීවිතයේ දුකට, නොසතුටට මුහුණ දෙනවා නම් එහි වගකිව යුතු අන් කිසිවෙක් නොවේ. තමන් ම ය. නිවැරැදිව සිත පාලනය කරගත නොහැකි වුවහොත් දුක වැඩිවනු ඇත. එය ලෝකයාගේ වරදක් නොවේ. නිවැරැදි වන්නට නම් පළමුව එය තමන්ගේ ම වරදක්, අඩුපාඩුවක් බව වටහා ගන්න. තමන්ගේ දුකට හේතුව මිය ගිය ඥාතියෙකුගේ බලපෑමක් හෝ පවුලේ අයගේ ශාපයක් ද නොවේ. එය යක්ෂයකුගේ හෝ දෙවියකුගේ බලපෑමක් ද නොවේ.

තමන් ම නිර්මාණය කරගත් දෙයකි. දුක් ගොඩක සිරවීමත්, එයින් නිදහස් වීමත් තමන් සතු ය. කෙනෙක් පවුකාරයෙක් කිරීමට හෝ පින්වන්තයෙක්, කිරීමට අන් අයට නො හැකි ය. ලෝකය දෙස මෛත්‍රී සහගත සිතින්, ආකල්පයන්ගෙන් බලන්න. වෛරී සහගත සිතින් හා ආකල්පයන්ගෙන් ලෝකය දෙස බලන්නේ නම් ඔබ වෙත ලෝකය හෙළන්නේ ද වෛරී බැල්මකි. අනුන් වෙත හෙළන වෛරී සිතිවිලි, හැඟීම් නිසා පීඩාවට පත්වන්නේ අනුන් නොව තමන් ම ය. තරහක් ඇති විට සත්‍ය නො පෙනේ. තරහක්, වෛරයක් නැති විට අපක්ෂපාතීව ලෝකය දෙස බලන්නට හැකි වේ. එවිට සත්‍ය පෙනේ.

අන් අයට කරදර නො කරන තරමට තමන් ද බොහෝ දුරට කරදරවලින් මිදෙනු ඇත. ධර්මානුකූලව ජීවත්වන්නා එම ධර්මය විසින් ම ආරක්ෂා කරනු ඇත.

නිවැරැදි, පිරිසුදු කෙනෙකුට අප විසින් වරදක්, හිංසාවක් , පීඩාවක් කරනු ලැබුවේ නම්, වේදනාවක් දුන්නේ නම් එය, උඩු හුළඟට දැමූ, දුහුවිල්ලක් සේ තමන් වෙතම පෙරළා එනු ඇත.

අන් අයතුළ තරහක්, කේන්තියක් ඇති වන ලෙස කටයුතු කිරීමෙන් ද වැළකිය යුතු ය. නොදැනුවත්ව ම එහි විපාක ද තමන්ටම විඳින්නට වනු ඇත. මේ නිසා සිත ආරක්ෂා කර ගන්නට උත්සාහ කළ යුතු ය. එවිට බාහිර බලපෑම්වලින් මිඳේ.

යමක් වැරදුණ පසු වෙනත් අයට හෝ,වෙනත් හේතු සාධක සොයමින් දොස් කීමෙන් පළක් නොවේ. මගේ අවාසනාවන්තකම, මගේ කේන්දරයේ හැටි ඔහොම තමයි, කවුරු හෝ මට කොඩිවින කරලා, ආදි ලෙසින් සිතන්නට ද පුරුදු වන්නට එපා. මුහුණු පුළුටු කරගෙන කල්පනා ලෝකයන්හි නිමග්න නොවී මතුවන ගැටලුවලට මුහුණ දීමට ධෛර්යමත් වන්න. ඒවාට සතුටින් මුහුණ දෙන්න. ඒ වෙනුවෙන් උත්සාහ කර, බුද්ධිමත්ව සිතා කටයුතු කර ප්‍රතිඵලය අසාර්ථක වුව ද එය සතුටින් බාර ගන්න.

ලෝකයේ ස්වභාවය වෙනස් වීමයි. සැමදාමත් ඒකාකාරීව නො පවතින බව තේරුම් ගැනීම, අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවන බව අවබෝධ කර ගැනීම මෙහි දී වැදගත් වනු ඇත.

ජීවිතයට නොයෙක් අපහසුතා ඇතිවේ. අවශ්‍ය වන්නේ ඒවාට බියපත් නොවීමයි. ජීවිතයට වන අපහසුතා හැකි තරම් අඩුකර ගත හැකි නම්, ජීවිතය ජය ගත හැකි නම් බුද්ධිමතෙකි.

අන් අයට උදවු, උපකාර කරන්නට ගොස් විවිධ චෝදනා, ප්‍රශ්න මතු වූ අවස්ථා ද කොතෙකුත් තිබෙන්නට පුළුවන. සමාජයේ එවැනි දසුන් දුලභ නොවේ. බොහෝවිට චෝදනා පැමිණෙන්නේ වැඩ නොකරන අයට නොව වැඩ කරන අයටය. කළ යුතු ඊට කළකිරී පරාර්ථය අත හැරීම නොවේ.

තමන් කරන දේ නිවැරැදි නම්, තමන් අවංක නම් මොන තරම් නින්දා අපහාස ලැබුණ ද ධෛර්යමත්ව අනුන් වෙනුවෙන් කරන උදාර සේවාවන් ඉටු කළ යුතු ය. එහි ප්‍රතිලාභය සතුටයි. අනිසි ලෙස චෝදනා කරන්නන්ට එහි විපාක කෙදිනක හෝ ලැබෙනු ඇත. එහෙත් එය කිසිසේත් ම ප්‍රාර්ථනා නො කළ යුතු ය.

සිතෙහි සාමය, සතුට, සැනසිල්ල ඇති කර ගැනීම තමන්ගේ පරමාර්ථය විය යුතු ය. පුහුමාන්නය නැතිකර, සියලු ක්‍රියාකාරකම් හි දී ඉවසීමෙන්, බුද්ධිමත්ව සිතා බලා නිවැරැදි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය ය. එවිට අන් අයට තමන්ගේ අභ්‍යන්තර සාමය හා සතුට උදුරා ගත නොහැකි වනු ඇත.

මිනිසා යනු වැටුණත් නැඟී සිටිය හැකි ශක්තිවන්තයෙකි. මේ නිසා, අසාධාරණ විවේචනවලින් ආරක්ෂා වී සාධාරණ විවේචනවලට ඇහුම්කන් දෙන්න. තමන් අවංක නම්, නිවැරැදි නම් අභූත චෝදනාවලින් කම්පා නොවන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ නින්දා නොලැබූ කෙනෙක් මේ ලොව නැති බව ය. කරන සේවයට කිසිවක් බලාපොරොත්තු නොවන්න. ඉන් ලැබෙන තෘප්තිය මනින්නට නො හැකි ය.

තමන්ට විරුද්ධව කටයුතු කරන අයගෙන් පළිනොගන්න. සමාව දෙන්න. අප ද ක්‍රෝධ සිතින් ප්‍රතික්‍රියා කරන්නට යාම ගිනිගත් යකඩ ගුලියක් අතින් අල්ලා ගෙන පහරදීමට යාම හා සමාන ය. තැනට සුදුසු නුවණ මෙහෙයවා තමන්ටත්, අනුන්ටත් අහිතක් නොවන ලෙස ජීවත් වන්න. එය දෙලොවටම වැඩදායක ය.