Print this Article


නොසන්සුන්කම මෝහය නිසයි

 වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 14

නොසන්සුන්කම මෝහය නිසයි

" මෝහය ඇතිවෙන්න පුළුවන් උද්ධච්චය නිසා, විචිකිච්ඡාව නිසා. අපේ හිතේ නොසන්සුන්කම ඇතිවෙන්නේ මෝහය නිසා. අපි කියමු එකම අරමුණක සිත තියාගන්නට බෑ. භාවනාව එක අරමුණක තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ උද්ධච්චයයි. එය ඇති වන්නේ මෝහය නිසයි."

මෝහය නම් මුළාවයි.

‘දුක්ඛේ අඤ්ඤානං
දුක්ඛ සමුදයේ අඤ්ඤානං
දුක්ඛ නිරෝධේ අඤ්ඤානං
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඤ්ඤානං”

මේ දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අනවබෝධයයි, නොදැකීම යි. මෝහය කියා කියන්නේ. ‘මූය්හ තීති මෝහෝ යමෙකුට මුලාවුණු ස්වභාවයයි. මෝහය ඇතිවෙන්න පුළුවන් උද්ධච්චය නිසා, විචිකිච්ඡාව නිසා අපේ හිතේ නොසන්සුන්කම ඇතිවෙන්නේ මෝහය නිසා. අපි කියමු එකම අරමුණක සිත තියාගන්නට බෑ. භාවනාව එක අරමුණක තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ උද්ධච්චයි. එය ඇති වන්නේ මෝහය නිසයි. අපි කියමු පොතක් කියවන්න ගියත්, බණක් අහන්න ගියත් භාවනා කරන්න ගියත් හැම වේලාවේ ම සැක. බුදුරජාණන් වහන්සේ ගැන සැක, ධර්මය ගැන සැක, මහා සංඝයා ගැන සැක, බුදුගුණ, දහම් ගුණ, ධර්ම කරුණු ගැන පොත්පත්වල ඇති ධර්ම කරුණු ගැන දේශනා කරලා තියෙන දේ ගැන සැක. තමා රකින ශීලය ගැන සැක. පෙර ජීවිතය ගැන සැක, මතු ජීවිතේ ගැන සැක. අතීත ජීවිත, වර්තමාන ජීවිත මෙලොව පරලොව ජීවිත ගැන සැක. පටිච්ච සමුප්පාදය ගැන සැක. මේ සැක ඇතිවෙන්න ඇතිවෙන්න මොකද වෙන්නේ? මෝහය උත්සන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මෝහය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා අප කියනවා ‘අරහං’ කියලා .

ඊළඟට පින්වතුනි, දිට්ඨිය දිට්ඨිය කියලා කියන කොට මෙතන විශේෂයෙන් ම කියන්නේ මිථ්‍යා දෘෂ්ඨිය . මිථ්‍යා දෘෂ්ඨිය කියනකොට ප්‍රධාන වශයෙන් දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිය.

‘නත්ථි දින්නං’ – දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි යිට්ඨං’ – පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි හුතං’ – මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ. කියලා හිතනවානම් ඒක මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි අයං ලෝකෝ’ අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකයේ අප මොකද හිතන්නේ මේ ලෝකය සදාකාලිකයි නැත්නම් මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු’ කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි පරලෝකෝ’ මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි මාතා’ අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.

‘නත්ථි පිතා’ පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.

‘නත්ථි සත්තා ඕපපාතිකා’ මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පැහැදිලියි. විශේෂයෙන් මනුස්සයන් ගැන විශ්වාසයක් නැත්නම් මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.

මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් මිථ්‍යා දෘෂ්ඨියක් . දැන් මේ බ්‍රාහ්මණ කියන වචනය තේරුම් ගන්න ඕන වචනයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා මනුස්ස කොට්ඨාශ හතරක් , බ්‍රාහ්මණ වංශිකයන්, ක්ෂත්‍රිය වංශිකයන් ඒවාගේ ම වෛශ්‍ය වංශිකයන් , හා ශුද්‍ර වංශිකයන් , එතකොට ඒ බ්‍රාහ්මණයන්ගේ මතයක් තිබුණා මහාබ්‍රහ්මයාගේ මුඛයෙන් උපදින්නේ බ්‍රාහ්මණ වාංශිකයා. උරහිස් දෙකෙන් උපන්නේ ක්ෂත්‍රිය වංශිකයා. කලව වලින් උපන්නේ වෙළෙඳ කුලයෙන් උපන්න වෛශ්‍ය වංශිකයා. යටි පතුලෙන් උපන්නේ පහත්කුලයේ ඉන්න ශුද්‍ර කියන පහත් කුල හීනයන් කියලා. නමුත් තථාගතයන් වහන්සේ ඔය බ්‍රාහ්මණ කියන වචනය පැහැදිලි කළා බොහොම ලස්සනට.

මෙහිදී බ්‍රාහ්මණ කියන වචනයේ තේරුම් තෝරනවා. ‘යෝ බ්‍රාහ්මණෝ’ යම්කිසි කෙනෙක් බ්‍රාහ්මණ කියලා කියනවා නම් ‘බාහිත පාප ධම්මෝ’ සියලුම පාප ධර්මයන්ගෙන් බැහැර වුණ කෙනෙක් තමයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ. රාගාදි කෙලෙස් සියල්ලක් නැති කරපු උතුමා තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. ශාන්ත දාන්ත පැවතුම් තියෙන උතුමන් වහන්සේ තමයි බ්‍රාහ්මණයා කියලා කියන්නේ . රාගාදී උස්සද නැති උතුමන් වහන්සේ, දැහැමින් සෙමින් මේ ධර්මය අවබෝධ කළ උතුමන් වහන්සේ තමයි බ්‍රාහ්මණ කියල කියන්නේ.

ඒ වාගේම ධර්මය කියා දෙන සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලා මේ ලෝකයේ නෑ කියනවා නම්, කතා කරනවා නම් ඒක මිථ්‍යා දෘෂ්ඨියක්. අද සමාජයේ ඉන්නවා ගිහි උගත්තු, ඒ කියන්නේ පින්වතුනි සමහර අය පොතපත කියවලා කට පාඩම් කරගෙන දැනුම ඔළුවෙ තියාගෙන භික්ෂූන් වහන්සේලාට පවා නින්දා කරන අය ඉන්නවා. අර හාමුදුරුවෝ කියන බණ වැරදියි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඕවා නෙමෙයි. ඔය විදියට එක එක අර්ථ විග්‍රහ කරන අඥාන, තමන් උගත් කියලා ලේබලය හදාගත් අඥාන පුද්ගලයෝ ඉන්නවා. ඒ වාගේ අය එලෙස කතා කරනවා නම්, එතන වෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්. තමන්ගේ මිථ්‍යාදෘෂ්ටි යයි මේ ලෝකයට පෙන්වන්නේ.

මහණෙනි මිථ්‍යා දෘෂ්ටිය තමයි මේ ලෝකයේ තිබෙන බරපතලම වරද, හැබැයි මිථ්‍යා දෘෂ්ඨි සහගත සිතින් කෙනෙක් මැරුණොත් යන්නේ කෙහේට ද? කෙළින්ම අවීචි මහා නරකාදියට. අතරක් නෑර ගිනි දැල්වලින් පිච්චෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පින්වතුනි මේ ලෝකය විනාශ වෙනකොට අර පංචානන්තරීය කර්මය කරලා අවීචි මහා නරකාදියේ ඉන්න සත්වයෝ ක්‍රම ක්‍රමයෙන් උඩට ඇවිත් දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයට යනවා. හැබැයි මිථ්‍යා දෘෂ්ඨිකයෝ නම් කොහේට ද යන්නේ? මේ දස දහසක් සක්වලින් එහා පැත්තේ නරකාදියට මාරුවෙලා යන්නේ. බොහොම බරපතලයි. අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නෙ මිථ්‍යා දාෂ්ඨිය ශාස්සෘතවාද ,උච්ඡේද වාද, ආදි මිථ්‍යා ධර්ම දෙසැටක් මිථ්‍යා දෘෂ්ඨි මේ සෑම මිථ්‍යා දෘෂ්ඨියක් ම උන්වහන්සේ නැති කළ නිසා අපි කියනවා අරහං කියලා.