Print this Article


සියවස් සපුරන හේන්පිටගෙදර සකලසුන්දරාරාම විහාරස්ථානය

සියවස් සපුරන හේන්පිටගෙදර සකලසුන්දරාරාම විහාරස්ථානය

බලගල්ල සරස්වතී මහා පිරිවෙන සහ හපුවලාන, හේන්පිටගෙදර සකලසුන්දරාරාම ය යන උභය විහාරස්ථානයන්හි විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හපුවලානේ සරණංකරාභිධාන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සකලසුන්දරාරාමයට සියවසක් සපිරීම නිමිත්තෙන් මෙම 12 වනදා පස්වරු 2.3.0 ට උත්සව සභාවක් ද 13 වනදා සංඝගත දක්ෂිණාවක් ද ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහනාහිමියන් ගේ ප්‍රධානත්වයෙන් සහ මකුලෑවේ විමල නාහිමියන් ඇතුළු මහ සඟරුවනේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි


හේන්පිටගෙදර ඤාණතිලක හිමි


හේන්පිටගෙදර ඤාණාවාස හිමි

හපුවලාන යන ගම් පියසේ 1914 දී එකල පැවතුන පුණ්‍යවර්ධන සමිතිය ආරම්භ විය. එම සමිතිය තුළින් සකස් කරන විහාරස්ථානය ආරම්භ කිරීමට මූලිකව ක්‍රියා කර ඇත. එහි මූලිකත්වය දැරුවේ හේන්පිටගෙදර බස්තියන් පෙරේරා පොලිස් මුලාදෑනි මහතා ප්‍රධාන කොට ඇති 10 දෙනෙකු විසින් ය.

අනුශාසකවරුන් වශයෙන් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායික දස වාර්ගික කාරක සංඝ සභා බෙම්මුල්ලේ පොත්ගුල් විහාරාධිපති සිරි සුමන ශාසනාලංකාර සිරිනිවාසභ මාහිමියන් සහ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය අග්ග මහා පණ්ඩිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අටවැනි මහානායක ධූරය දැරූ හිස්සැල්ලේ ශ්‍රී ඥානෝදය මහා ස්වාමිපාදයන් වහන්සේ ද ආරම්භ කිරීම සඳහා අනුශාසක වූහ. 1917 දෙසැම්බර් මස 5 වන බුද දින සකලසුන්දරාරාම විහාරස්ථානය නායක ස්වාමීන්වහන්සේලා දෙනම ප්‍රධාන 25 නමක් ඉදිරියේ සඟ සතුකර පුජා කළ බව සාංඝික පත්‍රයේ සඳහන් වන්නේ ය.මෙම දින පූජෝත්සවයේ දී සිහිකටයුතු විශේෂ සිද්ධියක් විය. එනම් රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ ස්වාමීන් වහන්සේ, රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණතිලක ස්වාමීන් වහන්සේ රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණාවාස ස්වාමීන්වහන්සේ ගිහි ළමා කාලයේ බෙම්මුල්ලේ සිරිනිවාස හිමියන් සහ හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය නා හිමියන් වෙත පූජා කරන ලදී.