Print this Article


ස්වර්ණමාලි මහ සෑ රදුන් අභියසදී භික්ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පංච මහා අධිෂ්ඨාන පූජාවක්

ස්වර්ණමාලි සෑරදුන් අභියසදී භික්ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන්

පංච මහා අධිෂ්ඨාන පූජාවක්

ලෝක වාසී බෞද්ධ ජනතාවගේ එකමුතුවෙන් බිහිවුණු කළණ මිතුරෝ සංවිධානයේ මෙහෙයවීමෙන් මේ වසරේ නිකිණි පුන් පොහෝ දින අනුරාධපුර ස්වර්ණමාලි මහ සෑ රදුන් අභියසදී භික්ෂූන් වහන්සේ පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පංච මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට නියමිත ය.

සම්බුදු සසුන පුණරාලෝකනය පිණිස මෛත්‍රී බෝසතුන් වහන්සේ, සක් දෙව් රජතුමන්, සතර වරම් දේව රාජයාණන් වහන්සේලා ප්‍රධාන සම්මා දිට්ඨික දේව රාජයාණන් වහන්සේලා, බ්‍රහ්ම රාජයාණන් වහන්සේලා මනු ලොවට වැඩම කරත්වා යන්න පෙරදැරිව, පන්සිල් රකින, අට සිල් සුරකින දැහැමි බොදු සමාජයක් බිහිව සියලු ජාතීන් එකම දරු පවුලක් මෙන් සමඟි සම්පන්නව ජීවත් වන රටක් නිර්මාණය වේවායි යන්න ප්‍රාර්ථනය කරමින් එම අධිෂ්ඨාන පූජාව පැවැත්වෙයි.

එම වැඩසටහන සම්බන්ධව තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දැනුවත් කර ඊට උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගනු පිණිස එංගලන්තයේ බර්මින් නුවර ජේතවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නා හිමියන් හා කළණ මිතුරෝ සංවිධානයේ නිර්මාතෘ තුසිත රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් පසුගියදා ගියහ.

මහනුවර හිටපු පුරපති, විෂ්ණු මහ දේවාල බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, ලක්ෂ්මන් ගාල්ලගේ, නාලක ලංකාසේන, නලීන් ආරියවංශ, චින්තක කුලතුංග, සමුද්‍රා හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව, ප්‍රංශය, එංගලන්තය, නෝර්වේ, නෙදර්ලන්තය, කටාර්, ඉන්දියාව, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඇමරිකාව, ඉතාලිය, කොරියාව යන රටවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවකින් බිහිවූ කළණ මිතුරෝ සංවිධානය බෞද්ධ ප්‍රබෝධයක් ලොව පුරා ඇති කිරීමේ අරමුණින් අන්තර්ජාලය ඔස්සේ බුද්ධ දේශනා බෙදා හැරීමේ ජාලයක් ද ක්‍රියාත්මක කර තිබේ.

පංච මහ අධිෂ්ඨාන පූජාව මෙරට ක්‍රියාත්මක වන අවස්ථාවේ එකම වේලාවක් තුළ ලෝකයේ සෑම බෞද්ධයකු ම සම්බන්ධ කර ගනිමින් පහනක් දැල්වීමට අපේක්ෂා කරන බව එම වැඩසටහනේ නිර්මාතෘ තුසිත රාජපක්ෂ මහතා කී ය.කළණ මිතුරෝ සංවිධානයේ නියෝජිතයෝ මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අයුරු.