Print this Article


බුදුපිළිමයේ උපත - 88: තථාගතයන් වහන්සේගේ

බුදුපිළිමයේ උපත - 88:

තථාගතයන් වහන්සේගේ පිරිනිවීම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

"ඇවැත්නි ආනන්ද, පෘථීවිය ගැන සිතන දේවතාවෝ අහසෙහි වෙති. ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. සුගතයාණන් පරිනිවන් පානා සේක. ලොව ඇස, අතුරුදන්වනු ඇතැයි ඔවුහු හිසකෙස් කඩා ඇදගෙන, දෑත් උඩ විසි කරමින් හඬා වැළපෙති. ඇද වැටෙති.කැරකෙති, පෙරළෙති. පෘථිවිය ගැන සිතන දේවතාවෝ පෘථීවියෙහි ම වෙති. ඔවුහු එසේ ම හඬා වැළපෙති."

තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අවසාන ධර්මදේශනයට පසු සිදු වූ සිදුවීම් මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ එසේ පිරිනිවන් පෑමෙන් පසුව සිදුවු භූමිකම්පා සහ අහසෙහි සිදුවූ අසිරිය ගැන ද මහාපරිනිබ්බාන සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

“භාග්‍යවතුන් වහන්සේ ගේ පිරිනිවන් පෑමත් සමඟම මහා බිහිසුණු, ලොමු දැහැගන්වන භූමිකම්පාවක් හට ගත්තේ ය. අහසෙහි හෙණ පිපිරිණි, ඒ සමඟ ම සහම්පති මහා බ්‍රහ්මයා ලොව සියලු සත්වයෝ තම සිරුරු ඉවතලති. මහා ඤාණ බලයෙන් යුත් අසමසම ශාස්තෘන් වහන්සේ කෙනෙක් වු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක. යැයි ගාථාවකින් කීවේ ය.

එසඳ ශක්‍ර දේවේන්ද්‍රයෝ “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැතිවීම ස්වභාවය කොට ඇත්තෝ ය. ඒ සංස්කාරයෝ ඉපදී නැතිවෙති. එම සංස්කාරයන්ගේ සංසිඳීම සැපයකි. යැයි ගාථාවකින් කීවෝ ය.

අනුරුද්ධ හිමියෝ මෙසේ වදාළහ.

තැන්පත් සිතැති කම්පා නොවන සුළු ගති ඇති උන්වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවතුණි. තෘෂ්ණාවෙන් තොරව වූ භාග්‍යවතුන් වහන්සේ නිර්වාණ නමැති ශක්තිය අරමුණු කොට පිරිනිවන් පෑ සේක. නොසැලෙන සිතින් තියුණුූ වේදනා ඉවසූ සේක. පහනක් නිවී යන්නා සේ භාග්‍යවතුන් වහන්සේ ගේ සිත මිදී නිවී ගියේ ය. යැයි අනුරුද්ධ හිමියෝ ගාථාවකින් කීවෝ ය.

ආනන්ද හිමියෝ එවිට මෙසේ කීහ.

සියලු ආකාරයේ උතුම් ගුණාංගයන්ගෙන් යුතු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මහාබියකරු, ලොමු දැහැගන්වන භූමිකම්පාවක් ඇතිවිය. යැයි ගාථාවකින් කීවෝ ය.

මහාපරිනිර්වාණයෙන් පසු භික්ෂූන් අස්වසාලීම

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි එහි සිටි රාගාධියෙන් තොර නොවූ සමහර භික්ෂූහු ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ලොව ඇස අතුරුදන් වු සේක යැයි දෙ අත් විසිකරමින් විලාප නැගූහ. රාගාදියෙන් තොරවූ භික්ෂූහු සති සම්පජානයෙන් යුතුව සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ස්ථිර බවක් කොයින් ලැබිය හැකි ද? යැයි කියා ඉවසා සිටියහ.

එස ඳ අනුරුද්ධ හාමුදුරුවෝ භික්ෂූන් අමතා, ඇති ඇවැත්නි, හඬන්න, වැළපෙන්න එපා .සියලුම පි‍්‍රයමනාප දෙයින් වෙන්වීම, ඉවත්වීම ,වෙනස්වීම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් මුලින්ම කියා තිබෙනවා නේද? උපන්, ඇතිවුණු, සැකසුණු, බිඳෙනසුළු යමක් වේ ද, එය නොබිඳේවා යැයි පැතුව ද කෙසේනම් එවැන්නක් සිදුවිය හැකි ද? ඇවැත්නි මෙසේ හඬා වැළපුණොත් දේවතාවන් ද දොස් කියනු ඇතැයි භික්ෂූන්ට කීහ.

අනුරුද්ධ හිමියනි, ඔබ වහන්සේ අදහස් කරන්නේ කෙබඳු නම් දේවතාවන් ද?

ඇවැත්නි ආනන්ද, පෘථීවිය ගැන සිතන දේවතාවෝ අහසෙහි වෙති. ඉතා ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක. සුගතයාණන් පරිනිවන් පානා සේක. ලොව ඇස, අතුරුදන්වනු ඇතැයි ඔවුහු හිසකෙස් කඩා ඇදගෙන, දෑත් උඩ විසි කරමින් හඬා වැළපෙති. ඇද වැටෙති.කැරකෙති, පෙරළෙති. පෘථිවිය ගැන සිතන දේවතාවෝ පෘථීවියෙහි ම වෙති. ඔවුහු එසේ ම හඬා වැළපෙති.

වීතරාගී යම් දේවතාවෝ වෙත් ද ඔවුහු සති සම්පජානයෙන් යුතුව සියලු සංස්කාරධර්මයන් අනිත්‍යයහ. නිත්‍ය බවක් කොයින් ලැබිය හැකිදැයි කියා ඉවසා සිටිති.

මහා පරිනිබ්බාන සූත්‍රය පි. 97

සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ දෙව්ලොව දෙවියන් විසින්, දැනගන්නාලද අවස්ථාව නිරූපණය කරන දඹදෙණි රාජධානි සමයේ ලියන ලද පූජාවලි ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ.

අජාසත් රජ්ජුරුවන්ට අට වන අවුරුදු වෙසඟ පොහෝ ලද අඟහරුවාදා විසා නැකතින් කුසිනාරා නුවර මල්ල රජුන්ගේ සල් උයනෙහි යමක ශාලයන් දෙදෙනොගේ අන්තරයෙහි පනවන ලද පරිනිර්වාණ මංචකයෙහි උතුරු දිගට හිස ලා නැගෙනහිරට පිට ලා පෑලදිගට මුහුණලා, යමදිගට පයලා, දක්ෂිණ සෙය්‍යාවෙන් වැදහොත් සේක. එකෙනෙහි බුදුරජාණන් වහන්සේ උපන්දා සේ ම පශ්චිම වු දෙතිස් මහා පූර්ව නිමිත්ත පූජාවෝ ද, දස දහසක් සක්වලම පැවැත්නාහු ය.

මෙසේ දෙවියන් පූජාවට පටන් ගත් වේලෙහි බුදුරජාණන් වහන්සේගේ පශ්චිම දර්ශනයයැයි කිය කියා මහත්වූ ධර්ම සංවේගයට පැමිණ තුන්පිටකය ගෙවාදත් සත්ලක්ෂයක් පමණ මහතෙර පෙළක් අවුත් බුදුරජාණන් වහන්සේ සිසාරා සිටගත්හ. සෙසු භික්ෂූන් වහන්සේ මෙතෙකැයි ගණන් නැත. (පූජාවලිය මයුරපාද පරිවේණාධිපති පූජ්‍ය බුද්ධ පුත්‍ර මාහිමි,

සංස්කරණය කීර්ති නාරම්පනාව පි. 721 (2010)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 87:  අන්තිම බුද්ධ වචනය