Print this Article


 මිතුරු ඇසුර සදයි ඉසුර

 මිතුරු ඇසුර සදයි ඉසුර

මිතුරෙක් යනු කවුදැයි ඔබෙන් ප්‍රශ්න කළහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් ද? ඔබේ පිළිතුරු අතර යමෙකුගේ දුක සතුට දෙකේ දී ම ළඟින් හිඳින තැනැත්තා මිතුරා ය. වැරදි දැක නිවැරැදි කරන තැනැත්තා මිතුරා ය. දුකට පත් වූ විට ඉන් මුදවා ගැනීමට වෙහෙස ගන්නේ මිතුරා ය ආදී වශයෙන් පිළිතුරු ලැබෙනු ඇත. සැබැවින්ම ඒ ලබා දෙන පිළිතුරු සාවද්‍ය ඒවා නොවේ. සැබෑ මිතුරාගේ ලක්ෂණ ඒවායෙන් ජනිත කෙරේ.

බුදුන් වහන්සේ මිතුරු කණ්ඩායම් දෙකක් පෙන්වා දී තිබේ. එනම් කල්‍යාණ මිත්‍රයන් සහ මිත්‍ර ප්‍රතිරූපකයින් ය. කල්‍යාණ මිත්‍රයන් යනු අපගේ ජීවිත වාසනාවන්ත කර ගැනීම සඳහා උදව් දෙන, උපකාර කරන පිරිස යි. මිත්‍ර ප්‍රතිරූපකයින් යනු අපගෙන් යමක් ලබාගෙන, අප වැරැදි මාර්ගයට හසු කරන කොට්ඨාසය යි. අප ඇසුරු කළ යුත්තේ මින් පළමු කොට්ඨාසයට අයත් පිරිසම ය. එම පිරිස් කොටස් 04 කි. උපකාරක මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා සහ අත්ථක්ඛායි මිත්‍රයා යනුවෙනි.

උපකාරක මිත්‍රයාගේ ලක්ෂණය තමන්ට කරදරයක්, බාධකයක් පැමිණි අවස්ථාවක මිල මුදලින් සහ කාලය, ශ්‍රමයෙන් උදව් උපකාර කිරීම යි. මිත්‍ර ප්‍රතිරූපකයෙකු නම් මේ වැනි අවස්ථාවල දී මඟහැර යාමට උත්සාහ කරයි. දෙවැනි මිතුරා අනුකම්පක මිත්‍රයා ය. යම් ගැටලුකාරී අවස්ථාවක, ශෝකී අවස්ථාවක, තමාටවත් නො දැනුවත්ව ජීවිතය පරිහානියට පත් වූ අවස්ථාවක මේ තැනැත්තාගේ ලක්ෂණය වන්නේ තම මිතුරාට අනුකම්පා කොට ඒ ව්‍යසනයෙන් ගළවා ගැනීම පිණිස උපදෙස් දීම ය. අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීම ය. එසේ ම දුක් තැවුල් සන්සිඳීම තෙක් මිතුරා අත නො හැර සිටී. කලණ මිතුරන්ගෙන් තෙවැනියා සමානසුඛ දුක්ඛ මිත්‍රයා ය. ඔහු ද ඉහතින් පෙන්වා දුන් ලක්ෂණයෙන් සමන්විත ය. එනම් සැප දුක දෙකේ දී ම තමන් අත නො හැර සිටීමේ ගුණය ඔහු සතුව ඇත. අත්ථක්ඛායී මිත්‍රයා යනු අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පුද්ගලයා ය. තමා වැරැද්දක් කරන්නේ නම් එම අවස්ථාවලින් මුදවා ගෙන යහපතෙහි යෙදවීම මොහුගේ ලක්ෂණය යි. මෙම මිත්‍රයාගේ ප්‍රතිරූපක ලක්ෂණය වන්නේ ‘අපාය සහය’ යනුවෙන් දක්වන ලක්ෂණය යි. එනම් ඔහු මෙලොව ජීවිතයට මෙන් ම පරලොව ජීවිතට ද අහිතකර විපාක විඳීමට සිදුවන දෑ කිරීම සඳහා උපදෙස් ලබා දෙයි. එහෙත් සැබෑ මිතුරා නම් වැරැදි මාර්ගයේ යන තමාගේ අතිජාත මිත්‍රයා ඉන් මුදවාගෙන සුචරිතවත් මඟෙහි යෙදවීමට උත්සාහ කරයි.

බුදු දහමට අනුව මිතුරුකමක් ලිහිල් වීම සඳහා බලපාන සාධක ලෙස පෙන්වා දී ඇති කරුණු රැසකි. පමණ ඉක්මවා ආශ්‍රය කිරීමට යෑම ය. ඇසුරට නො යෑමය. නුසුදුසු කාලයේ දී නොයෙකුත් දේ ඉල්ලීම ය. යන කරුණු ඒ අතර වේ. මේ හේතු නිසා මිතුරුකම ලිහිල් වී යයි. එසේ නම් මෙම කරුණු සිහිපත් කරගෙන ඉන් ඈත්වීමට අප කටයුතු කළ යුතු ය. අප හොඳින් දන්නා කරුණක් නම් වැඩි වැඩියෙන් ඇසුරු නිසුරු කිරීමට පෙළඹීමෙන් ඒ තැනැත්තාගේ ඇති වටිනාකම ක්ෂය වී යන බව යි. ඒ නිසා ‘පමණ’ තේරුම්ගෙන පමණට ගැළපෙන පරිදි ආශ්‍රය කිරීමට පෙළඹිය යුතුම ය. එසේ ම ආශ්‍රය නො කර සිටීම ද නොකළ යුත්තකි. එසේ වූ විට ඔවුන් අප ගැන කළකිරෙයි. එසේ ම අප පිළිබඳ ඔහු කෙරෙහි ඇතිවන හැඟීම් යහපත් හැඟීම් වන්නේ නැත. නුසුදුසු කාලයේ දී ධනය හා වෙනයම් වස්තු ඉල්ලීමත්, මිතුරුබව නැති වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. මෙවැනි අවස්ථාවක මිතුරා කෙරෙහි අනෙකාට හැඟෙන්නේ ‘පුදුම කරදරයක්නේ තිබෙන්නේ, එන්නෙම මොනවා හෝ ඉල්ලන්න’ යන හැඟීමක් ය. ඒත් සමඟම ඔහුගේ සිතට ගලාගෙන එන හැඟීම් සමුදාය විටෙක ජීවිතයම අවුල් කන්දරාවක දැමීමට තරම් සමත් වන්නේ ය. එසේ නම් මෙම කරුණු ද මැනවින් අවබෝධ කර ගත යුතු ය. මිත්‍රයන් තමන් කෙරෙහි අහිතවන්ත වීම කෙරෙහි ද බලපාන සාධක රැසක් සොයා ගත හැකි ය.

අනුන්ගේ කීම් අසා තම මිතුරා ගැන අහිතක් සිතා, මිතුරා අවිස්වාශ කෙරේ ද ඒ නිසාම ඔහුගේ සිත මිතුරා කෙරෙහි බිඳේ. ඒ හෙයින් ඔහු කෙරෙහි වෛරී චේතනා පහළ වේ. මෙය ද අතිශයින් අවාසනාවන්ත අවස්ථාවකි. බොහෝ පිරිස් මේ සංකල්පයේ යෙදී තම අතිජාත මිතුරන්ගෙන් ඈතට යයි. බොහෝ පිරිස් මාන බලන්නේ අපගේ මිතුරු සන්ථවයන් බිඳ හෙළීමට ය. එවැනි අවස්ථා ඕනෑ තරම් ඔබේ ජීවිතයේ ඔබ අත්විඳ ඇත්තේ ද වන්නට පුළුවන.

මිතුරන් කෙටවීම මඟින් ඔවුනොවුන් කෙරෙහි සිත් බිඳුවා මිතුරන්ගේ සිත් කඩා ඉහිරුවා සතුටු වන පිරිස් සිටින සමාජයක අප හැකි පරිදි අපගේ මිතුරන් ආරක්ෂා කර ගනිමින් මිත්‍ර සම්පත්තියට හානි නො පමුණුවා ගනිමින් කටයුතු කිරීමට කටයුතු කළ යුතු ය. ඉහතින් පෙන්වා දුන් පරිදි යමෙකුගේ වදන් අසා තමා සමඟ භේදයට එන මිතුරා කෙරෙහි අනුකම්පා කොට අනෙක් මිතුරා කළ යුතු වන්නේ ඒ සියලු කරුණු ඉවසා මිතුරාට සත්‍යය පහදා දීම යි. යමෙක් තමා අතින් සිදු වූ වරද වරදක් බව පිළිගනී ද, යමෙක් කළ වරදට අදාළ අයගෙන් සමාව භජනය කරගන්නේ ද ඔවුන්ගේ සිත් බිඳුණේ වුව ද නැවත සකස් වේ. ඔවුන්ගේ මිත්‍ර සන්ථවය කිසිදින නො දිරයි.

සියලුම අවස්ථාවල දී අප ඉතා ඉවසිලිවන්ත භාවයෙන් යුතුව කටයුතු කිරීමට වෙහෙස ගත යුතු ය. අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට වෙහෙස ගන්නා නිසා, හැකි සෑම විටෙකම යහපත් කල්‍යාණ මිත්‍රයන් ම ආශ්‍රය කරන්නට අදිටන් කර ගනිමු.